බොරු කියා අධිකරණයට අපහාස කළැයි
ෆොන්ටේරා ලොක්‌කන්ට අධිකරණයෙන් නොතීසි

වින්සන් පලිහවඩන, සචිත්‍ර ඇල්වලගේ සහ සුසිල් රණමුක

ෆොන්ටේරා බ්‍රෑන්ඩ් ලංකා සමාගමේ කිරිපිටි නිෂ්පාදන විකිණීම, බෙදාහැරීම හා අලෙවිය වළක්‌වාලමින් නිකුත් කළ වාරණ නියෝගය සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රචාරය කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ලබන 23 දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙසට එම සමාගම් අධ්‍යක්‍ෂවරුන් පස්‌ දෙනකුට ගම්පහ අතිරේක දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මෙනෙවිය ඊයේ (21දා) නොතීසි නිකුත් කළාය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දක්‌වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් විනිසුරුවරිය එසේ නොතීසි නිකුත් කළාය.
ෆොන්ටේරා බ්‍රෑන්ඩ් ලංකා සමාගම නවසීලන්තයෙන් ගෙන්වා බෙදා හරිනු ලබන කිරිපිටි හා ආශ්‍රිත නිෂ්පාදන විකිණීම, බෙදාහැරීම, අලෙවිය හා ප්‍රචාරණය වළක්‌වාලමින් පනවා තිබූ වාරණ නියෝගය අවලංගු කරන ලෙසට එම සමාගම කරනු ලැබූ ඉල්ලීමක්‌ අනුව මෙම පැමිණිල්ල ඊයේ (21දා) කැඳවා තිබිණි.

එම විභාගය සඳහා දිසා අධිකරණ අංක 2 ට යොමුකළ අතර එහිදී ගම්පහ අතිරේක දිසා විනිසුරු ඉන්දිකා කාලිංගවංශ මෙනවිය ඉදිරියේ විභාගයට ගැණින. පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් ජයසූරිය මහතා කරුණු දක්‌වමින් අදාළ ආයතනයට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ නිකුත් කර තිබියදී කිරිපිටි නිෂ්පාදන හා ආශ්‍රිත කිරි ආහාර බෙදාහරින ඒජන්තවරුන්ට එම නියෝගය බලනොපාන බවට අදාළ සමාගම දැන්වීම් මඟින් ප්‍රචාරය කර ඇති බවත් එය වෙබ් අඩවි මගින්ද ප්‍රචාරය කර ඇති බව පැවැසීය.

ඒ අනුව අදාළ ආයතනය අධිකරණ නියෝග කඩකිරීම තුළින් අධිකරණයට අපහාසකර ඇති බවද කීය.

විත්තිය වෙනුවෙන් කරුණු දැක්‌වූ සුදත් පෙරේරා සහ සමාගමේ නීතිඥ උස්‌වත්ත ලියනගේ සුදත් නිලුපුල් පෙරේරා මහතා මෙම අධිකරණ වාරණය නිසා මගේ සේවාදායක ආයතනයට හානියක්‌ සිදුවූ බවද කීය. ශ්‍රී ලංකාවට සපයන කිරිපිටිවලින් 60%-70% කිරිපිටි සපයන්නේ ෆොන්ටේරා ආයතනය මගින් බවද කීය. මෙම කිරිපිටි වාරණය නිසා ලංකාවේ කිරිපිටි හිඟයක්‌ ඇතිවිය හැකි බවද කීය. තවත් සමාගම් කිරිපිටි ආනයනය කරන බවත් එය පැමිණිල්ල වසන් කර ඇති බවත් 2013.06.01 දින ශ්‍රී ලංකාවට ගෙන්වන ලබන කිරිපිටි ශ්‍රී ලංකාවේ රසායනාගාරවල පරීක්‍ෂාකරන බවද කීය. මෙම කරුණු අධිකරණයට වසන්කර පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවද විත්තියේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ විනිසුරුවරිය වාරණ නියෝගය ලබන 30 දා තෙක්‌ බලපැවැත්වෙන බවට අවධාරණය කරමින් ඒ සම්බන්ධයෙන් එදිනට දැනුම් දෙන බව පැවසුවාය.

අදාළ නිෂ්පාදන විකිණීම බෙදාහැරීම, අලෙවිය හා ප්‍රචාරණය අත්හිටුවමින් වාරණ නියෝගයක්‌ නිකුත් කර තිබියදී එය නොතකා ක්‍රියා කිරීම හා අසත්‍ය කරුණු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ලබන 23 දා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්‌වන ලෙසට එම සමාගම් අධ්‍යක්‍ෂවරුන් පස්‌ දෙනකුට නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කළ විනිසුරුවරිය පැමිණිල්ල වැඩිදුර විභාගය එදිනට කැඳවන ලෙසට නියෝග කළාය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ උපුල් ජයසූරිය, උපුල් දේශප්‍රිය, මහේෂ් අතපත්තු, පාලිත සේනාධීර යන මහත්වරු පෙනී සිsටි අතර විත්තිය වෙනුවෙන් සුදත් නිලුපුල් පෙරේරා මහතා පෙනී සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.