මම තොණ්‌ඩමන්ට බය නෑ
අහිංසක ජනතාවට පහර නොදී පුළුවන් නම් මාත් එක්‌ක හැප්පෙන්න
- මන්ත්‍රී පී. දිගම්බරන්

ධම්මික සල්වතුර

අපේ අහිංසක ජනතාවට පහර නොදී හැකිනම් මා සමග හැප්පෙන්න. මා තොණ්‌ඩමන් ඇමැතිවරයාට බය නෑ. මේ ප්‍රචණ්‌ඩ දේශපාලනය ඔහු නතර නොකළහොත් මම නතර කරනවා යෑයි ජාතික වතුකම්කරු පෙරමුණේ නායක පී. දිගම්බරන් මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (20) දා වැල්ලවත්ත ග්ලෝබල් ටවර්හි පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

වතුකරයේ නියම නායකයා කවුද කියා ලබන සැ. 22 දා ජනතාව කියා දේවි. එදාට ඔහුට ඉන්දියාවට දුවන්න සිදුවේවි. ඔහු අපේ පක්‍ෂ කාර්යාල කිහිපයකටම පහර දුන්නා. ඔහුගේ පරාජය ඔහු දැනටමත් පිළිගෙන නිසා අහිංසක වතු ජනතාවට පහර දෙනවා. අහිංසක ජනතාවට ගහන්නෙ නැතිව පුළුවන් නම් මට වෙඩි තියන්න.

ඔහු රෑටයි අපේ අයට ගහන්න එන්නේ. ඒක බියගුළු ක්‍රියාවක්‌. මට පුළුවන් දවල්ට ගහන්න. ඒත් මං එහෙම කරන්නේ නෑ. තොණ්‌ඩමන්ට පන්සීයක්‌ ගේන්න හැකිනම් මට දසදහසක්‌ ජනතාව ගේන්න පුළුවන්.

පසුගිය මැතිවරණයේදී වතුකරයේ ජනතාවගේ වැඩිම මනාපය හිමිවුණේ මට. තොණ්‌ඩමන් කියන්නේ ආනයනය වුන කෙනෙක්‌. මම ලැයිමක ඉපදීලා වතුකරයේ හැදී වැඩුණු කෙනෙක්‌. මෙවර ඡන්දයේදී වතුකරයේ ජනතාව නියම පිළිතුරු දේවි.

අපට දෙන පහරදීම් ගැන අපි ජනාධිපතිතුමාට, ආරක්‍ෂක ලේකම්තුමාව බැසිල් රාජපක්‍ෂ මහතාව දැනුවත් කරා. අපි ජනාධිපතිතුමා කෙරෙහි දැඩි විශ්වාසයක්‌ තියෙනවා. ඔහු එයට නියම විසඳුම ලබාදේවි. අපේ අපේක්‍ෂකයන් තිදෙනාම මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජදොරෙයි, කම්කරු ජාතික සංගමයේ අපේක්‍ෂක සරස්‌වති සිවගුරු යන මහත්ම මහත්මීන් මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.