එළ කිරි මයෙ අම්මා



බෝල් ගහලා ඉවරයි කියලා පත්තර කොල්ලා කී හින්දායි ලියුං කරදහියක්‌ එවන්ට හිතුවේ. ගෙදර පැත්තෙ එහෙම එන්නේ නැද්ද මයෙ අම්මා. ලියන්ට බැරි දේ දැසින්ම දැක ගන් පුලුහං අවොත් ඕං....

මෙච්චර කාලයක්‌ පට්‌ට අන්දකාරේ හිටපු අපිට අද හෙටම ලැයිට්‌ දෙනවා කියලා කඩේ යන ගමන් ගම අද්දරට ආපු පළාත් මන්තිරි කීවා. ඕන්න බලන්ට මයෙ අම්මා, උන්නැහෙ රූං... ගාලා ඉගිලිලා යන්ටත් පෙර, කවුදොa නොසන්ඩාලයෙක්‌, කැබ් පොඡ්ජ දුන්නා වගේද කියලා ඇගිල්ලෙන් වීදුරුවේ ලියලා

මේන්න, එදා රාත්තිරියෙම සමිති සලාවේ ටැලිවිසන් එකක්‌ එල්ලලා. වෑර් එකක්‌ ඇදලා තිබුණා මයෙ අම්මා, ඒකෙ අනික්‌ කොන පෙන්නෙවත් නෑ. වෑර් එක ඇදල තිබුණේ බේකරියෙ ඉඳලා. ඒ හින්දම තැපැල් කන්තෝරුවටත් එක බලුප් එකක්‌ දාන්ට පුලුහං විදියටයි වෑර් ඇදලා තියෙන්නෙ.

අපි ඔක්‌කොම වෑර් එක දැක්‌කෙ පහුවෙන්දා උදේ. බලපි නං, ගමේ එවුන්ගේ සරං, අමුඩ, හැට්‌ට, බොඩි යට කලිසං ඔක්‌කොම ඒකෙ වනලා.

තැපැල් මහත්තය නං මේ කටයුත්ත ගැන විස්‌සෝපෙන් තමයි ඉන්නේ මයෙ අම්මා. ඔහෙට මතකද, ගිය සැරේ චන්දෙ කිට්‌ටුව ලැයිට්‌ කනුයි, කාලෙ කලු ගලුයි ගෙනත් ලොරියෙන් බාපු හැටි. අනෙක, ඔය ටැලිවිසන් කියන ටී. වී. එකෙන් බලන්ට කියන්ට දෙයක්‌ නැහැ, කියලා උන්දැ කියපි.

පහුවෙන්දා රෑ මමත් ටී. වී. බලන්ට ගියා. ඒකෙ යතුර වගේ එක තියෙන්නෙ පළාත් මන්තිරි ගාව. උන්දැ හැන්දැවේ කට ගොන්නක්‌ බීගෙන ඇවිල්ලා දාපි නැතෑ ටී. වී, එක. මයෙ අම්මා... ඔක්‌කොම විලිසංගෙ නැති පින්තූර. ගැටිස්‌සියක්‌ හිටියා මයෙ අම්මා..., සරුවාංගෙම වගේ එළියෙ. කතා කරේ සිංහලට ඉංගිරිසි දාලා. අපිට තේරුණා මදි. ඒත් කොල්ලො නං තව තව මරේ මරු කිය කියා අප්පුඩි ගැහුවා.

ඕන්න එක පාරටම ආප්ප පුච්චන්නා වගේ සද්දයක්‌ ඇවිත්, හිම වැටෙන්නා වගේ ගැටිස්‌සිව නොපෙනී ගියා. ඒ වෙලාවේ පළාත් මන්තිරියා ටී. වී. එකට බැන්නෙ කුණු හරුපෙන්. ටික වේලාවක්‌ ගෙහුං, මේන් පිරිත් දේසනාවක්‌...

මං මේ, මයෙ අම්මට ලියන්ට හිතුවේ කිරි බොන කොට පරිස්‌සං වෙන්ට කියන්ට. ටී. වී. එකේ උන් කිරි ගැන කියන්නේ කැකිරි පැලෙන කතානෙ. මට හරි බඩේ ගින්දරයි. මයෙ අම්මා මගේම කිරි බීපු නිසයි දස්‌සෙට බෝල් ගහන්නෙ. අමතර ආහාරෙට දුන්නෙත් අපේම පට්‌ටියේ කිරි. අපේ හරක්‌ ඒවා ගැන දැන් උනන්දු නැහැ. කිරි පිටි බීවාම අංස බාගේ හැදෙනවා කියලා දොස්‌තර මහත්තයා ටී. වී. එකේදි කීවා. පිස්‌සුත් හැදෙනවාලු. ඔය කිරි පිටිවල වේ පෝටිං තියෙනවා කියලයි කියන්නේ. අනික, වේ යෝ ගහපුව කෑම බීම කොහොමත් නාකයි මයෙ අම්මා.

දොස්‌තර මහත්තැන්ලාත් දැන් තමයි ඕවා නාකයි කියන්නෙ. මුල් සංදියේදීම කීවා නං, ඒවා බීපු ඔය කොල්ලො කෙල්ලෝ රැලකට අච්චු කරනට වෙන්නෙත් නැහැ නේ.

දැන් බලන්ට මයෙ අම්මා, අර වරකාපොල කෙල්ල. ඔය කෙල්ල බීපු තරමක්‌ බිව්වේ මව් කිරි. වෙන මොකුත්ම බීවේ නැහැ කියලා දොස්‌තර මහත්තුරු ඉහේ ගහලා දිවුරලා තමයි කීවේ. මයෙ අම්මා කිරිම බොන්ට. වතුර නං ඉල්ලන්ටවත් එපා.

ඡන්දෙ ඉල්ලන අය කියන කතාත් ටී. වී. එකේ පෙන්නනවා.

ඒවා නාහන තරමට තමා හොඳ කියලා තැපැල් මහත්තයා කීවා. කුණුහරුප අහන්න නිදි මරන්න අවස්‌ය නැහැ කියලයි උන්නැහැ කීවේ.

හැබෑවනං, මයෙ අම්මා, මං යටි හිතින් කැමැතියි ටී. වී. එක බලන්ට. හොඳයි, මං අහන්නෙ, අප්පච්චි මේ දවස්‌වල කඩේ යන හැටි බලන්නෙ වෙන කොහොමද. රෙදි හෝදනවා බලන්නෙ කොහොමද. අපි එතෙන්ට යන්ට ඕනා කියනවා බලන්නෙ කොහොමද. මයෙ අම්මා බෝල් ගහනවා බලන්නෙ කොහොමද.

ආ... අද උදේ අපේ කඩුල්ල ලඟ කොල්ලො රැළක්‌ම ලොකු කතාවක්‌. මමත් තැබිලි වල්ලෙ ගෙඩි ගනිනවා වගේ ඇහුංකං දුන්නා.

පස්‌සා පැත්තට සරමත් උස්‌සාගත්ත එකෙක්‌ මෙහෙම කියපි.

අපේ කිරි ගන්නේ නැති රටකට අපි නොයන්නේ

නවසිය නොයන තැනකට ඔසියත් නොයන්නේ

ඔසිය නොයන තැනකට සුද්දත් නොයන්නේ

කිරිකැට්‌වලින් පමණද බඩ පිරෙන්නේ - උන් කියපි.

ඒකත් අදිරාඡ්ජ වාදී කුමන්තරණයක්‌ කියලා ටී. වී. එක කවදා හරි කියයි ලු.

දැං වැහිත් ඉවරයි. ගං වතුරත් ඉවරයි. වෙච්චි හදි හුදි ඔක්‌කොමත් ඉවරයි.

මටත් පොඩි ආසාවක්‌ තියෙනවා. කියලත් බෑ. නොකියත් බෑ. මං කියලා වෙන කාට කියන්ටද මයෙ අම්මා.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා.

වැලිවේරියේ වෙලේ වතුර ලෙයට හැරවුණා.

වෙඩි කරුවගෙ නම කියන්න තවම බැරි වුණා.

ඩීඅයිජී ගේ නඩු නිමිත්ත රටට ලොකු වුණා.

රහසකුත් තියෙනවා මයෙ අම්මාට කියන්ට. වින්නබු නෝනගේ කන්තෝරුවෙ කිරි පිටි බොන්ට කියලා පිට රට ලස්‌සන බබෙකුගේ පින්තූරයක්‌ එල්ලලා තියෙනවා. ටවුමෙන් එන දොස්‌තර මහත්තයත්, ඒ කිරි පිටි ම බොන්ට කියලා තුන්ඩු ලියලා දෙනවා.

මයෙ අම්මට කියන්ට... මම නව මාසයක්‌ මයෙ අම්මව කුසේ දරාගෙන ඉන්නා කාලේ දොස්‌තර මහත්තය තුන්ඩු පිට තුන්ඩු දුන්නා ළමයගේ මොලේ වැඩෙන්ට වේ පොටිං කිරි පිටි දෙන්ට කියලා. මම ඒ කිරි පිටි දුන්නෙම නැහැ. මගේම කිරි දීලත් මොලේ කලඳක්‌වත් නැහැ. බාගෙ විටක අප්පචිගේ පරම්පරාවෙන් එන ගුණයක්‌ වෙන්ටැති.

මට දැනුයි තේරෙන්නෙ, කොල්ලෝ නිතරෝම එළ කිරි කියන්නේ ඇයි කියලා. මං හිතං උන්නෙ, උන් එහෙම කියන්නෙ ගැටිස්‌සයන්ට කියලා. බැලින්නං වින්නබු නෝනටයි උං එළ කිරි කියන්නේ. රාජන් මහත්තය නං එතුමියට කියන්නේ සුරබි දෙන කියලා.

මයෙ අම්මා, ගෙදර එනවා නං අද හෙටම ආවොත් හො¹. බස්‌ ගාස්‌තු වැඩි වෙන නිසා.

* අසෝක ගුණතිලක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.