කිරි සයුරේ අප ඔරු පැදිය යුතුමද?

ස්‌වභාව ධර්මයෙන්ම කිරි නිර්මාණය වී ඇත්තේ ඒ ඒ වර්ගයේ පැටවුන්ගේ වර්ධනය සඳහා ය. ඒ අනුව මවුකිරි දරු පැටවුන්ටය. එළකිරි වසු පැටවුන්ටය. එළුකිරි එළු පැටවුන්ටය. අනිත් කිරි වර්ග සම්බන්ධ තත්ත්වය ද එසේමය. මෙය තේරුම් ගැනීමට මහ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක්‌ අවශ්‍ය නැත. එහෙත් අනුන්ගේ කිරි බොන සහ වැඩුණු පසු කිරි බොන එකම සත්ත්වයා මිනිසා ය. වෙනත් කිරි බොන සතුන් සාමාන්‍යයෙන් අනුන්ගේ කිරි බොන්නේ ද වැඩුණු පසු කිරි බොන්නේ ද නැත. එහෙත් මිනිසා සම්බන්ධයෙන් මෙය කෙසේ සිදුවූයේ ද යන්න සිතා ගැනීමටත් අපහසුය. එහෙත් කිරිපිටි කර්මාන්තය ලෝකයේ විශාලතම කර්මාන්තයකි. බහුජාතික සමාගම් මගින් මෙහෙයවන්නකි. ජනයා මුලා කොට මේ තුළින් උපයා ගත හැකි අති විශාල ධන සම්භාරය නිසා එළකිරි බීම හෝ එළකිරිවලින් සාදන පිටිකිරි බීම මිනිසාගේ පෝෂණය සඳහා අත්‍යවශ්‍ය දෙයක්‌ ය යන මතය, මේ කිරිපිටි සමාගම් විසින්ම වාණිජ පරමාර්ථයෙන් ලෝකය තුළ (ඇතැම් විට වෛද්‍යවරුන්ගේ දායකත්වය ද සහිතව) ප්‍රචලිත කිරීම නිසා වෙනත් කිරි බොන කිසිම සතෙකුට නැති මේ අරුම පුදුම පුරුද්ද මිනිසා තුළ ඇති වී තිබෙනවා විය හැකිය. මේ පුරුද්ද නිසා සෞඛ්‍යමය ආදීනවයන්ට අමතරව ආර්ථිකමය ආදීනවයන්ට ද මුහුණදීමට ද අපට කලෙක සිටම සිදුව තිබේ. නවසීලන්තයෙන් මෙරටට ගෙන්වන කිරිපිටිවල ඩී.සී.ඩී. නමැති රසායනික ද්‍රව්‍යයක්‌ අඩංගු බවට හෙළිදරව්වීමත් සමඟ රට තුළ කිරිපිටි සම්බන්ධ පුළුල් කතිකාවක්‌ ඇති විය. ඒ තුළ පිටිකිරි මෙන්ම දියර (ගොන්) කිරි සම්බන්ධ යථාර්ථය ද හෙළිදරව් වීම, ඒ ගැන මහජනයා දැනුවත් වීම අප දකින්නේ හොඳ දෙයක්‌ ලෙස ය.

වත්මන් කිරිපිටි සංවාදය තුළ කිරිපිටිවල අහිතකරභාවය ගැන සමාජය පුළුල් වශයෙන් දැනුවත්වෙමින් තිබුණත්, දියර කිරි සම්බන්ධ යථාර්ථය එපමණටම සමාජගත නොවන බවක්‌ ද දක්‌නට ඇත. ඒ තුළ zපිටිකිරි ප්‍රශ්නයට විසඳුම නැවුම් දියර කිරි පානය කිරීමයZ යන (ව්‍යාජ) මතය සමාජගත කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටී. විෂ සහිත පිටිකිරිවලට වඩා දියර කිරි හොඳ විය හැකි නමුත් මේ කියන දියර කිරි යනු මොනවාද? මේවා ගොන් කිරිය. එසේ නම් මනුෂ්‍යයන් වන අපට ගොන් කිරි පානය කිරීම අවශ්‍ය දෙයක්‌ ද? එළකිරි වසු පැටවාටය. ස්‌වභාව ධර්මයෙන්ම තමන්ට හිමි එළකිරි වසු පැටවා බොන්නේත් පැටියා කුඩා කල පමණය. ඉන් පසු ඌ හොඳ ගොන් නාම්බෙක්‌ හෝ නෑම්බියක්‌ වූ පසු තවදුරටත් එළකිරි බොන්නේ ද නැත. ඉන් පසු ඌ තණ කොළ කයි. එහෙත් අපේ තත්ත්වය කුමක්‌ද? වසු පැටවා වැඩුණු පසු එම ගොන් වස්‌සාවත් නොබොන ගොන් කිරි, අපි ජීවිත කාලය පුරාම බොමු. බොහෝ දෙනෙකුට උදේ නැගිටින විට (ගොන්) කිරි වීදුරුවක්‌ නැතුවාම බැරිය. මේ ගොන් කිරි වීදුරුව බොහෝ දුරට ආනයනික කිරිපිටිවලින් සාදා ගන්නා නිසා, රටේ සමස්‌ත කිරිපිටි ආනයන වියදම හරහා ආර්ථිකයට සිදුවන බලපෑම ද අතිවිශාලය. එහෙත් මේ පිටිකිරි ප්‍රශ්නයට ගොන් කිරි බොන්නන් යෝජනා කරන දේශීය දියර කිරි පානය කිරීම සැබෑ විසඳුමක්‌ ද යන්න ගැනත් අප අවධානය යොමු කළ යුත්තකි. ඒ පිළිබඳව මෙන්ම පිටිකිරි ප්‍රශ්නයේ ආර්ථික ආදීනව ගැනත් අපි මේ ලිපියෙන් අවධානය යොමු කරමු.

පිටිකිරි මෙන්ම දියර කිරි පිළිබඳ යථාර්ථය ද වත්මන් කිරිපිටි සංවාදය තුළ ජනතාවට අවබෝධ කර දීම ඉතා වැදගත් ය. එහෙත් ඇතැම් විද්වතුන් මෙන්ම ඇතැම් වෛද්‍යවරුන් ද මේ සංවාදය තුළ පිටිකිරිවල අහිතකර භාවය ගැන කියා සිටිමින් පවසන්නේ දේශීය දියර කිරි පානය කිරීම ඊට විසඳුම බවයි. බොන කෙනෙක්‌ දියර (ගොන්) කිරි බීවාට කමක්‌ නැත. එහෙත් දියර කිරි බීම හෝ අප විසින් අනවශ්‍ය ලෙස ප්‍රචලිත කළ යුතු නොව්. ඒ නිසා දේශීය කිරි අවශ්‍යතාව තවත් වැඩි වුවහොත් එම අවශ්‍යතාව සපුරාලීමට දියර කිරි ප්‍රමාණවත් නොමැති නිසා ඔවුන්ට ඊට ආදේශ කිරීමට සිදුවන්නේ ආනයනික කිරිපිටිය. මේ තුළ යළි ආනයනික කිරිපිටිවල වෙළෙඳපොළ තවත් පුළුල් වේ. වත්මන් කිරිපිටි සංවාදය අවසන් වී කලක්‌ ගිය පසු කිරිපිටිවල යථා තතු අමතකව යළි ජනයා පිටිකිරි බොන්නට පෙළඹීම සිදුවිය හැකි දෙයකි. මේ ගොන් කිරි පානය වූ කලී කිසියම් ඇබ්බැහියකි. යමෙක්‌ දියර කිරි බිව්වත් ඒ ඇබ්බැහිය තුළ දියර කිරි නොමැති අවස්‌ථාවලදී අනිවාර්යයෙන්ම වාගේ ඔහුට පිටිකිරි බීමට අවශ්‍ය වෙයි. එහෙත් මේ ගොන් කිරි බීම මනුෂ්‍යයාට අවශ්‍ය දෙයක්‌ නොවන බව හඳුනාගෙන ඒ අනුව අප කටයුතු කරන්නේ නම් පිටිකිරි මෙන්ම දියර කිරි ද අපට අවශ්‍ය නොවේ. එහෙත් යථාර්ථය මෙය වුවද මහජනතාවගේ ගොන් කිරි බීමේ පුරුද්ද මුළුමනින් ම සමාජයෙන් තුරන් කළ හැකි දෙයක්‌ නොවේ. එය ඒ තරම්ම ඇබ්බැහියක්‌ වී හමාරය. එහෙත් රජය විසින්, වෛද්‍යවරුන් විසින් හෝ වෙනත් විද්වතුන් විසින් හෝ දියර කිරි (ගොන් කිරි) බීම ප්‍රචලිත නොකරන්නේ නම් රටේ මේ (ගොන්) කිරි බීමේ අවශ්‍යතාව වර්ධනය වීම හෝ අපට වළක්‌වා ගත හැකිය. ඒ තුළ අපේ කිරිපිටි ආනයන වියදම මෙන්ම දේශීය දියර කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා පිටරටින් ගොන් දෙනුන් ආනයනය කිරීම සඳහා දැරීමට සිදුවන විශාල වියදම් ද අවම කර ගත හැකිය. ගොන් කිරි බීම මනුෂ්‍යයන්ට අවශ්‍ය දෙයක්‌ නොවන නිසා, දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීම ද අවශ්‍ය දෙයක්‌ නොවන බව අප වටහා ගත යුතුය. දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමට කටයුතු කරන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට ද අප කියන්නේ බොන කෙනෙක්‌ ගොන් කිරි බීවාට ප්‍රශ්නයක්‌ නැත. එහෙත් රජය විසින් මැදිහත් වී (ගොන්) කිරි බීම ප්‍රචලිත කළ යුත්තක්‌ නොවන බවයි. කළ යුත්තේ ගොන් කිරි බීම ප්‍රචලිත කිරීම නොව මව්කිරි බීම ප්‍රචලිත කිරීමයි. මව්කිරි බීමෙන් පසු අවශ්‍ය සෙසු දේශීය හා ගුණාත්මක වෙනත් ආහාර වර්ග භාවිතයට ජනතාව පුරුදු කිරීමයි. වෙනත් ආහාර වර්ගවලින් ලබා ගත නොහැකි කිරිපිටිවල පමණක්‌ තිබෙන මහා පෝෂණ ගුණයක්‌ ඇත්නම් දියර කිරි බීම, රාජ්‍ය මැදිහත්වීමක්‌ සහිතව ප්‍රචලිත කළාට කමක්‌ නැත. මේ සම්බන්ධයෙන් වෛද්‍ය පාලිත සමන් ජයකොඩි පවසන්නේ කිරි සහ කිරිපිටිවල සංයුතිය දිහා බලන විට ඔය සමාගම් කියන මහා පුදුම සහගත හෝ වෙන ආහාරවලින් ලබා ගත නොහැකි පෝෂ්‍ය පදාර්ථ එහි අන්තර්ගත නොවන බවයි.

වාර්ෂිකව කිරිපිටි ආනයනය කිරීම සඳහා අපි අති විශාල වියදමක්‌ දරමින් සිටිමු. 2012 වසරේදී අපගේ කිරිපිටි ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 310 ක්‌ පමණ විය. මෙය රු. මිලියන 40300 ක පමණ මුදලකි. ඒ අනුව එක්‌ දිනකට පමණක්‌ කිරිපිටි ආනයනය සඳහා රු. මිලියන 110 ක්‌ පමණ අපට වැය වේ. මෙසේ කිරිපිටි ලෙස අප ආනයනය කරන්නේ දේශීය වශයෙන් සපුරා ගත නොහැකි කිරි අවශ්‍යතාවයි. 2012 වසරේදී ලීටර් මිලියන 61.6 ක්‌ වූ මී කිරි නිෂ්පාදනය ද ඇතුළත්ව නිපදවා ඇති අපේ මුළු කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 299.3 කි. එය 2012 වසරේÊමුළු කිරි අවශ්‍යතාවයෙන් සියයට 40 ක පමණ ප්‍රමාණයකි. ඒ අනුව රටේ කිරි අවශ්‍යතාවයෙන් සියයට 60 ක්‌ පමණ කිරිපිටි වශයෙන් අප විසින් ආනයනය කරනු ලබයි. පසුගියදා නිකුත් වූ මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ (2012) සඳහන් වන පරිදි වර්ෂ 2020 වන විට කිරි නිෂ්පාදනවලින් ස්‌වයංපෝෂිතවීමට රජය ඉලක්‌ක කර ඇත. ඒ නිසා එම ඉලක්‌කය සපුරා ගන්නා තෙක්‌ම දේශීය වශයෙන් සපුරා ගත නොහැකි කිරි අවශ්‍යතාව සපුරා ගැනීමට අපට සිදුවන්නේ කිරිපිටි සහ කිරි නිෂ්පාදන ආනයනය කිරීමෙනි.

මෙතරම් කිරි අවශ්‍යතාවක්‌ රට තුළ පවතින්නේ මක්‌නිසාද යන්නත් අප අවධානය යොමු කළ යුතු කරුණකි. අපේ ශරීරයට අවශ්‍ය පෝෂණ පදාර්ථ ලබා ගැනීම සඳහා එළකිරි හෝ කිරිපිටි බීම අත්‍යවශ්‍ය දෙයක්‌ බවට වන මතයක්‌ සමාජගත වී ඇති අතර එම මිත්‍යාව සමාජගත කිරීමට ඇතැම් ෙෙව්‍යවරුන් ද සැලකියයුතු දායකත්වයක්‌ ලබා දී ඇති බව කනගාටුවෙන් වුවත් කිව යුතුය. මේ දිනවල අපට අසන්නට ලැබෙන කිරිපිටි සම්බන්ධ වෛද්‍ය සාකච්ඡාවලට සහභාගි වන ඇතැම් වෛද්‍යවරුන් කිරිපිටිවල අහිතකරභාවය ගැන කිව්වත්, ඔවුන් කියන තවත් ඇතැම් අදහස්‌වලින් දියර (ගොන්) කිරි භාවිතය ප්‍රචලිත වේ. "කිරිපිටි නිපදවන රටවල කිරිපිටි බොන්නෙ නෑ, බොන්නෙ දියර කිරි පමණයි" යන අදහස මෙහිදී නිතර ඉදිරිපත් වන්නකි. එය ඇත්තය. එහෙත් ඒ රටවල ජනයා ගොන් කිරි බීවාට අපත් ගොන් කිරි බීමට අවශ්‍ය ද? මේ අදහස තුළ සිදු වන්නේ දියර කිරි නොමැති විට විදේශ ආනයනික කිරිපිටි සඳහා ඉල්ලුමක්‌ ඇති වීමයි. මේ සඳහා වෛද්‍යවරු දායක විය යුතු නැත. එසේම මේ සාකච්ඡාවලදී ඇතැම් වෛද්‍යවරු කියා සිටින්නේ එළකිරි බීම මිනිසාට අත්‍යවශ්‍ය දෙයක්‌ නොවන බවයි. මේ තුළ ජනතාවට ලැබෙන පණිවුඩය වන්නේ කිරිබීම අත්‍යවශ්‍ය නොවුණත්, කිරි බීමෙහි යම් අවශ්‍යතාවක්‌ පවතින බවයි. වෛද්‍යවරු පවසන මේ අදහස නිසා ද දියර කිරි භාවිතය ප්‍රචලිත වන අතර, දියර කිරි නොමැති විට, ආනයනික කිරිපිටි සඳහා ඉල්ලුමක්‌ ඇතිවීමට එය හේතු වෙයි. මීට පෙර සඳහන් කළ පරිදිම ගොන් කිරි බීම වූ කලී කිසියම් ඇබ්බැහියකි. ඒ නිසා දියර කිරි නොමැති විට පිටිකිරි හෝ බීමට ඔවුන්ට අවශ්‍ය වෙයි. ඒ හරහා පිටිකිරිවලට වෙළෙඳපොළක්‌ නිර්මාණය වෙයි. එහි වාසිය සැලසෙන්නේ විදේශ කිරිපිටි සමාගම්වලටය. විෂ සහිත කිරිපිටි බොනවාට වඩා දියර කිරි බීම සාපේක්‍ෂව හොඳ දෙයක්‌ විය හැකිය. එහෙත් මිනිසාට ගොන් කිරි බීම අවශ්‍ය දෙයක්‌ නොවන්නේ නම් රජය හෝ වෛද්‍යවරුන් විසින් දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමට මෙතරම් වෙහෙස විය යුතුද? කිරිපිටි වෙනුවට දේශීය දියර කිරි බීම හොඳ දෙයක්‌ බවට ඇතැම් වෛද්‍යවරු සහ විද්වතුන් අදහස්‌ ඉදිරිපත් කරමින් සිටියත්, පාලිත සමන් ජයකොඩි වැනි වෛද්‍යවරුන් පිටිකිරිවල මෙන්ම දියර කිරිවල ඇත්තම කතාව ගැන ජනසමාජය දැනුවත් කරමින් සිටී. මෙය අගය කළ යුත්තකි. පසුගිය zදිවයින ඉරිදා සංග්‍රහයZ සමඟÊපැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ජයකොඩි මෙසේ පවසා තිබුණි.

"වයස අවුරුදු හතරෙන් පස්‌සෙ අපි කිරි බිව්වට කිරිවල තියෙන පෝෂ්‍ය දායක දේවල් අපේ ශරීරයට ලැබෙන්නේ නෑ. අවුරුදු හතරෙන් පස්‌සෙ කිරි අපේ ශරීරයට අවශ්‍ය නෑ. ඒක සොබා දහමේ තීරණයක්‌. අවුරුදු හතරෙන් පසු ශරීරය ප්‍රතික්‍ෂේප කරන දෙයක්‌ අපි බලෙන් දෙන කොට අර්බුදයක්‌ ඇති වෙනවා. ලෙඩ රෝග හැටියට මතුවෙන්නේ ඒ අර්බුදය තමයි."

මේ අදහස අනුව පැහැදිලිවන්නේ ගොන් කිරි බීම මිනිසාට අනවශ්‍ය මෙන්ම අහිතකර දෙයක්‌ ද වන බවයි. ඇත්ත මෙය නම් පොදුවේ රජය සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමට ඔය තරම් වෙහෙසෙන්නේ ඇයි? අපේ කිරි අවශ්‍යතාව දේශීය වශයෙන් සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් රට තුළ එළදෙනුන් නැති නිසා, රජය හදන්නේ එළදෙනුන් (දියුණු ගව ප්‍රභේද) පිටරටින් ආනයනය කිරීමටය. ගොන් දෙනුන් ආනයනය කිරීමට ද අපට සෑහෙන මුදලක්‌ වැය වෙනු ඇත. මිනිසාට අනවශ්‍ය කිරි පානයක්‌ වෙනුවෙන් වෙහෙසවෙමින්, කිරි හරක්‌ පිටරටින් ගෙන එමින් ඔවුන් අපේ රටේ පරිසරයට අනුවර්තනය කර ගැනීමට තවත් දේ කරමින් අප මේ කරන්නේ කුමක්‌ද? නැවුම් එළකිරි බොන්නැයි කියමින් ඔය (ගොන්) කිරි රසයට ජාතිය හුරු කිරීමෙන් වන්නේ කුමක්‌ද? මුළුමනින් ම රටේ කිරි අවශ්‍යතාවට සරිලන දියර කිරි නොමැති තත්ත්වයක්‌ තුළ වෙනත් රටකින් එන පිටිකිරි හෝ දියර කිරිවලට වෙළෙඳපොළක්‌ නිර්මාණය කර දීමයි. රජයේ මේ ප්‍රතිපත්ති හරහා විදේශ පිටිකිරි සමාගම් මේ රටේ දියර කිරි වෙළෙ¹මට අත ගැසීමට ද බැරිකමක්‌ නැත. ඒ නිසා අවසන් වශයෙන් සඳහන් කළ යුතු වන්නේ , මතුව ඇති වත්මන් කිරිපිටි ප්‍රශ්නය විෂ රසායන අඩංගු විදේශ කිරිපිටි සම්බන්ධ ප්‍රශ්නයකට පමණක්‌ නොකළ යුතු බවයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.