පිටිකිරි අර්බුදයේ බලධාරී භූමිකාව!

මෙරටට ආනයනික කිරිපිටි වර්ගවල තිබී ඩී.සී.ඩී. කෘෂි රසායනිකය හමුවීම හා "වේ ප්‍රොaටීන" සංයෝගය සහිත කිරිපිටි වර්ගවල "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" නමැති බැක්‌ටීරියාව අන්තර්ගතව ඇත්දැයි මතුවූ සැකය යන සිද්ධීන් හේතුවෙන් රට පුරා පසුගිය සති තුනක කාලයේ පැවැති උණුසුම්කාරී තත්ත්වය මේ වන විටද පහව ගොස්‌ නොමැති බව පෙනී යයි. කාර්මික තාක්‍ෂණික ආයතනය විසින් වෙළෙඳපළෙහිපැවැති ආනයනික කිරිපිටි වර්ග හතරක ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට වාර්තාවක්‌ නිකුත් කිරීමත් සමගම මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත්තේය.

එතැනින් පටන්ගත් ආනයනික කිරිපිටි සම්බන්ධ අර්බුදය එම කිරිපිටි භාවිත කිරීම පිළිබඳව දෙවරක්‌ සිතා බැලීමට ජනතාව යොමු කිරීමට තරම් ප්‍රබල විය. ඩී.සී.ඩී. උණුසුම මතුවී දින කිහිපයක්‌ ගතවූ පසු නවසීලන්තයේ එක්‌තරා ප්‍රධාන පෙළේ කිරිපිටි නිෂ්පාදන සමාගමක නිෂ්පාදනය වෙමින් පැවැති ළමා කිරිපිටි වර්ගයක යොදාගත් "වේ ප්‍රොaටීන" සංයෝගයට කසළ නළයක්‌ හරහා "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" බැක්‌ටීරියාව ඇතුළු වීමේ සිද්ධිය වාර්තා විය. මෙහිදී එම බැක්‌ටීරියාව අඩංගු වූ "වේ ප්‍රොaටීන්" සහිත ළමා කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 38 ක්‌ චීනය, රුසියාව, හොංකොං ඇතුළු රටවල් කිහිපයකට අපනයනය කර තිබී ඒවා නැවත නවසීලන්තයට ගෙන්වා ගැනීමට අදාළ කිරිපිටි සමාගමට සිදුවිය. රුසියාව, චීනය වැනි රටවල් දෙවරක්‌ නොසිතාම අදාළ විදේශීය කිරිපිටි සමාගමේ නිෂ්පාදනයන් තම රටවල භාවිතය තහනම් කළහ.

මෙසේ ජාත්‍යන්තර මට්‌ටමින් ඩී.සී.ඩී. හා බැක්‌ටීරියාව සහිත කිරිපිටි නිෂ්පාදනය කරනු ලැබූ නවසීලන්ත කිරිපිටි සමාගමට එරෙහිව තහංචි පනවද්දී අප රටේ සෞඛ්‍ය කිරිපිටි සමාගමට එරෙහිව පියවර ගැනීම දිනෙන් දින ප්‍රමාද කරමින් සිටියහ. අඩුම තරමින් මෙම ආනයනික කිරිපිටි අර්බුදය සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ හෝ කැඳවීමට එම බලධාරීහු ක්‍රියා නොකළහ. මෙම තත්ත්වයන් මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කිරිපිටිවල වස විෂ අඩංගු බවට ප්‍රකාශ වී තිබියදීත් ඇතැම් කිරිපිටි සමාගම්වලින් අල්ලස්‌ ලබා ගනිමින් ඇතැම් සෞඛ්‍ය බලධාරීන් එම සමාගම් ආරක්‌ෂා කරන බවට චෝදනාවක්‌ එල්ල කළේය.

මෙය හොඳින් හිතා මතා කරනු ලැබූ චෝදනාවක්‌ මිස අහම්බෙන් කළ චෝදනාවක්‌ නොවීය. ජූලි මස 26 වැනිදා මෙරටට ආනයනික කිරිපිටි වර්ග හතරක සාම්පල හා දේශීය කිරිපිටි වර්ග දෙකක සාම්පල ඇසුරින් කරනු ලැබූ පරීක්‌ෂණයේ ප්‍රතිඵල සහිත වාර්තාව නිකුත් කරනු ලැබූ අවස්‌ථාවේ සිට දින පහක කාලයක්‌ ගතවන තෙක්‌ම එම වාර්තාව ගැන කිසිවක්‌ කීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මැළිවිය. අදාළ වාර්තාවට අනුව පරීක්‌ෂාවට ලක්‌ කෙරුණු ආනයනික කිරිපිටි සාම්පල හතරෙහිම ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව තහවුරු වී තිබූ අතර දේශීය කිරිපිටි සාම්පලවල එම රසායනිකය අඩංගු නොවන බව සඳහන් කර තිබිණි. අවසානයේ දී ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි වර්ග දෙකක්‌ නිෂ්පාදනය කරනු ලැබූ නවසීලන්ත කිරිපිටි සමාගමේ වේ ප්‍රොaටීන් සහිත කිරිපිටි සංයෝගයකට බැක්‌ටීරියාවක්‌ ඇතුළු වූ බව ප්‍රකාශයට පත්වීමත් සමගම කලබලයට පත්වූ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීහු වහාම මෙරටට ආනයනය කරනු ලබන "වේ ප්‍රොaටීන" සහිත ළදරු කිරිපිටි වර්ග වෙළෙඳපළෙන් ඉවත් කිරීමට පියවර ගත්හ. එමෙන්ම ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි වර්ග 4 ට අයත් කාණ්‌ඩවල කිරිපිටි පැකට්‌ වෙළෙඳපළෙන් ඉවත් කර ගැනීමට අදාළ කිරිපිටි සමාගම්වලට නියෝග කෙරිණි.

මෙම පියවරයන්ට අමතරව වෙළෙඳපළෙහි පවතින සියලු ආනයනික කිරිපිටි වර්ගවල සාම්පල ඒවායේ ඩී.සී.ඩී. රසායනිකය හා "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" නමැති බැක්‌ටීරියාව පවතීදැයි පරීක්‌ෂා කර බැලීම සඳහා කාර්මික තාක්‌ෂණ ආයතනය හා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යෑවීමට පියවර ගැනිණි. හදිසි රැස්‌වීමක්‌ කැඳවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව විසින් මෙම පරීක්‌ෂණ කටයුතු නිමවන තෙක්‌ කිරිපිටි වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කිරීමට තීරණය කළේය. මේ පිළිබඳව කිරිපිටි ආනයනය කරන සමාගම් දැනුවත් කළද මේ දක්‌වාම එම තහනම උල්ලංඝනය කරමින් කිරිපිටි දැන්වීම් ප්‍රචාරණය කිරීම ඇතැම් කිරිපිටි සමාගම් විසින් දිගින් දිගටම සිදු කෙරෙමින් පවතින අතර ඒවාට එරෙහිව කිසිදු පියවරක්‌ ගැනීමට බලධාරීන් මෙතෙක්‌ කටයුතු කර නොතිබීම පුදුමයට කරුණකි.

සෞඛ්‍ය බලධාරීහු මෙසේ කිරිපිටි සම්බන්ධ ප්‍රශ්නයේ දී විදේශීය කිරිපිටි සමාගම්වල ආධිපත්‍යයට යටවී ක්‍රියා කරමින් සිටින විට ජනතාවද ක්‍රම ක්‍රමයෙන් දේශීය දියර කිරි කිරිපිටි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් මිලදී ගැනීම කරා ක්‍රමයෙන් යොමු වන්නට විය. එයට ප්‍රධානතම හේතුව වූයේ ආනයනික කිරිපිටි වර්ගවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා ඇතැම් විද්වතුන් විසින් සමාජය තුළ ගොඩනඟා තිබූ කතිකාවයි. දිගින් දිගටම කිරිපිටි පරිභෝජනය කිරීමේ ආදීනව පිළිබඳව මෙන්ම දියර කිරි භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව එම අංශ හරහා සිදුවූ දැනුවත්වීම මෙම වෙනසට මඟ පෑදීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කිරිපිටි දැන්වීම් ප්‍රචාරය කිරීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය නොතකමින් එක්‌තරා විදේශීය කිරිපිටි සමාගමක්‌ විසින් දිගින් දිගටම තම කිරිපිටි නිෂ්පාදනයන් සියයට 100 ක්‌ සුපිරිසිදු යෑයි පවසමින් දිගින් දිගටම ප්‍රචාරණය ගෙන යැමෙන් මෙරට ආහාර පිළිබඳ බලධරයාගේ නියෝගයන්ට මෙම සමාගම් දක්‌වන සැලකිල්ල මොනවට ප්‍රදර්ශනය විය. මෙම තත්ත්වය මත මාතලේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකු විසින් අදාළ කිරිපිටි නිෂ්පාදන සමාගම තහනම් නියෝගයක්‌ නොතකා හරිමින් ජනතාව නොමඟ යවන අයුරින් තම කිරිපිටි නිෂ්පාදනයන් පිළිබඳ දැන්වීම් ප්‍රචාරණය කරන බවට චෝදනා කරමින් අභියාචනාධිකරණයේ නඩු පැවරුවේය.

ඒ අනුව අදාළ කිරිපිටි සමාගමට තම කිරිපිටි නිෂ්පාදනයන් පිළිබඳව ප්‍රචාරණය කිරීම තහනම් කරමින් අභියාචනාධිකරණය විසින් දින 14 ක තහනම් නියෝගයක්‌ පනවන ලද අතර එය දෙවැනි වරටත් ඉකුත් සතියේ දී තවත් දින 14 කින් එනම් සැප්තැම්බර් මස 02 වැනිදා දක්‌වා දීර්ඝ කරනු ලැබ ඇත.

මෙම සිද්ධීන් සිදු වෙමින් පැවැතියදී අදාළ ප්‍රධාන පෙළේ නවසීලන්ත කිරිපිටි සමාගමට එරෙහිව දෙවැනි නඩුව පවරන ලද්දේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසිනි. ඒ ඉකුත් අගෝස්‌තු මස 16 වැනිදා ගම්පහ දිසා අධිකරණයේදීය. ඩීසීඩී රසායනිකය අඩංගු කිරිපිටි වර්ග මහජනතාවට අලෙවි කිරීමත්, "ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම්" නමැති බැක්‌ටීරියාව එම සමාගමේ "වේ ප්‍රොaටීන්" සහිත කිරිපිටි වර්ගවල අඩංගුව පවතින බවට මතුව ඇති සැකය හා එවැනි තත්ත්වයක්‌ පැවැතියදී තම කිරිපිටි නිෂ්පාදනයන් වස විසෙන් තොර බවට අනිසි ප්‍රචාරණයක්‌ ගෙන යැම අදාළ කිරිපිටි සමාගමට එරෙහිව මෙහිදී ඉදරිපත් වූ චෝදනාවන් විය.

මේ අනුව එම නඩුවෙහි ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රධාන පෙළේ කිරිපිටි සමාගමේ කිරිපිටි නිෂ්පාදන පමණක්‌ නොව සියලු කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් බොදහැරීම, විකිණීම හා ප්‍රචාරණය කිරීම තහනම් කරමින් දින 14 කට වලංගු වාරණ නියෝගයක්‌ පැනවීමට ගම්පහ දිසා අධිකරණය විසින් පියවර ගනු ලැබීය. මෙම නියෝගය නිකුත් කෙරුණද මෙරට ප්‍රධාන ආහාර බලධරයා විසින් සිදුකළ නියෝගයන්ට අවනත නොවූ ආකාරයටම අදාළ කිරිපිටි සමාගම එම වාරණ නියෝගයටද අවනත නොවන අයුරින් කටයුතු කිරීම එම නියෝගය නිකුත් කළ දිනට පසු දිනයේම දක්‌නට ලැබිණි.

වාරණ නියෝගයක්‌ නිකුත් කර තිබුණද එම කිරිපිටි සමාගම විසින් එම නියෝගය නිකුත් කළ දිනට පසු දිනයේද සිය කිරිපිටි හා කිරි නිෂ්පාදනයන් බෙදාහැරීම, අලෙවි කිරීම හා ප්‍රචාරණය කිරීම දිගින් දිගටම සිදු කරගෙන යනු දක්‌නට ලැබිණි. කොටින්ම වෙළෙඳසල්වල එම සමාගමේ කිරිපිටි හා කිරි නිෂ්පාදනයන් දිගින් දිගටම අලෙවිය සඳහා තබා තිබිණි.

මෙම තත්ත්වය මත අධිකරණයට අපහාස කිරීමේ චෝදනා එම කිරිපිටි සමාගමට එරෙහිව එල්ල වූ අතර ඒ පිළිබඳව වෙනම අපහාස නඩුවක්‌ එම සමාගමට එරෙහිව ගොනු කරන බවට පැමිණිලි පාර්ශ්වයේ නීතිඥයන් විසින් ප්‍රකාශ කළහ. මෙම තත්ත්වය මත කිරිපිටි සමාගමේ අධ්‍යක්‍ෂක මණ්‌ඩලයේ පස්‌ දෙනකුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් වරෙන්තු නිකුත් කිරීමට දිසා අධිකරණය කටයුතු කළේය. ඒ වන විටද කාර්මික තාක්‌ෂණ ආයතනය විසින් මෙරට වෙළඳපළෙහි අලෙවි කරමින් තිබූ කිරිපිටි වර්ගවල සාම්පල ඩී.සී.ඩී. පරීක්‍ෂාවට ලක්‌කර තිබූ අතර "බැක්‌ටීරියාවක්‌" වේ ප්‍රොaටීන් සහිත කිරිපිටිවල අන්තර්ගතව ඇත්දැයි පරීක්‌ෂා කිරීමේ කාර්යය බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සිදු කෙරෙමින් පැවතිණි.

මෙවැනි තත්ත්වයක්‌ තුළ වුවද කිරිපිටි සමාගම් සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් දැක්‌වූ ලිහිල් ප්‍රතිපත්තිය පුදුමය දනවන සුලු විය. චීනයට අදාළ නවසීලන්ත කිරිපිටි සමාගම විසින් අපනයනය කරනු ලැබූ "ලැක්‌ටොෙෆ්රින්" නමැති ප්‍රොaටීන් සහිත කිරිපිටි මෙටි්‍රක්‌ ටොන් 38 ක තොගයක අඩංගු විය යුතු නියමිත නයිටේ්‍රට්‌ ප්‍රමාණය මෙන් 15 ගුණයක වැඩි නයිටේ්‍රට්‌ ප්‍රමාණයක්‌ අන්තර්ගතව ඇති බව පසුගිය සතියේදී වාර්තා විය. මෙහිදී චීනය එම කිරිපිටි සමාගමට කිසිදු බුරුලක්‌ නොදැක්‌වීය. මේ පිළිබඳව දැනුම් දීමෙන් පසු නවසීලන්ත කිරිපිටි සමාගම වහාම එම කිරිපිටි තොගය සිය සමාගම වෙත ගෙන්වා ගැනීමට කටයුතු කළේය. කෙසේ වුවද ඩී.සී.ඩී. කෘෂි රසායනිකය, "ක්‌ලොස්‌ට්‍රීඩියම් බොටියුලිනම්" බැක්‌ටීරියාව හා අධික නයිටේ්‍රට්‌ ප්‍රමාණයක්‌ සහිත කිරිපිටි තොගයක්‌ තම රටට අපනයනය කළ නවසීලන්ත කිරිපිටි සමාගමේ සියලු නිෂ්පාදනයන් මේ වන විට චීනය විසින් තහනම් කර තිබේ.

මෙම තහනම එම කිරිපිටි සමාගමට එල්ල වූ දැඩි පහරක්‌ වූයේ චීනය තම ප්‍රධාතනම කිරිපිටි ගැනුම්කරු වීම හේතුවෙනි. අදාළ සමාගමේ කිරිපිටි නිෂ්පාදනයන් චීනයට අමතරව රුසියාව, හොංකොං වැනි රටවලින් ඉවත් වෙද්දී එම සමාගම කෙසේ හෝ උත්සාහ දැරුවේ තම පස්‌වැනි විශාලතම කිරිපිටි ගැනුම්කරු වූ ශ්‍රී ලංකාව තුළද තමන්ට එවැනි ඉරණමක්‌ අත් නොවී තම වෙළෙඳපළ රැක ගැනීමටය. ඒ සඳහා ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ගේ සහායද එම කිරිපිටි සමාගමට ලැබුණු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රසිද්ධියේ කියා සිටියේය.

මෙය තවත් සනාථ කරවන ලද්දේ මෙරටට ආනයනික එම සමාගමේ කිරිපිටි වර්ග දෙකකම ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට ප්‍රකාශයට පත්වූ විට නවසීලන්ත අගමැති ජෝන් කී හැසිරුණු ආකාරයෙනි. නවසීලන්තයේ කිරි ගවයන්ගේ කිරිවලට ඩී.සී.ඩී. රසායනිකය අන්තර්ගත වීමට හේතුවූ එම කිරි පට්‌ටිවලට අයත් තණ බිම්වලට ඩී.සී.ඩී. කෘෂි රසායනිකය යෙදීම 2013 ජනවාරි මාසයේ සම්පූර්ණයෙන් නතර කර තිබීම නිසා මෙරටට නවසීලන්තයෙන් ආනයනය කෙරෙන කිරිපිටි වර්ග කිසිවක එම රසායනිකය අඩංගු විය නොහැකි බව අගමැති කී විසින් ප්‍රකාශ කළේය. එයින් නොනැවතුණු ඔහු නවසීලන්ත විදේශ කටයුතු ඇමැති මරේ මැක්‌කළී පවතින කිරිපිටි අර්බුදය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මෙරටට එවීමටද සූදානම් බව විදෙස්‌ මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබිණි.

මෙහිදී නවසීලන්ත අගමැතිවරයා එසේ ප්‍රකාශ කළද පසුගියදා මාධ්‍ය හමුවක්‌ කැඳවූ තාක්‌ෂණ හා පර්යේෂණ කටයුතු පිළිබඳ ඇමැති චම්පික රණවක මහතා ප්‍රකාශ කර සිටියේ නවසීලන්තය 2004 වසරේÊසිටම එරට කිරි ගවයන් අනුභව කරනු ලබන තණකොළ සහිත තණබිම්වලට ඩී.සී.ඩී. රසායනිකය යොදාගෙන ඇති බවයි. මේ බව එම ඩී.සී.ඩී. සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන කාර්මික තාක්‌ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතා ද සනාථ කළේය

2004 වසරේÊපටන් නවසීලන්තය සිය තණ බිම්වලට ඩී.සී.ඩී. කෘෂි රසායනිකය යොදා ගත්තේ නම් එරට අගමැතිවරයා විසින් ප්‍රකාශ කරන පරිදි 2013 වසරේ ජනවාරි මාසය වන විට එම කෘෂි රසායනිකය භාවිත කිරීම නතර කළද මේ වන විටත් මිනිසාගේ ආහාර දාමයට එම ඩී.සී.ඩී. විෂ එකතුවී හමාරය.

සැබැවින්ම නවසීලන්ත බලධාරීහු මුලින් ප්‍රකාශ කරන ලද්දේ එරට හරිතාගාර වායුන් නිපදවීම සඳහා යොදා ගනු ලබන ගව මුත්‍රාවලින් ඕසෝන් ස්‌ථරයට ඇති වන හානිය වැළැක්‌වීම සඳහා ගවයන් අනුභව කරනු ලබන තණකොළවලට ඩී.සී.ඩී. රසායනිකය යෙදූ බවකි. නවසීලන්ත මාධ්‍ය වාර්තා පසුව සඳහන් කර තිබුණේ පසෙහි නයිටේ්‍රට්‌ ප්‍රමාණය පාලනය කිරීම සඳහා ඩී.සී.ඩී. රසායනිකය අඩංගු පොහොර නවසීලන්ත ගොවීන් විසින් භාවිත කෙරුණද මේ වන විට එම පොහොර භාවිතය එරට විසින් තහනම් කර ඇති බවකි.

කෙසේ වුවද නවසීලන්ත බලධාරීන් විසින්ම ප්‍රකාශ කරන පරිදි දැනට එරට ඩී.සී.ඩී. රසායනිකය භාවිත නොවූවද 2004 වසරේ සිට එම රසායනිකය භාවිත කෙරුණු නිසා කිරි ගවයන් අනුභව කරනු ලැබූ එම ඩී.සී.ඩී. සහිත තණකොළ හරහා ගවයන්ගේ කිරිවලට ඩී.සී.ඩී. විෂ පැමිණ තිබී ඇත. එසේ නම් ශ්‍රී ලංකාව ඇතුළු අදාළ නවසීලන්ත කිරිපිටි සමාගමේ කිරිපිටි නිෂ්පාදනයන් මිලදී ගනු ලබන රටවල වැඩිහිටි, තරුණ, මහලු, ළමා වයස්‌වල පසුවන්නන් ගතවූ වසර 9 ක කාලයේ දී එම විෂ අඩංගු කිරිපිටි පානය කර ඇත්නම් එම තත්ත්වයට වන්දි ගෙවන්නේ කවුරුන්ද?

මෙරට සෞඛ්‍ය බලධාරීන්ද දැන හෝ නොදැන මෙම විෂ කිරිපිsටි මෙරටට ගෙන්වීමට අවසර ලබාදී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්ම පෙන්වා දෙන පරිදි මෙරට පසුගිය කාලය තුළදී ළදරුවන් හා ළමුන් මෙන්ම වැඩිහිටියන් දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලට ගොදුරු වීම වැඩිවීමට මෙම විෂ සහිත කිරිපිටිද එක්‌ හේතුවක්‌ වන්නට ඇත.

කරුණු එසේ නම් එම තත්ත්වය දැන දැනත් තවදුරටත් මෙම වස විෂ සහිත කිරිපිටි මෙරට ජනතාව අතර ප්‍රචලිත කිරීම නැවැත්වීමට සෞඛ්‍ය බලධාරීන් නිසි පියවර නොගන්නේ මන්දැයි ගැටලුවකි. ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බව මෙතෙක්‌ තහවුරු වී ඇති ආනයනික කිරිපිටි වර්ග 4 න් 3 ක්‌ම නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටි වර්ග වන අතර ඉතිරි කිරිපිටි වර්ගය ඕස්‌ටේ්‍රලියාවෙන් මෙරටට ගෙන්වනු ලැබ ඇත.

මේ වන විට ඩී.සී.ඩී. රසායනික අඩංගු කිරිපිටි වර්ග 2 ක්‌ නිෂ්පාදනය කරනු ලැබූ කිරිපිටි සමාගම මෙරට පිහිටි තම නිෂ්පාදන ආයතනය හා කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති අතර ඔවුන්ට එරෙහිව ගම්පහ දිසා අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගයද ඉවත් කරනු ලැබ ඇත.

පසුගිය සති 3 ක කාලය තුළදී මෙම ඩී.සී.ඩී. හා "ක්‌ලොස්‌ට්‍රීඩියම් බොටියුලිනම්" බැක්‌ටීරියාව සහිත කිරිපිටි සම්බන්ධයෙන් රට තුළ හටගෙන තිබූ ආන්දෝලනය හේතුවෙන් වැඩි දෙනකු දියර කිරි පානයට යොමුවී තිබූ බවද වාර්තා විය. එම තත්ත්වය යහපත් වූවක්‌ බව නොකිවමනාය. එහෙත් මෙරට කිරිපිටි වෙනුවට දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමට නම් එම කිරි සඳහා පවතින ඉල්ලුමට සරිලන සැපයුමක්‌ ඇති කිරීමට බලධාරීහු පියවර ගත යුතුව ඇත.

දැනට වෙළෙඳපොළෙහි පවතින දියර කිරි පැකට්‌ටුවක්‌ සාමාජිකයන් 3 ක්‌ හෝ 4 ක්‌ සිටින පවුලකට මසක්‌ වත් භාවිත කළ නොහැකිවීම නිසා සාධාරණ මිලකට එවැනි පවුලකට මසක්‌වත් භාවිත කළ හැකි අයුරින් සකස්‌ කළ දියර කිරි පැකට්‌ වෙළෙඳපලට ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳවද බලධාරීන් සොයා බැලිය යුතුව ඇත.

අවසන් වශයෙන් කිව යුත්තේ දැනට පවතින වාතාවරණය මත දියර කිරි භාවිතය කෙරෙහි ජනතාව තුළ පවතින උනන්දුව නොනැසී එලෙසම පවත්වා ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි. දැනට ඩී.සී.ඩී. හා බැක්‌ටීරියා ආනයනික කිරිපිටිවල නැති බව පරීක්‍ෂණවලදී ඔප්පු වූ බව පවසමින් එම කිරිපිටි වෙළෙඳපළට නැවත නිකුත් කිරීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන්ට දැන් පවතින උනන්දුව එම කිරිපිටිවල ඩී.සී.ඩී. රසායනිකය අඩංගු බවට පරීක්‌ෂණ වාර්තා පෙන්වා දුන් අවස්‌ථාවේදී නොතිබුණේ මන්දැයි ගැටළුවකි. කෙසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්ද මෙරට ආහාර සුරක්‌ෂිත භාවය පිළිබඳව ඉදිරිපත් කර ඇති දස වැදෑරුම් ප්‍රතිපත්තියෙහි සඳහන් කර ඇති පරිදි මෙරට දියර කිරි පානය කිරීම ප්‍රචලිත කර දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගන්නේ නම් බෝ නොවන රෝගවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව අඩු කරලීමටද හේතුවනු ඇත.

ඒමන්ති මාරඹේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.