කිරිපිටි කාණ්‌ඩ කිහිපයක්‌
වෙළෙඳ පොළට නිකුතුවට අවසර


අජිත් අලහකෝන්

ෆොන්ටෙරා, මැලිබන් ලයිෆ් සර්ව් නමැති සමාගම් විසින් ආනයනය කළ කිරිපිටි කාණ්‌ඩ කිහිපයක ඩීසීඩී (ඩයිසයිනමයිට්‌) රසායනිකය නොමැති බවට කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් තහවුරු කර ඇති බැවින් එම කාණ්‌ඩවලට අයත් කිරිපිටි තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ (26 වැනිදා) අවසර ලබා දුන්නේය.

ඊට අමතරව නෙස්‌ලේ සමාගම විසින් ගෙන්වූ ලැක්‌ටෝජන් සහ නැන් නමැති ළදරු කිරිපිටි සාම්පල් අටක වේ ප්‍රොaටීන් හි ඇති ක්‌ලොස්‌ටේ්‍රඩියම් බොටියුලිනම් නමැති බැක්‌ටීරියාව නොමැති බව ද වෛද්‍ය පර්යේෂණායතනය විසින් තහවුරු කර ඇති නිසා එම සාම්පලවලට අයත් කිරිපිටි තොගද වෙළෙඳ පොළට නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (26 වැනිදා) අවසර ලබා දුන්නේය.

ඩී. සී. ඩී. රසායනිකය සහ ක්‌ලොස්‌ටේ්‍රඩියම් බොටියුලිනම් බැක්‌ටීරියාව අඩංගු ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා ඉහත කිරිපිටි සාම්පල පරීක්‍ෂණායතනය විසින් වරායෙන් ලබාගෙන තිබිණි.

ඒ අනුව ෆොන්ටෙරා සමාගම ගෙන්වූ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි සාම්පල දහයක්‌, විපින් ක්‍රීම් සාම්පලයක්‌ සහ මැලිබන් සමාගම ගෙන්වූ කිරිපිටි සාම්පල තුනක්‌, ලයිෆ් සර්ව් සමාගම ගෙන්වූ කිරිපිටි සාම්පල තුනක්‌ කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් පරීක්‍ෂාවට ලක්‌කර ඇත.

එමෙන්ම ක්‌ලොස්‌ටේ්‍රඩියම් බොටියුලිනම් බැක්‌ටීරියාව අඩංගු ද යන්න සොයා බැලීම සඳහා නෙස්‌ලේ සමාගම ගෙන්වූ ලැක්‌ටෝජන් සහ නැන් නමැති ළදරු කිරිපිටි සාම්පල අටක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් පරීක්‍ෂා කර තිබේ.

නෙස්‌ලේ සමාගම සිය කිරිපිටි සඳහා වේ ප්‍රොaටීන් ලබාගන්නේ ප්‍රංශයෙන් බවට එම සමාගම පිලිපීන තානාපති කාර්යාලය හරහා සහතිකයක්‌ ඉදිරිපත් කර ඇති බවද, ප්‍රංශයේ වේ ප්‍රොaටීන්වල ඉහත බැක්‌ටීරියාව පිළිබඳ ගැටලුවක්‌ නොමැති බවටද පරීක්‍ෂණ කණ්‌ඩායම තීරණය කර ඇත.

ඒ අනුව ඉහත කිරිපිටි තොග සියල්ල වරායෙන් නිදහස්‌ කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දී ඇති අතර ඒවා වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඖෂධ ආහාර පරීක්‍ෂකවරුනට සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට අමාත්‍යාංශය උපදෙස්‌ දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.