රජය මැදිහත්වී දියර කිරි බෙදාහැරීමේ
වැඩපිළිවෙළක්‌ සකස්‌ කළ යුතුයි
- වෛද්‍ය හේමමාලි කොතලාවල

ප්‍රභාත් විතාන

දියර කිරි පානය කිරීමට කැමැත්තක්‌ දක්‌වන පාරිභෝගිකයන්ට ඒවා ලබා ගැනීමට තැනක්‌ නොමැති බවත් දියර කිරි සඳහා ශ්‍රී ලංකාව පුරා සංවිධානය වූ විශාල වෙළෙඳපොළක්‌ දැනට නොමැති බවත් රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය හේමමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.

සාමාන්‍යයෙන් දියර කිරි පානය උදෑසන සිදුවන ක්‍රියාවලියක්‌ බවත් මේ සඳහා කැමැත්තක්‌ දක්‌වන අයට දියර කිරි ලබා ගැනීමට නොහැකි බැවින් රජය මැදිහත්වී දියර කිරි බෙදාහැරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ යුතු බවත් කොතලාවල මහත්මිය කියා සිටියාය.

රජයට අනුබද්ධ ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන මැදිහත්වී මේ ක්‍රියාවලිය සිදුකළ හැකි බවත් කිරි ඉතා ඉක්‌මනින් නරක්‌ වන බැවින් ඒවා පාරිභෝගිකයන්ට ඉතා පිරිසිදුව ලබාදිය යුතු බවත් ඇය කියා සිටියාය.

දැනට ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කෙරෙන කිරි ශීතාගාර තව තවත් වැඩි කළ යුතු බවත් එමගින් ජනතාවට දියර කිරි ලබා ගැනීමට හැකිවන බවත් කොතලාවල මහත්මිය ප්‍රකාශ කළා.

රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් ඉකුත්දා කොළඹ 07, විද්වත් වෘත්තීකයන්ගේ සංගම් ශාලාවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වෛද්‍ය හේමමාලි කොතලාවල මහත්මිය මේ බව කියා සිටියාය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.