ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් සෞඛ්‍ය සූත්‍රය
කෙරෙහි ජාත්‍යන්තර අවධානය


පසුගිය ජුනි මාසයේ මුල් සතියේ දී ඇමරිකාවේ සුප්‍රකට හාවඩ් විශ්වවිද්‍යාලය පිහිටා තිබෙන බොස්‌ටන් නගරයේ දී එක්‌තරා සම්මන්ත්‍රණයක්‌ පැවැත්විණි. ඒ විශ්වවිද්‍යාලයට අනුබද්ධ පීඨ දෙකක්‌, එනම් ලෝ පතළ කීර්තියක්‌ දිනා ඇති හාවඩ් විශ්වවිද්‍යාලයීය මහජන සෞඛ්‍ය පීඨය (Harvard School of Public Health) සහ රාජය තාන්ත්‍රික කටයුතු පිළිබඳ ජෝන් එෆ්. කෙනඩි පීඨය (John
F. Kennedy School of Government) ඒකාබද්ධව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකි. දින තුනක්‌ පුරා පැවැති ඒ සම්මන්ත්‍රණයට රටවල් 15 ක සෞඛ්‍ය අමාත්‍යවරු ආරාධනා ලැබ පැමිණ සිටියහ. ඔවුන් අතර එක්‌ අයකු වූයේ වත්මන් මහින්ද රාජපක්‍ෂ රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාය. 2010 වර්ෂයේ දී පවත්වන ලද මහා මැතිවරණයෙන් අනතුරුව මේ සමයේ දී අතිශය අර්බුදකාරී අමාත්‍යාංශයක්‌ ලෙස ප්‍රකටව පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමුවා ලෙස ක්‍රියා කළේ එතුමා ය. නිහතමානීව, අවංකව සහ සංසුන්ව ඒ අමාත්‍යාංශයේ රාජකාරි යුතුකම් ඉටු කිරීමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ඇමැතිවරයා පොදු ජනතාව අතර ප්‍රසාදයක්‌ සහ ගෞරවයක්‌ හිමි කරගෙන සිටින බව නොරහසකි. එම සේවය ජාත්‍යන්තර මට්‌ටම දක්‌වා ද ව්‍යාප්ත විය. එලෙස එතුමාගෙන් සිදු වූ එක්‌ මහඟු සේවයක්‌ වූයේ ලෝකයේ දුම්කොළ භාවිතය අඩු කිරීමට දායක වීමයි. ඒ වෙනුවෙන් මේ වසරේ ලෝක දුම්වැටි විරෝධී දිනයේ දී (මැයි 31) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ජිනීවාහි දි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට ජගත් විශිෂ්ටතා සම්මානයක්‌ පිරිනැමුවේ ය. ඒ ජයග්‍රහණයේ සාධාරණ අභිමානයේ උණුසුම භුක්‌ති විඳිමින් ය, අපේ සෞඛ්‍ය ඇමැතිතුමාට බොස්‌ටන් නගරයේ පවත්වන ලද පූර්වෝක්‌ත තෙදින සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමේ වරම හිමි වූයේ.

ජගත් විශිෂ්ටතා සම්මානය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දුම්කොළ භාවිතය පිටුදැකීම සම්බන්ධයෙන් 2012 වසරට අදාළ ව තේමාව වූයේ "දුම්කොළ කර්මාන්තයේ අනිසි බලපෑම් වළක්‌වමු" යන්න යි. මේ උවදුර මැඬලීම සඳහා මෛත්‍රීපාල ඇමැතිතුමාගෙන් ලැබුණේ ප්‍රබල පිටුවහලකි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ශ්‍රී ලංකාව ද පාර්ශ්වකරුවකු වන දුම්කොළ පාලන සම්මුතියේ පාදක ව්‍යqහයේ (FCTC) එකොළොස්‌ වැනි වගන්තියට අදාළ ක්‍රියාවලියක්‌ ඇරඹීමට ශ්‍රී ලංකාව සමත් විය. ඇත්ත වශයෙන් ම එකී ගිවිසුම සම්මත කළ මුල් ම ආසියාතික රටක්‌ වූයේ ශ්‍රී ලංකාව යි. ඒ වර්ෂ 2003 දීය. දුම්කොළ පිටුදැකීම සම්බන්ධව මේ ආකාරයෙන් ලොව මුලින් ම බිහි වූ මහජන සෞඛ්‍ය සුරැකීම පිළිබඳ සම්මුතිය මෙය යි. එය ජාත්‍යන්තර මට්‌ටමින් වලංගු නීතියක්‌ බවට පත් වූයේ 2005 වසරේ දීය. එම ගිවිසුමේ එකොළොස්‌ වැනි වගන්තිය අනුව මෙරට තුළ දුම්වැටි අසුරණවල රූපමය සෞඛ්‍ය අවවාද ඇතුළත් කළ යුතු ව තිබුණේ 2008 වසරේ දී ය. එහෙත් විවිධ හේතු කාරණා නිසා එය නියම පරිදි ක්‍රියාත්මක නොවීය. මේ පිළිබඳ නිසි ක්‍රියාවලිය අරඹන ලද්දේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව ය. දුම්කොළ කර්මාන්තය ඇටවූ නොයෙක්‌ කූඨ බාධක මධ්‍යයේ අදාළ රූපමය සෞඛ්‍ය අවවාදවලට අදාළ රෙගුලාසි ගැසට්‌ කරන ලද්දේ 2012 වසරේ අගෝස්‌තු මාසයේ දී ය. ඒ සම්බන්ධව කරන ලද සක්‍රීය කාර්යභාරය වෙනුවෙනි, 2013 වසරේ පූර්වෝක්‌ත ජගත් විශිෂ්ටතා සම්මානය ඔහුට පිරිනමන ලද්දේ. එය යළිත් වරක්‌ මෙරටේ දී ජනාධිපතිතුමන් අතින් සිය සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනැමීම අතිශයින් ම කාලෝචිත යá යුක්‌ති යුක්‌ත ය.

බොස්‌ටන් සම්මන්ත්‍රණය

යළිත් බොස්‌ටන් සම්මන්ත්‍රණය වෙත අවධානය යොමු කරමු. ලැබී ඇති වාර්තාවලට අනුව එම සම්මන්ත්‍රණයේ දී රැස්‌ ව සිටි ලෝක සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ දැඩි අවධානයට යොමු වූයේ ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ඉතා අඩු අගයකින් යුත් ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයක්‌ භුක්‌ති විඳින ශ්‍රී ලංකාවේ ජනතාව, ඒ සා විශිෂ්ට ජීව දත්ත ළඟා කර ගැනීමට සමත් වූයේ කෙසේ ද යන්න කෙරෙහි ය. එය ඔවුන්ට මහා ප්‍රහේලිකාවක්‌ බඳු විය. ඒ ප්‍රහේලිකාව විසඳීමට අවශ්‍ය පසුබිම සහ අදාළ දත්ත මෙන් ම තොරතුරු අපේ සෞඛ්‍ය ඇමැතිතුමා මැනවින් ප්‍රගුණ කරගෙන හොඳින් සන්නද්ධ වී සිටි බව එතුමාගේ ප්‍රතිචාරයෙන් මොනවට පැහැදිලි විය.

ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් සෞඛ්‍ය සූත්‍රය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි විශිෂ්ට ස්‌වභාවය පළමුවෙන් ලොවට අනාවරණය වූයේ 1979 වසරේ දී ය. ඒ වසරේ දී මොරිස්‌ ඩී. මොරිස්‌ නමැති පර්යේෂකයා ලෝකයේ රටවල් සිය ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතයට (Per Capita GNT) සාපේක්‍ෂව ලබා සිටි සෞඛ්‍ය තත්ත්වය සංසන්දනාත්මකව විමසා බැලී ය. 1979 වසරේ දී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 179 ක්‌ වැනි සුළු පරිමාණයකින් පැවැතියත් ශ්‍රී ලංකාවේ භෞතික ජීවන තත්ත්ව දර්ශකය 82% ක ඉහළ අගයක්‌ ඉසිළීය. (භෞතික ජීවන තත්ත්ව දර්ශකය මනිනු ලබන්නේ, එනම් උපතේ දී ආයු අපේක්‍ෂණය, ළදරු මරණ අනුපාතිකය සහ වැඩිහිටි සාක්‍ෂරතාව යන කරුණු තුන පදනම් කරගෙන ය.)



ශ්‍රී ලංකාවේ මේ ආශ්චර්යවත් ප්‍රතිඵල අරභයා මොරිස්‌ ඩී. මොරිස්‌ ප්‍රකාශ කළේ, "ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 179 ට වැඩි එහෙත් භෞතික ජීවන තත්ත්ව දර්ශකය 82 කට අඩු රටවල් ශ්‍රී ලංකාව ගිය මග ගනී නම් මිනිසුන් බිලියන 1.6 කට පමණ සෙත සැලසෙනු ඇත" යනුවෙනි.

බොස්‌ටන් සම්මන්ත්‍රණයේ දී සෞඛ්‍ය අමාත්‍යවරුන් මෛත්‍රිපාල සිරිසේන අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නය වූයේ මේ තරම් අඩු ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිත අගයක්‌ තිබියදීත් ශ්‍රී ලංකාව ඒ සා විශිෂ්ට භෞතික ජීවන තත්ත්ව දර්ශකයක්‌ සතු කර ගැනීමට භාවිත කළ සූත්‍රය කුමක්‌ ද, යන්න යි. මෙහි දී එක්‌ දෙයක්‌ සිහිපත් කිරීම සුදුසු ය. මෛත්‍රිපාල සිරිසේන රජරට සුජාත පුත්‍රයෙකි. පුරාණ රජරට රාජධානියේ අගනුවර වූ අනුරාධපුරය වනාහි ලෝකයේ පැරණිතම රෝහල් බිහි වූ නගරය බවට පුරාවිද්‍යා සාක්‍ෂි මගින් තහවුරු වී ඇත. ඒ වග හොඳින් දන්නා රජරට දරුවකු වූ මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා අපේ පුරාණ බෞද්ධ රජවරුන්, සෞඛ්‍ය සේවය සැමට ලබා දීම රාජකීය යුතුකමක්‌ සේ සලකා කටයුතු කළ බව මැනවින් දනී. එතුමා "ආරෝග්‍යා පරමා ලාභා" යන බුදු වදනට අනුකූලව සිය අමාත්‍යාංශයේ කටයුතු කිරීමට යුහුසුලු වන්නේ එකී මහඟු සම්ප්‍රදාය උපතින් උරුම වූ ඇත්තකු නිසා යෑයි සිතීම සාධාරණ ය. බහුජන යහ සෞඛ්‍ය උදෙසා රජය තීරණාත්මක ලෙස මැදිහත් විය යුතු ය, යන සංකල්පය මත පිහිටා කටයුතු කරන මේ රජරට පුත්‍රයාට රජුන් සමඟ උරෙනුර ගැටී කටයුතු කිරීම නුහුරු නුපුරුදු දෙයක්‌ නොවේ. අද අප ජීවත්වන ප්‍රජාතාන්ත්‍රික ලෝක ව්‍යqහයේ දී මෛත්‍රිපාල ඇමැතිතුමා සෞඛ්‍ය ධුරය හෙබවීමට බෙහෙවින් ම සුදුස්‌සකු බව මේ වනවිටත් ඔප්පු කර තිබේ. අදත් අපේ රටේ ජනගහනයෙන් 95% ක්‌ වැනි ප්‍රතිශතයක්‌ රෝහල්ගත වන්නට තරම් රෝගාතුර වූ අවස්‌ථාවල දී පිහිට පතන්නේ රජයේ රෝහල් පද්ධතියෙන් ය. ශ්‍රී ලංකාවේ ආශ්චර්යවත් සූත්‍රයේ එක්‌ වැදගත් අංගයක්‌ වන්නේ එය බව ඉඳුරා ම පැවැසිය යුතු ය.

රජයේ මැදිහත්වීම

සෞඛ්‍ය සඳහා වැය වන මුදලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්ගේ ප්‍රශස්‌ත භාවයට තුඩු දුන් තවත් වැදගත් සාධකයක්‌ වූයේ ශ්‍රී ලංකාවාසී ජනතාව සර්වජන ඡන්දය කෙරෙහි දැක්‌වූ සංවේදීතාව යි. සර්වජන ඡන්දයේ අගය බොහෝ සෙයින් හඳුනාගත් රාෂ්ට පාලකයෙකි, මෛත්‍රිපාල සෞඛ්‍ය ඇමැතිතුමා. දෛවය අනුව ඔහු මෙලොව එළිය දුටුවේ 1951 වසරේ සැප්තැම්බර් මාසයේ තුන් වැනිදා පාන්දර යාමයේ දී ය. ඒ, තමා අයත් දේශපාලන පක්‍ෂය, එනම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බිහි වී පැය 24 ක්‌ ගෙවී යැමටත් පෙරාතුව ය. මේ වන විට ඔහු ඒ පක්‍ෂයේ මහ ලේකම් පදවිය ද හොබවන්නේ ය. සැබැවින්ම ඔහු ප්‍රජාතාන්ත්‍රිකයá නවීන ආකල්පයන්ගෙන් ද යුක්‌ත වන්නේ යá නිදහස්‌කාමී ය. එවැනි ලක්‍ෂණ සමාජයේ ද පොදුවේ ප්‍රචලිතවීමත් සමඟ ම ලංකාවාසී ජනතාව සිය සර්වජන ඡන්ද බලය තමන්ට රිසි ආණ්‌ඩු පිහිටුවා ගැනීමට අතිසූක්‍ෂම ලෙස යොදාගත්හ. තමන්ට රිසි ආණ්‌ඩු වනාහි තමන්ගේ ජීවන තත්ත්වය උසස්‌ කර ගැනීමට තුඩු දෙන්නා වූ සුබසාධන කටයුතු කරන ආණ්‌ඩු වන්නේ ය. එවැනි සුබසාධන ප්‍රතිලාභ අතර නිදහස්‌ සෞඛ්‍ය සේවය ප්‍රමුඛස්‌ථානයක්‌ ගත්නේ ය. ඊට අමතර ව නිදහස්‌ අධ්‍යාපනය, ආහාර සහ ප්‍රවාහන සේවා ආදිය ද වන්නේ ය. මේ සියල්ල සෘජු ව හෝ වක්‍ර ව හෝ රටේ ජනයාගේ සෞඛ්‍ය දියුණු කිරීමට උපස්‌ථම්භක වන්නේ ය. මෙවැනි අදහස්‌වලට, සම්මන්ත්‍රණයට සහභාගී වූ සංවර්ධිත ධනවාදී රටවල සෞඛ්‍ය ඇමැතිවරුන් කෙබඳු අයුරින් ප්‍රතිචාර දැක්‌වූවා ද, යන්න සිතාගැනීම උගහට ය. මක්‌නිසා ද යත් ශ්‍රී ලංකාවේ පවතින මාදිලියේ සෞඛ්‍ය සේවාවක්‌ ධනවාදී රටවල හඳුන්වනු ලබන්නේ 'සමාජවාදී සෞඛ්‍ය සේවාවක්‌' ලෙස බැවිනි. එහෙත් අපේ සෞඛ්‍ය ඇමැතිතුමාට ශ්‍රී ලංකාවේ පවතින සෞඛ්‍ය සේවාවන්ගේ වටිනාකම ඔප්පු කිරීමට සාක්‍ෂි ඕනෑතරම් තිබිණ. උදාහරණයක්‌ වශයෙන් 2008 වසරේ දී ලෝක බැංකුව විසින් ලෝකයේ තෝරාගත් කලාප 9 ක්‌ පදනම් කොටගෙන එක්‌තරා විමර්ශනයක්‌ දරන ලදී. එහි අරමුණ වූයේ රටක්‌ සෞඛ්‍ය සේවාවන් සඳහා ආයෝජනය කර තිබෙන මූල්‍යමය ප්‍රතිපාදනවලට සාපේක්‍ෂව ලබා ඇති ප්‍රතිඵල සහ ප්‍රතිලාභ මැන බැලීමයි. ඒ විමර්ශනයෙන් අනාවරණය වූයේ ශ්‍රී ලංකාවට මුල් ස්‌ථානය හිමි විය යුතු බව යි.

පැසසුම

මෙම සමුළුවේ දී ශ්‍රී ලංකාව තුළ ඒ සා ප්‍රශස්‌ත සෞඛ්‍ය සේවාවක්‌ ගොඩනැගීමෙහි ලා ශ්‍රී ලංකාවේ විවිධ මට්‌ටම්වල වෛද්‍ය වෘත්තිකයන්, පරිපාලකයන්, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්, හෙදියන් ආදි සියලු පාර්ශ්වයන්ට කීර්තිය සහ ප්‍රශංසාව පැවරීමට මෛත්‍රිපාල ඇමැතිතුමා පසුබට නොවූ බව සැළයි. ඊට අමතර ව ශ්‍රී ලංකාවාසී ජනතාවගේ උසස්‌ සාක්‍ෂරතාව හේතු කොටගෙන විශේෂයෙන් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සාක්‍ෂරතාව හේතු කොටගෙන ඔවුන් සෞඛ්‍ය සේවාවන් විසින් සපයනු ලබන මාතෘ හා ළදරු සේවාවන්, විවිධ එන්නත් ව්‍යාපෘති ආදියෙහි විපුල ඵල ලැබීමට යොමු වූ අයුරු පැහැදිලි කළේ ය. එමෙන් ම රටේ විටින්විට හටගන්නා විවිධ වසංගත තත්ත්වවල දී උදාහරණයක්‌ වශයෙන් ඩෙංගු වැනි වසංගත තත්ත්වවල දී ඒවා මැඬලීම සඳහා මෛත්‍රිපාල මැතිතුමාගේ පූර්ණ දායකත්වය අතිශයින් ම ඵලදායී වී ඇත.

බෝ වන රෝගවලට වඩා ප්‍රබල තර්ජනයක්‌ මහජන සෞඛ්‍යයට දැන් දැන් එල්ල වන්නේ බෝ නොවන රෝගවලින් බව ප්‍රකට කරුණකි. බෝ නොවන රෝග කෙරෙහි සුවිශේෂ බලපෑමක්‌ දක්‌වන සාධක අතර දුම්කොළ හා මද්‍යසාර භාවිතය ප්‍රමුඛස්‌ථානයක්‌ ගනී. මත් උවදුර මැඬලීමෙහි ලා මෛත්‍රිපාල ඇමැතිතුමා අතින් සිදු වන්නේ ඉතා ප්‍රශස්‌ත සේවයකි. පළමු කොට එතුමාගේ දිවි පැවැත්ම, සැබවින් ම මතින් තොර සරල එකකි. ඊට අමතරව මහා පරිමාණ දුම්කොළ හා මද්‍යසාර කර්මාන්තවල බලපෑමට කිසි සේත් නතු නොවී අවංකව නිර්භයව එඩිතරව බහුජන හිත සුව පිණිස එතුමා ක්‍රියාත්මක වන ආකාරය අපේ ජනතාව මැනවින් අවබෝධ කරගෙන සිටිති. සුරා බදු වැඩිකර ගැනීමට යැමේ දී මහජන සෞඛ්‍යයට කිසි සේත් හානිදායක දෙයක්‌ සිදු නොවිය යුතු බව එතුමා නොයෙක්‌ වර සෘජුව ම පවසා තිබේ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වශයෙන් මට මෛත්‍රිපාල ඇමැතිතුමාගෙන් සෑම විට ම ලැබී තිබෙන්නේ අවංක, නිර්ලෝභී, උෙද්‍යාaගීමත් සහයෝගයකි. අද අපේ රටේ උගත්, බුද්ධිමත් තරුණ පරපුර සැලකිය යුතු අයුරින් දුම්වැටි භාවිතය ප්‍රතික්‍ෂේප කර තිබේ. එසේ වීමට මෛත්‍රිපාල ඇමැතිතුමාගෙන් ද මහඟු දායකත්වයක්‌ ලැබී තිබේ.

තිත්ත ඇත්ත

සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්ති අප රටේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව නම් ඒ කටයුත්තට දායක වූ අප සියලු දෙනා මෙන්ම මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමා ද අද දක්‌වා ලබා ඇති ජයග්‍රහණයක්‌ නොමැති තරම්ය. ඒ එතුමා දැඩි ලෙස ඒ පිළිබඳ වෙහෙස නොවූ නිසා නම් නොවේ. එය මා සලකන්නේ ශ්‍රී ලාංකික සමස්‌ත ජනතාව ම ලද පොදු පරාජයක්‌ ලෙස ය. මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමා බහුජන හිතසුව පදනම් කොටගෙන සිය මහඟු ප්‍රතිපත්ති මාලාව එනම් රටේ සියලුදෙනාට ප්‍රශස්‌ත මට්‌ටමේ අත්‍යවශ්‍ය ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීමට මග සලස්‌වන ප්‍රතිපත්ති මාලාව - මුළු ලොවට ම ඉදිරිපත් කළේ 1976 වර්ෂයේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඓතිහාසික නොබැඳි ජාතීන්ගේ සමුළුව මෙරට පැවැති සමයේ දී ය. මහාචාර්ය සේනක බිබිලේ අභාවප්‍රාප්ත වී දැනට වසර 35 ක්‌ පමණ ගෙවී ගොස්‌ ය. ඖෂධ ප්‍රශ්නය නිසා බොහෝ ජනයා බොහෝ සෙයින් පීඩාවට පත් වී සිටිති. ඖෂධ ජාවාරම පිළිබඳ තිත්ත ඇත්ත සෞඛ්‍ය ඇමැතිතුමා ඇතුළු සියලු දෙනා දනිති. මේ සියල්ල හමුවේ වුවත් මෛත්‍රිපාල ඇමැතිතුමා නොසැලී සිය අවසාන අරමුණ සාක්‍ෂාත් කරගැනීමට අඛණ්‌ඩව වෙහෙසෙන්නේ ය. මෙය ශ්‍රී ලංකාවට පමණක්‌ සීමා වූ ප්‍රශ්නයක්‌ ද නොවන්නේ ය. බොස්‌ටන් නගරයේ පැවැති තෙදින සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය ඇමැතිවරුන් ද හොඳින් දැන සිටියේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්‌කරණය අතිශය දුෂ්කර වූ ද අභියෝගාත්මක වූ ද තරමක්‌ භයංකාර වූ ද එකක්‌ වන බව යි. වෛද්‍ය වෘත්තියේ ම සමහරුන් සහ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ඒකාබද්ධ වී 'බහුජන හිතාය, බහුජන සුඛා ය', යන ප්‍රතිපත්තිය ප්‍රතික්‍ෂේප කර කටයුතු කරන ආකාරය හාවඩ් විශ්වවිද්‍යාලයේ ම මහාචාර්ය මාෂියා ඒඤ්ජල් මැතිනිය විවෘතව සහේතුකව ඔප්පු කර ඇති බව ඒ ඇත්තෝ ද දනිති. ඇමරිකා එක්‌සත් ජනපදයේ සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්‌කරණය කිරීමට ප්‍රයත්න දැරූ, බිල් සහ හිලරි ක්‌ලින්ටන් වැනි කෘතහස්‌ත දේශපාලනඥයන් දෙපොළට පවා මෙහි දී පසුබැසීමට සිදු විය. ජනාධිපති ඔබාමා ඔවුන්ට වඩා සාර්ථක විය. ඒ නිසා ම දොa මහජන ප්‍රසාදය දිනා දෙවැනි වරටත් ඇමරිකාවේ ජනාධිපතිවීමේ වරම හිමි කරගත්තේ ය. අපගේ මෛත්‍රිපාල ඇමැතිතුමා ද ඒ කරුණු කාරණා මෙනෙහි කරන බව නිසැක ය. එතුමා දැඩි ව විශ්වාස කරන්නේ මෙරට දුප්පත් ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීම රජයේ පරම යුතුකම බව යි. එය කෙසේ හෝ කළ යුතු බව එතුමාගේ දැඩි ස්‌ථාවරය යි. සමාජ හිතකාමී අප සියලු දෙනාගේ ඒකායන පැතුම විය යුත්තේත් එය ම යි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තුළ එතුමා පෙන්වන අද්විතීය උදාර නායකත්වය යටතේ අප ද එතුමාට සවියක්‌ ව ඒ පරමාදර්ශී ගමන සාර්ථකව යැම සඳහා අත්වැල් බැඳ ගැනීම යුග මෙහෙවරක්‌ වශයෙන් මම හඟිමි. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මෛත්‍රියේ බලයෙන් ම සිය යහ අභිලාෂයන් දිනා ගැනීමට හැකි වේවා·

මහාචාර්ය කාලෝ ෆොන්සේකා
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.