පර්යේෂණ වාර්තා බැහැර කරන්න
පුළුවන්කමක්‌ නැහැ

- සෞඛ්‍ය ඇමති මෛත්‍රිපාල සිරිසේන



දීර්ඝ කාලයක සිට ජනතාව පානය කරන කිරි සම්බන්ධයෙන් ඇති වී තිබෙන්නේ "වස නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දමන්නත් බැරි" තත්ත්වයකි. ඒ පිළිබඳ මෙන්ම පැවැත්වීමට නියමිතව ඇති පළාත් සභා මැතිවරණ පිළිබඳ මතු වී ඇති ගැටලු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා සමග දිවයින කළ සාකච්චාවේදී සිරිසේන මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය - කිරි පිටිවල පරිභෝජනයට නුසුදුසු ද්‍රව්‍ය අඩංගු බවට වාර්තා පළවීමත් සමඟ කිරිපිටි පරිභෝජනය කළ ජනතාව ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති පියවර කුමක්‌ද?

පිළිතුර - මෙම ප්‍රශ්නය වාර්තා වුණේ නවසීලන්තයෙන් ගෙන එන පිටි කිරි සම්බන්ධයෙන් තමයි. ඒ පිළිබඳ අපි අයි.ටී.අයි. ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේත් පරීක්‍ෂා කරනු ලබනවා. එම පර්යේෂණ වාර්තා අනුව තමයි අපි තීරණ ගනු ලබන්නේ. මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්‌ඩලයෙන් ඇමැති අනුකාරක සභාවක්‌ පත්කරනු ලැබුවා. එය පත්කළේ පසුගිය බ්‍රහස්‌පතින්දා (15 දා). මේ වන විට එම අනුකාරක සභාව දෙවරක්‌ රැස්‌වී තිබෙනවා. ඊට අදාළ සියලු නිලධාරිනුත් අප විසින් කැඳවල තිබෙනවා. පර්යේෂණ වාර්තාවලින් චෝදනාවලට ලක්‌වී තිබෙන කිරිපිටි නිදහස්‌ වනවා නම් ප්‍රශ්නයක්‌ ඇති වන්නේ නැහැ.

රජයක්‌ ලෙස අපි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට වගකිව යුතුයි. රටේ ආහාර, කෑම බීම සම්බන්ධයෙන් ප්‍රධාන බලධාරියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට තිබෙන බලතලය, සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබෙන බලතලත්, අනෙක්‌ අතට වෙළෙඳ අමාත්‍යාංශයට තිබෙන බලතලත්, විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශය යටතේ තිබෙන අයි.ටී.අයි. ආයතනය විසින් ලබා දෙන වාර්තා ඇතුළු සියල්ල සැලකිල්ලට ගෙන තමයි අපි සියලු තීන්දු තීරණ ගත්තේ.

මේ වෙන කොට අපි ප්‍රකාශයට පත්කරල තිබෙනවා සුදුසු සහ නුසුදුසු කිරිපිටි වර්ග මොනවාද කියන එක. මේ වගේ අවස්‌ථාවකදී අපි තාක්‍ෂණික වාර්තා පදනම් කරගෙන තමයි ක්‍රියා කළ යුතු වන්නේ. මම දේශපාලනඥයෙක්‌ මිස විද්‍යාඥයෙක්‌ නොවෙයි. එම නිසා විශේෂයෙන්ම පර්යේෂණ ආයතනවලින් ලැබෙන වාර්තා පදනම් කරගෙන තමයි කටයුතු කරන්නේ. ඒ වගේම රටේ ජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය තුළින් මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක්‌ ලබාදීමට බලාපොරොත්තු වනවා.

අනෙක්‌ අතට කිරිපිටි සමාගම්වල නියෝජිතයන්ටත් අපේ විශේෂඥ කමිටුවලට සහභාගිවීමට අවස්‌ථාව සලසා දී තිබෙනවා. ඒ තුළින් ඔවුන්ගේ ප්‍රශ්න සහ යෝජනා පිළිබඳවත් අපි සාකච්ඡා කරල තිබෙනවා.

පළමුවන කාරණය තමයි ඉහළ ප්‍රමිතියකින් යුතු ඉතා පිරිසිදු කිරිපිටි වගේම අනෙකුත් ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම. අනෙක්‌ අතට වෙළෙඳපළ තුළ භීතියක්‌ ඇතිවීමට ඉඩ තියන්නත් බැහැ. ඒ වගේම ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් තුළ රජය කෙරෙහි තිබෙන විශ්වාසය බිඳ වැටීමට ඉඩ දෙන්නත් බැහැ. මෙම ප්‍රශ්නයේ දී රජයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් මෙම ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්වයන් පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව සඳහන් කළ යුතුයි.

ප්‍රශ්නය - කිරි පිටි නිෂ්පාදිත සමාගම් "අයි.ටී.අයි." ආයතනය හැර වෙනත් ආයතනයකින් සිය කිරිපිටි පරීක්‍ෂා කරන ලෙසට කර ඇති ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර - ශ්‍රී ලංකා රජය විධියට අපි විශ්වාසය තබන්නේ අපේ ආයතන පිළිබඳව තමයි. අපේ ආයතනවල අවශ්‍ය සම්පත් තිබෙනවා නම් එම ආයතනවල පර්යේෂණ වාර්තා බැහැර කරන්න පුළුවන්කමක්‌ නැහැ. අපිට එම සම්පත් නොමැති නම් වෙන පර්යේෂණ ආයතනයක්‌ වෙත යොමු වුණාට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් මෙතන එහෙම ප්‍රශ්නයක්‌ නැහැ.

එහෙත් අපි වෙනත් පර්යේෂණ ආයතනයක්‌ වෙත යොමුවනවා නම්, අපි එම කටයුත්ත කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුවයි.

ප්‍රශ්නය - රජය විසින් ආරක්‍ෂා කළ යුතු ආහාර සුරක්‍ෂිතභාවය පිළිබඳ වගකීම බිඳ වැටී ඇති බවට, චෝදනා එල්ල වී තිබෙනවා නේද?

පිළිතුර - මේක අවස්‌ථාවක්‌ කරගෙන විවිධ පාර්ශ්වයන් විවිධ දක්‍ෂකම් ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දරනවා. එම තුන්වැනි පාර්ශ්වයන් පිළිබඳව එතරම් අවධානයක්‌ යොමු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එම පාර්ශ්වයන් පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයක්‌ විදියට අපි ප්‍රශ්නය විසඳීමට කටයුතු කළ යුතු වනවා.

මෙම මල් වට්‌ටියට අත ගැසීමට බොහෝ දෙනා උත්සාහ දරනවා. කුමන ප්‍රශ්න මතු වුවත් පළමුවැනි දේ තමයි ළමයින්, මවුවරුන් ඇතුළු සියලු ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ආණ්‌ඩුව වගකිවයුතු වීම. එම නිසා අපි සෘජුව මේ පිළිබඳව දැඩි තීන්දු තීරණවල සිටිනවා. මේ ප්‍රශ්නයේදී අපි කිසිම තැනකදී සරල වන්නේ නෑ. පසු බසින්නෙත් නෑ. ඒ වගේම අපි කාටවත් ඔළුව පහත් කරන්නෙත් නෑ.

ප්‍රශ්නය - ඔබ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසුව කිරිපිටි, ඖෂධ සහ දුම්කොළ යන ක්‍ෂේත්‍රයන්ට එරෙහිව ගත් යම් යම් පියවර නිසා එම ක්‍ෂේත්‍රයන්ට අදාළව මතභේදකාරී තත්ත්වයක්‌ නිර්මාණය වී තිබෙනවා. එම ක්‍ෂේත්‍රයන් සමඟ හැප්පෙන්නට යැම තුළින් බොහෝ අනතුරුදායක තත්ත්වයන්ට මුහුණ දුන් පුද්ගලයන් පිළිබඳ අපට අසන්නට ලැබෙනවා. කිරිපිටි තුළ පවත්නා අහිතකර තත්ත්වයන් පෙන්වාදීමට කටයුතු කළ නිසා තමාට මරණීය තර්ජන එල්ල වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ එහි නිලධාරියකු ප්‍රකාශ කර තිබෙනවා.

එකම අවස්‌ථාවකදී කිරිපිටි, ඖෂධ සහ දුම්කොළ යන ක්‍ෂේත්‍රයන් තුළ පවත්නා වැරැදි සහගත තත්ත්වයන් නිවැරැදි කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ඔබගේ පෞද්ගලික අත්දැකීම කුමක්‌ද?

පිළිතුර - අද පවත්නා වාණිජ සමාජය තුළ අභියෝගාත්මක කාර්යයකට තමයි අපි අත ගහල තිබෙන්නේ. නමුත් මෙහිදි අපට වගකීමක්‌ තිබෙනවා රටේ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කරන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශය විධියට මම මෙම කටයුත්තට නොබියව අතගහල තිබෙන්නේ ජනාධිපතිතුමා කෙරෙහි ඇති විශ්වාසය නිසයි. ඒ වගේම ජනාධිපතිතුමා මෙම කටයුත්ත මා වෙත බාරදී තිබෙන්නෙත් මා කෙරෙහි විශ්වාසයක්‌ ඇතිව. මෙම කටයුත්තේදී ජනාධිපතිතුමාගේ සම්පූර්ණ සහයෝගය සහ ආශිර්වාදය මට හිමිවන බව මම දන්නවා. එම විශ්වාසය මත තමයි මෙම ප්‍රශ්නවලට මම අත ගහල තිබෙන්නේ.

මෙම කටයුත්ත ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවන බව මමත් දන්නවා. බොහෝම භයානක ක්‍රීඩාවක තමයි අපි නිරත වෙලා සිටින්නේ. නමුත් රට වෙනුවෙන් ඒ දේ අප ඉෂ්ට කළ යුතුයි. එහිදී අපගේ ජීවිත, තනතුරු යන කාරණා පිළිබඳ නොසලකා බාරගත් වගකීම නිසි ලෙස ඉටු කිරීමට කටයුතු කරනවා.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරලා තිබුණ තරගය තිබෙන්නේ සංධානයේ අපේක්‍ෂකයන් අතර මිස විපක්‍ෂය සමඟ නොවන බව. මැතිවරණය ආසන්න වීමත් සමගම එකම පක්‍ෂයේ අපේක්‍ෂකයන් අතර පවා ගැටුම් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වය නැති කිරීම සඳහා මනාප පොරය නැති කිරීම සඳහා පළාත් සභා මැතිවරණයත් කේවල ඡන්ද ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන්නේ නැද්ද?

පිළිතුර - මෙම පළාත් සභා 3 නේa මැතිවරණයේදී නුවරඑළියේ සිදුවීම හැර එතරම් බරපතළ සිදුවීම් සිදුවී නැහැ. මැතිවරණවලදී ගැටුම් ඇති වූයේ අද ඊයේ නොවෙයි. අපි ඉපදෙන්න පෙරත් මැතිවරණවලදී ගැටුම් ඇති වී තිබෙනවා. 1965 පැවැති මැතිවරණය තමයි මගේ මතකයේ තිබෙන පළමු මැතිවරණය. එම මැතිවරණයෙන් කාර් ගිනි තැබීම්, වෙඩි තැබීම්, ආයුධවලින් පහර දීම වැනි සිදුවීම් වනවා අපි දැක තිබෙනවා.

නමුත් මෙම මනාප ක්‍රමයත් සමග එකම පක්‍ෂයේ අය අතර පවා ගැටුම් ඇති වී තිබෙනවා. මෙම ගැටුම් ඇති වන්නේ පුද්ගලයන්ගේ වරදට වඩා ක්‍රමයේ තිබෙන වරද නිසයි. එම නිසා සාමකාමී මැතිවරණ දැක ගැනීම සඳහා මෙම මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතුව තිබෙනවා.

පළාත් පාලන ආයතනවල මැතිවරණ පවත්වන ක්‍රමය අපි වෙනස්‌ කරල තිබෙනවා. එම නිසා මීළඟ පළාත් පාලන මැතිවරණ වලදී ගැටුම් අවම වේවි කියල අපි විශ්වාස කරනවා. එම නිසා පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහාත් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමය සංශෝධනය කළ යුතුව තිබෙනවා. එහිදී සමානුපාතික ක්‍රමය ආරක්‍ෂා කර ගනිමින් මනාප ක්‍රමය ඉවත් කිරීමට කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ තුළින් මැතිවරණ ගැටුම් මෙන්ම මැතිවරණයක්‌ සඳහා වැයවන විශාල මුදලත් අවම කර ගැනීමේ හැකියාව පවතිනවා. අද තිබෙන ක්‍රමය යටතේ සාමාන්‍ය මිනිහකුට මැතිවරණයකට තරග කරන්න බෑ. සමහරුන් බලයට පත් වූ පසුව කරන වංචා, දූෂණ සඳහා මැතිවරණයකදී අති විශාල මුදලක්‌ වියදම් කිරීමට සිදුවී තිබීමත් එක්‌ හේතුවක්‌ වී තිබෙනවා. එම නිසා ගැටුම්, වංචා, දූෂණ නැති කිරීම සඳහා පැහැදිලි ලෙසම මෙම මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු= වෙනවා.

ප්‍රශ්නය - මැතිවරණ සඳහා නුසුදුසු අපේක්‍ෂකයන් ඉදිරිපත් කරනවා යන චෝදනාව බොහෝ පක්‍ෂවලට එල්ල වී තිබෙනවා. ඒ යටතේ ගුරුවරියක්‌a දණ ගැස්‌වීමේ චෝදනාවලට ලක්‌ වු පළාත් සභා මන්ත්‍රීවරයාට මෙම මැතිවරණයේදී අපේක්‍ෂකත්වය ලබා නොදුන්නත් ඔහුගේ ඥතියකුට අපේක්‍ෂකත්වය ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම චෝදනා පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර - මේ රටේ සියලු දෙනාම ඥතීන්නේ. මේ රටේ ඥතීන් නොවන අය සිටින්නේ කවුද?

අනික පරම්පරාවේ එක්‌ අයකු වරදක්‌ කරයි කියලා, ඔහුගේ පරම්පරාවෙන්ම පලිගන්න හොඳ නෑ. අදත් පොලිසියට හා හමුදාවට බඳවා ගන්න කොට අම්මාගේ සහ තාත්තාගේ චරිතය පිළිබඳ සොයා බලනවා. එහි හොඳ පැත්තක්‌ මෙන්ම නරක පැත්තකුත් තිබෙනවා. අම්මල, තාත්තල වැරැදි කරයි කියල, දරුවන් ඊට වන්දි ගෙවිය යුතුද? දෙමව්පියන්ගේ චර්යාවන් ළමයින්ට බලපානවා කියන කාර්ය වෙනුවෙන් තර්ක කරන්න පුළුවන්. නමුත් දරුවෙක්‌ උපන්නහම, ඔහුගේ දෙමව්පියන් කළ දේට ඔහුගෙන් පළිගන්න නරකයි.

දේශපාලනයේදීත් ඒ කාරණය අදාළ වනවා. ප්‍රධාන වශයෙන් ම තිබෙන තත්ත්වයත් සමග අපි කොහොමද වැඩ කරන්නේ කියන කාරණය පිළිබඳව සලකා බැලීමට අපට සිද්ධ වෙනවා.

සාකච්ඡා කළේ
එරික්‌ ගාමිණී ජිනප්‍රිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.