ඩීසීඩී කිරිපිටි තවම විනාශ කර නෑ

ඒමන්ති මාරඹේ

වෙළෙඳපොළෙන් ඉවත් කර ගැනුණු ඩීසීඩී කෘෂි රසායනිකය අඩංගු බව තහවුරු වූ ආනයනික කිරිපිටි වර්ග හතරට අයත් කිරිපිsටි පැකට්‌ තවමත් විනාශ කිරීමට පියවර ගෙන නැත. එබැවින් ඒවා නැවත වෙළෙඳපොලට කුමන හෝ ස්‌වරූපයකින් නිකුත් වීමේ අවදානමක්‌ පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවැසීය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන එම කිරිපිටි පැකට්‌ තොග අදාළ සමාගම්වල ගබඩාවලින් සිය භාරයට ගෙන ඒවා ප්‍රසිද්ධියේ විනාශ කරලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත යුතු බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇතැයි වෛද්‍ය ආරියරත්න මහතා කීවේය.

ඩීසීඩී කෘෂි රසායනිකය අඩංගු බව තහවුරු වී ඇති කිරිපිටි වර්ග හතර මෙන්ම වෙළෙඳපොළෙහි අලෙවි කෙරෙමින් පවතින සියලු ආනයනික කිරිපිටි වර්ගවල සාම්පල කාර්මික තාක්‌ෂණ ආයතනයට යවා පරික්‍ෂා කළ යුතු බව පෙන්වා දුන් හෙතෙම දැනට සිදුවනුයේ තෝරාගත් කිරිපිටි සාම්පල පමණක්‌ පරීක්‍ෂාව සඳහා යෑවීමක්‌ බව අවධාරණය කළේය.

දැනට වෙළෙඳපොළෙහි පවතින කිරිපිටි වර්ගවල සාම්පල පරීක්‍ෂාව සඳහා ලබා ගැනීමේ ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව ද වෛද්‍ය ආරියරත්න කීවේය.

මුලින් ඩීසීඩී රසායනිකය අඩංගු බව තහවුරු වූ කිරිපිටි වර්ගවලට අයත් සෙසු කාණ්‌ඩයන්ද පරීක්‍ෂාවට ලක්‌ කළ යුතු බවත් එසේ නොමැතිව තෝරාගත් කිරිපිටි සාම්පල පමණක්‌ පරීක්‍ෂාවට ලක්‌කර බලා ඒවායේ ඩී.සී.ඩී. නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පාරිභෝගිකයන් මුලාවට ලක්‌ නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටන බව වෛද්‍ය ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.