'කිරිපිටි ප්‍රශ්නයේදී' ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ගියා
එම තත්ත්වය දැන් නිවැරදි කර ගනිමින් ඉන්නවා

- ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල

රනිල් ධර්මසේන

කිරිපිටි ප්‍රශ්නය ඇතිවූ අවස්‌ථාවේදී ආණ්‌ඩුව ප්‍රමාණය ඉක්‌මවා ක්‍රියාමාර්ග ගත් නමුත් දැන් එම තත්ත්වය ක්‍රමයෙන් නිවැරදි කරමින් සිටින බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පැවසීය.

කිරිපිටිවල විෂ ඇති බවට සැකය ඇතිවීමත් සමග ජනතාවගේ ආරක්‍ෂාව ගැන ආණ්‌ඩුව මුලින්ම සිතා මෙම සියලු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් කීය.

ඩී. සී. ඩී. අඩංගු කිරිපිටි වහාම වෙළෙඳපොළෙන් ඉවත් කිරීමටත් අදාළ කිරිපිටි සියලු දැන්වීම් ප්‍රචාරය නැවැත්වීමටත් කටයුතු කළ බව කී ඇමැතිවරයා දැන් විද්‍යානුකූලව සනාථ කර ගැනීමෙන් පසුව ක්‍රමයෙන් පැවැති තත්ත්වය නිවැරදි කරමින් යන බවද කීය.

මින් ඉදිරියට සෑම කිරිපිටි වර්ගයක්‌ම දැඩි පරීක්‍ෂාවට ලක්‌ කිරීමෙන් පසුව වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඊයේ (29 වැනිදා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා කියා සිටියේය.

කිරිපිටි ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති ඩිව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කැබිනට්‌ අනුකමිටුව සිය නිර්දේශ ඊයේ (29 වැනිදා) ඇමැති මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වෛද්‍ය පර්යේෂණ ආයතනය හා කාර්මික තාක්‌ෂණායතනය ඇතුළු දේශීය විද්‍යාගාර වර්ධනය කිරීමටත් යහපත් නිෂ්පාදන භාවිතයක්‌ සහතික කිරීම සඳහා ප්‍රධාන ආහාර බලධාරියා යටතේ විශේෂඥයන් විසින් ශ්‍රී ලංකාවේ ඇති සංකීර්ණ හා දියුණු ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා පරීක්‍ෂා කිරීමටත් නිර්දේශ කර ඇත.

මෙයට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනෙකුත් කොටස්‌කාර ආයතන සමග එක්‌ව මවු කිරිදීම හා දේශීය දියර කිරි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක්‌ දියත් කිරීම, මතුවෙමින් පවතින ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ ගැටලුවලට සරිලන ලෙස ආහාර අධිකාරියේ කාර්ය මණ්‌ඩල හා අනෙක්‌ පහසුකම් ඇතුළු ධාරිතාව වර්ධනය කිරීම හා ආහාර පනත සංශෝධනය කිරීම සරල බසින් අදාළ ගැටලුව පිළිබඳ විස්‌තරාත්මක පුවත්පත් දැන්වීමක්‌ පළ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නියම කිරීම, එම දැන්වීම් පළ කිරීමට පෙර නව ලේබල් කිරීමේ ක්‍රමය හඳුන්වාදීම තහුවරු කිරීම, කාර්මික තාක්‌ෂණ ආයතනය සඳහා Liquid Chromatograph Mass Spectrometer යන්ත්‍රයක්‌ මිලදී ගැනීම, අධිකාරිය විසින් තීරණය කරනු ලබන ඩීසීඩී අඩංගු කිරි නිෂ්පාදන වෙළෙඳ පොළෙන් ඉවත් කිරීමට ප්‍රධාන ආහාර බලධාරියාට හා පාරිභෝගික කටයුතු අධිකාරියට නියම කිරීම, මෙවැනි ගැටලු සම්බන්ධව කටයුතු කරන විට සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අධිකාරිය හා කාර්මික තාක්‌ෂණ ආයතනය සමීප සම්බන්ධතාවකින් යුතුව කටයුතු කිරීම, ජාත්‍යන්තර සම්මතයනට අනුකූල වන පරිදි භාණ්‌ඩ රේගුවෙන් නිදහස්‌ කිරීමට පෙර ශ්‍රී ලංකා රේගුව, වෛද්‍ය පර්යේෂණ ආයතනය හා කාර්මික තාක්‌ෂණ ආයතනය එක්‌ව ආහාර සුරක්‍ෂණ උපද්‍රව පරීක්‍ෂාවන් කිරීම සඳහා විධික්‍රමයක්‌ හඳුන්වාදීමටද කටයුතු කිරීමට නිර්දේශ කර ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.