පොලොන්නරුවේ වෛද්‍යවරු අද වර්ජනයේ

කරුණාරත්න ගමගේ

උතුරු මැද පළාත් සභාවේ පාලනය යටතේ පවතින පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ සියලුම රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සේවය කරන වෛද්‍යවරුන් අද (22දා) පෙරවරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්‌වා සංකේත වැඩවර්ජනයක නිරතවීමට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කොට ඇත.

එම සංගමයේ පොලොන්නරුව ශාඛාවේ ලේකම් වෛද්‍ය සංජීව අමරසිංහ මහතා ප්‍රකාශ කළේ මෙම වැඩවර්ජනයට හේතුව හිඟුරක්‌ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා ලෙස කටයුතු කළ දැනට

විමර්ශන කටයුතු සඳහා තාවකාලිකව අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයට අනුයුක්‌ත කර ඇති සමස්‌ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් විනය ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම බවයි.

උතුරු මැද පළාත් සෞඛ්‍ය බලධාරීන් එම විනය ක්‍රියා මාර්ගය ගැනීමට දක්‌වන පසුගාමී පිළිවෙතට විරෝධය පළ කරමින් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන සියලුම රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවලට අයත් වෛද්‍යවරුන් 450 ක්‌ පමණ මෙම වැඩවර්ජනයට එක්‌වන බවද ඒ මහතා කීය.

තම ඉල්ලීම් කෙරෙහි සෞඛ්‍ය බලධාරීන් නිසි ක්‍රියා මාර්ගයක්‌ නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයක්‌ සඳහා අවතීර්ණ වීමට සිදුවනු ඇතැයිද හෙතෙම පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.