ලබන වසරේ ඖෂධ මිලදී ගැනීමට
රුපියල් බිලියන 35 ක්‌ වැය කරනවා

- සෞඛ්‍ය ඇමැති

ලබන වසර (2014) සඳහා සෞඛ්‍ය සේවාවට රුපියල් බිලියන 150 ක්‌ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන අතර එයින් රුපියල් බිලියන 35 ක්‌ ඖෂධ මිල දී ගැනීම සඳහා වැය කිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ පසුගිය 26 දා පොළොන්නරුව මහ රෝහලේ පැවැති උත්සවයක්‌ අමතමිනි. පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ සිංහ සමාජය විසින් රුපියල් දසලක්‍ෂ 40 ක වියදමින් අලුත්වැඩියා කරන ලද වාට්‌ටු සංකීර්ණය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි විය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අමාත්‍යවරයා - රජය විශාල මුදලක්‌ මේ රටේ සෞඛ්‍ය සේවාව සඳහා වැය කරනවා. ලබන වසරට සෞඛ්‍ය සේවාව සඳහා රජය විසින් රුපියල් බිලියන 150 ක්‌ වැය කිරීමට ඇස්‌තමේන්තු කර තිබෙනවා. එයින් රුපියල් බිලියන 35 කට අධික ප්‍රමාණයක්‌ ඖෂධ සඳහා වැය කිරීමට අපි අපේක්‍ෂා කරනවා.

2013 වසරට සෞඛ්‍ය සේවාව සඳහා රජය වෙන් කළේ රුපියල් බිලියන 125 යි. එයින් බිලියන 25 ක්‌ ඖෂධ මිල දී ගැනීමට වැය කළා. 2012 වසරේ දී රුපියල් බිලියන 110 ක්‌ ලැබුණා.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.