ගබ්සා පෙති හා ඖෂධ රැසක්‌ සමග
හොර දොස්‌තර ගුවන්තොටේදී දැලේ

හේමන්ත රන්දුණු, ප්‍රභාත් විතාන

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ගබ්සා පෙති හා තවත් බෙහෙත් වර්ග නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ව්‍යාජ වෛද්‍යවරයකු ගුවන්තොටුපළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (27 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සඳහා රේගු නිලධාරීන්ට භාරදී තිබේ.

රත්නපුර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු වන මොහුගේ ගමන්මලු දෙකක ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ ගබ්සා පෙති 17740ක්‌ හා තවත් බෙහෙත් පෙති, ලිංගික උත්තේජනයට ගන්නා පෙති 3000ක්‌ අත්අඩංගුවට ගත් බවත් ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 20ක්‌ වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා පැවසීය.

මෙම පුද්ගලයා රේගු නිලධාරීන්ට තමන් වෛද්‍යවරයකු බවට හැඟවීම සඳහා ව්‍යාජ හැඳුනුම්පතක්‌ පෙන්වූ බවත් එය පරීක්‍ෂා කිරීමේදී එම හැඳුනුම්පත වෙනත් පුද්ගලයකුගේ බවට තහවුරු වූ බවත් ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

වැඩිදුර පරීක්‍ෂණ සඳහා මෙම පුද්ගලයා රහස්‌ පොලිසියට භාරදෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.