විෂ සහිත කිරි පිටි ශ්‍රී ලාංකිකයා සදාකාලික රෝගීන් කරලා
නැවුම් දියර කිරි නිෂ්පාදනය දිරිගැන්වීමේ
කඩිනම් වැඩපිළිවෙළක්‌ රටට අවශ්‍යයි

- වෛද්‍ය බී. එම් එම්. ඒකනායක
(රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්)

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

ශ්‍රී ලාංකිකයන්ට විෂ සහිත කිරිපිටි දී සදාකාලික රෝගීන් නොකර දේශීය නැවුම් දියර කිරි සහ අතුරු නිෂ්පාදන පරිභෝජනය දිරි ගැන්වීමේ සහ නිෂ්පාදනය දිරි ගැන්වීමේ වැඩපිළිවෙළක්‌ ගම දක්‌වා කඩිනමින් ගෙන යැමට පියවර ගත යුතු බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය බී. එම්. එම්. ඒකනායක මහතා පැවැසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල කිරි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 60 ක්‌ බවට නියමයක්‌ දී ඇතත් මේ වනවිට කිලෝ ග්‍රෑම් 40-45 ක්‌ පමණ පරිභෝජනය කරන්නේ යෑයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙරට මුළු ජනගහනයට වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන 1200 ක පමණ පරිභෝජන අවශ්‍යතාව ඇතත් ආනයනික කිරි පිටි, අතුරු නිෂ්පාදන සහ සෙසු පරිභෝජනයන්ද සමග ගලපා රටට වාර්ෂිකව දියර කිරි ලීටර් මිලියන 750 ක්‌ ගණනය කර ඇතත් එම ප්‍රමාණයෙන්ද මේ වනවිට නිෂ්පාදනය ලීටර් මිලියන 280-300 අතර ප්‍රමාණයකි.

දියර කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනයට පශු වෛද්‍යවරුන්ගේ හිඟය සහ අදාළ ක්‌ෂේත්‍රයේ නිලධාරීන්ගේ හිඟයද තදින්ම බලපා ඇති අතර මෙරට පශු වෛද්‍ය කාර්යාල 303 සඳහා පශු වෛද්‍යවරුන් 303 ක සේවයට යෙදීමෙන් දියර කිරි නිෂ්පාදනයේ ඉහළ නැංවීම සිහිනයක්‌ වී ඇතැයිද සංගමය චෝදනා කරති.

දිවයිනේ පළාත් පාලන ආයතන මට්‌ටමින් මහජන පශු වෛද්‍ය අංශ ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වන අතර එමගින් දියර කිරි, අතුරු නිෂ්පාදන සහ සත්ත්ව නිෂ්පාදන පිළිබඳව විමර්ශනය කිරීම තුළ ජනතාව අතර දේශීය නිෂ්පාදන කෙරෙහි පවතින විශ්වාසය තහවුරු වන බවද අවධාරණය කළහ.

ආනයනික කිරිපිටි සංස්‌කෘතියෙන් මිදුණු දියුණු රටවල් ඔවුන්ගේ රටවල දියර කිරි අලෙවිය සිදුකරන බවත් ශ්‍රී ලංකාවේ ජනතාව ආනයනික කිරිපිටි සංස්‌කෘතියේ ගිලී සිටින බවත් පැවැසීය. කිරිපිටි ආනයනය සඳහා වසරකට රුපියල් මිලියන 40000 ක්‌ පමණ වැය වන බවද වෛද්‍ය බී. එම්. එම්. ඒකනායක මහතා පැවැසීය.

දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගත යුතු බව අවධාරණය කරන රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමය විෂ සහිත කිරි පිටි ශ්‍රී ලාංකිකයා සදාකාලික රෝගීන් කර ඇතැයිද පවසති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.