කොමර්ෂල් බැංකුව, සුළු හා මධ්‍යම පරිමාණ
ව්‍යාපාරික අංශයට දෙන සහාය වැඩි කරයි


2012 වසරේදී මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය ප්‍රමාණයක්‌ ලබාදුන් මුල්‍යායතනය වූ කොමර්ෂල් බැංකුව සිය මෙහෙවර තවදුරටත් ශක්‌තිමත් කරමින් සුළු හා මධ්‍යම පරිමාණ ණය අයදුම්පත් පිළිබඳව ක්‍රියා කිරීමට විශේෂ මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කර ඇත.

කොළඹ පිහිටි මෙම මධ්‍යස්‌ථානය බැංකුවේ දිවයින පුරා පිහිටි ශාඛා විසින් සුළු හා මධ්‍යම පරිමාණ ණය ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන කටයුතුවලට අමතරව ක්‍රියා කිරීමට පිහිටුවා තිබෙන අතර මෙම ණය මුදල් ඉතාමත් ඉක්‌මනින් මුදා හැරීම සඳහා අදාළ අයදුම්පත් පිළිබඳව ස්‌වයංක්‍රීයව ක්‍රියා කිරීම සඳහා පරිගණක මෘදුකාංග වැඩසටහනක්‌ සකස්‌ වෙමින් පවතින බවද බැංකුව පවසයි.

2013 පළමු කාර්තුව අවසන් වනවිට කොමර්ෂල් බැංකුවේ ණය කළඹ රුපියල් බිලියන 390 ක මට්‌ටමක පැවතුණි. මේ වනවිටත් බැංකුවේ ණය කළඹින් කැපී පෙනෙන කොටසක්‌ නියෝජනය කරන සුළු හා මධ්‍යම පරිමාණ ණය අංශය අඛණ්‌ඩව වර්ධනය වෙමින් තිබෙන්නේ බැංකුව විසින් ඉතාමත් ආකර්ෂණීය අඩු පොළී අනුපාතවලට නිෂ්පාදන හා සේවා අංශයට දිරිබල සංවර්ධන ණය යෝජනා ක්‍රමය යටතේ දිගු කාලීනව ගෙවා නිම කළ හැකි ආකාරයෙන් ණය ලබාදීම නිසා බව බැංකුව සඳහන් කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.