ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සම්මාන උළෙලට සම්මාන 150 ක්‌



සම්මාන උළෙල සඳහා වන අනුග්‍රහකත්වය ඩයලොග් සමූහයේ ප්‍රධාන වෙළෙඳ නිලධාරිණී අමාලි නානායක්‌කාර මහත්මිය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති උපාලි ධර්මදාස මහතාට ලබාදුන් අවස්‌ථාව. එම අවස්‌ථාවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග, වැඩ බලන ප්‍රධාන විධායක ඇෂ්ලි සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස්‌ ඡායාරූපයේ.. ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

අසේල විතාන සහ චමිල කරවිට

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නිල අනුග්‍රහකයන් වන ඩයලොග් සමාගම පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වාර්ෂික සම්මාන උළෙලට අනුග්‍රහකත්වය දැක්‌වීමට ඉදිරිපත්ව සිටියි. අදාළ ඩයලොග් ක්‍රිකට්‌ සම්මාන උළෙල ලබන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමට මෙන්ම දේශීය තරගාවලියන්හිදී හොඳම දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම වසරේ හොඳම විනිසුරුවන් වෙතද මෙහිදී සම්මාන පිරිනැමීම සිදුකෙරේ.

2012-2013 වසරවලදී ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් දස්‌කම් දැක්‌වූ 150 දෙනකුට මෙහිදී සම්මාන පිරිනැමෙන අතර සම්මාන රාත්‍රිය වෝටර්ස්‌ ඒඡ් හෝටලයේ පැවැත්වීමට යෝජිතව තිබේ. අදාළ සම්මාන රාත්‍රිය පැවැත්වෙන ස්‌ථානය නිල වශයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව සම්මාන උළෙල පිළිබඳව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසීය.

ඩයලොග් වසරේ ජනතා සම්මානයට හිමි ක්‍රීඩකයා නම් කිරීමේ අවස්‌ථාව මහජනතාවට විවෘතව ඇති අතර එය එස්‌.එම්.එස්‌. මගින් තීරණය කිරීමේ හැකියාව ඇත.

අදාළ සම්මාන උළෙලේ විශේෂ සම්මාන සඳහා ඩයලොග් ජනතා සම්මානය, ඩයලොග් වසරේ නැගී එන ක්‍රීඩකයා, හොඳම ටෙස්‌ට්‌ පිතිකරු සහ පන්දු යවන්නා, හොඳම එක්‌දින පිතිකරු, පන්දු යවන්නා සහ තුන් ඉරියව් ක්‍රීඩකයා, පන්දුවාර 20-20 හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා සහ වසරේ නැගී එන ක්‍රීඩකයා යන සම්මාන හිමිවන ක්‍රීඩකයන් නම් කිරීම ශ්‍රී ලංකා තේරීම් කමිටුව සහ තරග කමිටුව විසින් නිර්දේශ කරනු ලබයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.