වකුගඩු යක්‍ෂයා පදවියත් ගිලගනී

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක

ඊයේ පෙරේදා පදවිය ප්‍රදේශයේ පවත්වන ලද අලුත්ම සමීක්‍ෂණයට අනුව පදවිය ප්‍රදේශයේ ජනතාවගෙන් 20% ක්‌ එනම් පහට එකක්‌ වකුගඩු ලෙඩ්ඩු. උතුරුමැද පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂය කුම්භකර්ණ නින්දකට වැටිලා. වකුගඩු රෝගය වේගයෙන් රජරට පුරා පැතිරෙනවා. එයින් ජනතාව මැරෙනවා. ඒ නිසා ප්‍රදේශ ජනශුන්‍ය වෙනවා. පළාත් සභාව පත්වෙලා දැන් අවුරුද්දයි. පත්වුණ කාලෙට වඩා දැන් රොගීන් මැරෙනවා. තාමත් පළාත් සභාවේ ආණ්‌ඩු පක්‍ෂයට මේ පිළිබඳව සැලැස්‌මක්‌, ප්‍රතිපත්තියක්‌, නිශ්චිත ක්‍රියා මාර්ගයක්‌ ගෙන නැතැයි උතුරුමැද පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා සිය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

මිනිසුන්ට බොරු කියල, මිනිසුන් මුළා කරල ඡන්දය ගත්තට බෑ. මිනිසුන්ට, සමාජයට, ගමට, රටට වැඩ කෙරෙන්න ඕන. දැන් උතුරුමැද පළාත් සභාවට අවුරුද්දක්‌ ගෙවුණා. මොනවාද කරල තියෙන්නේ. අඩුගානේ රජරට දැවෙන ප්‍රශ්නයක්‌ වන වකුගඩු රෝගයට ස්‌ථිර විසඳුමක්‌ සොයන්න පුළුවන් වුණාද?

පිටරට හදන වතුර පෙරන යන්ත්‍රවලින් දැන් රජරට පිරිලා. යන්ත්‍ර රුපියල් 36000 සිට ඉහළට විකුණනවා. සල්ලි තියෙන අය ඒ යන්ත්‍ර මිලට අරගෙන වතුර පෙරලා බීල ජීවිත බේරාගන්නවා. සල්ලි නැති අය ළිං වතුර බීල වකුගඩු රෝගය හදාගෙන අකලට මැරිල යනවා. විසඳුමක්‌ නෑ, යෑයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක චන්දිම මහින්දසෝම ගමගේ මහතා කියා සිටියේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.