අනුරාධපුර රෝහලේ වකුගඩු සැත්කම් නතර කරයි

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

වෛද්‍ය පුරප්පාඩු හේතුවෙන් අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම පෙරේදා (27 දා) සිට නතර කොට ඇත.

වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා ප්‍රමාණවත් තරම් පුහුණු වෛද්‍යවරුන් නොමැති නිසා තමාට එම සැත්කම් සිදුකළ නොහැකි බවට එම රෝහලේ වකුගඩු බද්ධ කිරීම පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා වෙත පෙරේදා කළ දැනුම් දීමෙන් අනතුරුව මෙලෙස එම ශල්‍යකර්ම නතර කිරීමට පියවර ගෙන තිබේ.

ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවයට වාර්තා කිරීමෙන් පසු මීට වසරකට පෙර එම රෝහලේදී ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කෙරිණි. මේ දක්‌වා එම රෝහලේදී වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්ම දාහතක්‌ (17 ක්‌) සාර්ථකව සිදුකොට ඇත.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වකුගඩු ප්‍රතිකාර සහ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ ශල්‍යාගාරයේ අඩුපාඩු

රැසක්‌ මැද ප්‍රමාණවත් තරම් පුහුණු වෛද්‍යවරුන් නොමැතිව අවට රෝහල්වල පුහුණු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සහායෙන් මේ දක්‌වා වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්ම සිදුකළ බව ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා පවසයි.

වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකදී අවම වශයෙන් තම සහායට පුහුණු වෛද්‍යවරුන් හයදෙනකුවත් සිටිය යුතු බව පැවසූ ඒ මහතා ඒ සඳහා පුහුණු වෛද්‍යවරුන් පස්‌දෙනකුවත් ලබා දෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් තමා කළ ඉල්ලීමට විසඳුමක්‌ ලබාදීම වෙනුවට සිදුවූයේ මේ දක්‌වා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනා වෙනත් රෝහල්වලට මාරු කොට ඒ වෙනුවෙන් එක්‌ වෛද්‍යවරයකු පමණක්‌ ලබා දීම බවත් ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය හමුවේ අසරණ රෝගීන්ට සිදුවන අපහසුතාව පිළිබඳව කනගාටුව පළකරන බව පැවසූ ශල්‍ය වෛද්‍ය විශේෂඥ චරිත වීරසිංහ මහතා වකුගඩු රෝගීන් විශාල වශයෙන් වාර්තා වී තිබෙන උතුරු මැද පළාතේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදුකිරීම නතර කර දැමීමට තීරණය කිරීමට තමාට සිදුවූයේ ප්‍රමාණවත් පහසුකම් සහ පුහුණු වෛද්‍යවරුන් නොමැතිව ගැටලු මධ්‍යයේ තවදුරටත් ශල්‍යකර්ම සිදුකළ නොහැකි නිසා බව ද කීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.