වසර 25 කට පසු එල්ලවූ දරුණුතම රසායනික අවි ප්‍රහාරය



සදාම් හුසේන් ඉරාකය පාලනය කරන සමයේ එරට සුළුතරය වූ කුර්දිවරුන්ට එරෙහිව හමුදා මෙහෙයුම් සිදු කළේය. ඒ අතර හලබ්ජා නගරයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳව ලෝකයේම අවධානය යොමු විය. 1988 දී හලබ්ජා නගරයට එල්ලවූයේ රොකට්‌ හෝ ෂෙල් ප්‍රහාරයක්‌ නම් නොවේ. එය රසායනික අවි ප්‍රහාරයකි. එයින් කුර්දි වැසියන් පන්දහසක්‌ මරුමුවට පත්විය.

එයින් වසර 25 කට පසුව දරුණුතම රසායනික අවි ප්‍රහාරය වාර්තාවූයේ සිරියාවෙනි. ඩැමස්‌කස්‌ නුවරට ඈතින් පිහිටි නගර කිහිපයකට එල්ල වූ මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 500 ත් 1300 ත් අතර ප්‍රමාණයක්‌ ඝාතනයවී තිබේ. ඩැමස්‌කස්‌ නුවරට ඈතින් පිහිටි නගරයක්‌ වන ශමල්කා වෙත පාන්දර දෙකට පමණ මිසයිල ප්‍රහාර හතරක්‌ එල්ලවී ඇත. එම නගරයේ රෝහලේ වෛද්‍යවරු කියන ආකාරයට මේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 155 ක්‌ මරණයට පත්වී ඇත. ඒ අතරට ළමුන් හා කාන්තාවන්ද අයත්වේ. මේ මළ සිරුරු වල ප්‍රහාරයක ලක්‌වු සලකුණු දක්‌නට නැත. ලේ ගලා ගිය බවක්‌ ද දක්‌නට නැත.

එයින්ම ඔවුන් විෂවායු ප්‍රහාරයකට ලක්‌ව ඇති බව පැහැදිලිව පෙනී යයි. බොහෝ දෙනෙකු නින්දේදීම මරණයට පත්වී ඇති බව විදෙස්‌ මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

සිරියානු රජය පවසන්නේ මේ ප්‍රහාර වලට තමන් වගකිව යුතු නැති බවයි. මේ ප්‍රහාර එල්ල කර ඇත්තේ කැරලිකරුවන් බව බෂාර් අල් අසාද් රජය කියයි. කවරක්‌ නමුත් ඇමරිකාව පවසන්නේ සිරියානු රජය රතු ඉර පැන ඇති බවයි. බොහෝ විට ඉදිරියේදී සිරියාවට එරෙහිව ඇමරිකානු ටොමාහෝර්ක්‌ මිසයිල ප්‍රහාර දියත්වනු ඇත. නමුත් සිරියාවට ප්‍රහාර එල්ලකිරීමේ සූදානමට ඉරානය හෝ රුසියාව කැමැති නැත.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.