ශ්‍රී ලංකාවට ආවේනික සතුන් පිටරට යවන ජාවාරමක්‌

අත්අඩංගුවට ගත් පිරිසට ඇප

මීගමුව - සමූහ විමල් කීර්ති

ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ ගනයේ හූනන්, තරු ඉබ්බන්, හූනු බිත්තර, කෘත්‍රිමව බිත්තර රුක්‌කවීමේ උපකරණ සත්ත්ව කූඩු ඇතුළු උපකරණ රැසක්‌ සමග වන ජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණ වූ සැකකරුවන් දෙදෙනකු රුපියල් 10,000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.

ඇප මත මුදා හළ සැකකරුවන් වූයේ කොළඹ 10 ජලාශ පාරේ පදිංචි ඩබ්ලිව්. දිල්රුක්‌ රොහාන් ප්‍රනාන්දු සහ ජාඇල ඒකල නිවාසිපුර පදිංචි හිරන්ත සුරෙන් කුරේ වනිගරත්න නමැත්තන්ය.

ශ්‍රී ලංකාවට ආවේනිකව නීතියෙන් ආරක්‍ෂිත උරගයන් රහසිගතව කිසියම් පිරිසක්‌ විදේශ ගත කරන බවට වන ජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලත් තොරතුරක්‌ අනුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමන් ලියනගේ මහතා විසින් ජාඇල ඒකල නිවාසිපුරයේ දී මෙම වැටලීම සිදු කොට ඇත.

එහිදී ළඟ තබා ගැනීමට තහනම් තරු ඉබ්බන් (වැටකේ ඉබ්බන්) 17 ක්‌ ශ්‍රී ලංකාවට ආවේනික වූ දුර්ලභ ගනයේ හූනන්, එම බිත්තර 18 ක්‌ සහ උපකරණ රැසක්‌ අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලේ සඳහන්වේ. වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් එම්. මාහීර් සහ ගොඩ්ප්‍රි කුරේ යන මහත්වරු පෙනී සිටියහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.