ලෝකයේ මුල්ම ඇස්‌ කණ්‌ණාඩි හැදූ
පරම්පරාවේ අන්තිමයා ගුණසෝම

*ලෝකෙන්ම දියතිරිප්පු කණ්‌ණාඩි හදන්නේ අපි
*ලෝකයේ මුල්ම චූඩා මාණික්‍යය හැදුවෙත් අපි
*මේ දියතිරිප්පු කණ්‌ණාඩි කලාවේ අවසාන පුරුකයි


රිවව්ල. දිගු ඉතිහාසයකට උරුමකම් කියන ගමකි. ඒ පාරම්පරික ගමේ පුංචි නිවසක දැන් මම සිටිමි. සරොමක්‌ සහ ටී ෂර්ටයක්‌ හැඳ ගත් කෙසඟ මිනිසෙක්‌ මා ඉදිරියේ අසුන් ගෙන සිටියි. ඔහු සේම ඒ පුංචි නිවස ද වැහැරී ගොස්‌ය. ඉරි තැලී ගිය බිත්ති, අවවර්ණ වූ සිමෙන්ති පොළව මේ මිනිසුන්ගේ ජීවිත ගලන රිද්මය මොනවාට පසක්‌ කර දෙන්නේය. මම ඒ වියපත් නිවස පුරා දෙනෙත් විහිදෙව්වෙමි. වහලේ තැනින් තැන දිරා ගිය රීප්ප ඔච්චමට මෙන් අප දෙස බලා සිටියි. පුපුරා ගිය උළු කැටයක්‌ අතරින් කාන්දු වන අව් රැල්ලක්‌ මත මගේ දෙනෙත් නතර විණි.

සිත මහා අමුතු දෙයකි. දිරා ගිය වහළ මත නතර වී තිබූ සිත ඇසිල්ලකින් නිදිගත සිදුවීම් පෙළක්‌ පෙළ ගස්‌වන්නට විය.

මේ පාරම්පරික ගම්මානයට එන්නට අපට පාර කියන්නේ පසුගියදා දිවයින ඉරිදා සංග්‍රහයේ පළ වූ 'පින්සර මිනිසකු තබා ගිය අමරණීය මතකයක අරුමය' මැයෙන් පළ වූ ලිපියයි. එම ලිපියේ සඳහන්ව තිබුණේ මෙරටේ ඇස්‌ කන්නාඩි ව්‍යාපාරයේ ආරම්භකයා වූ ඇල්බට්‌ එදිරිසිංහයන්ගේ ජීවිතයෙන් බිඳකි. ඒ කෙටි ජීවිත කතාව තුළ දිගු ඉතිහාස කතාවක්‌ සටහන්ව තිබිණි. අප මේ සොයා ආවේ ඒ සාඩම්බර ඉතිහාසයේ අනාගතයයි.

"මේ තියෙන්නේ මම හදපු කන්නාඩි කුට්‌ටමක්‌" ඒ හඬත් සමග මම පියවි සිහියට ආවෙමි.

ඔහු ගුණසෝමය... දියතරිප්පු පරම්පරාවේ අටවැනි නිර්මාණකරුවාය. වයස අවුරුදු පනස්‌ නවය පසු කරමින් යන ගුණසෝම පුතුන් දෙදෙනකුගේ සහ දියණියකගේ පියෙකි. ඔහුගේ ජීවන වෘත්තීය දියතරිප්පු කන්නාඩි නිෂ්පාදනය සහ චූඩා මාණික්‍යයන් නිෂ්පාදන කිරීමය.

ගුණසෝම දිගු කළ කන්නාඩි කුට්‌ටම මම අතට ගත්තෙමි. ෙµ්‍රaම් එක නම් ප්ලාස්‌ටික්‌ය. ඒත් කාච දෙක ස්‌පර්ශ කරන විට අමුතුම සීතලකින් ඇඟිලි හිරි වැටී යයි.

මේ කන්නාඩි කුට්‌ටම නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? මම ගුණසෝමගෙන් විමසුවෙමි.

"මේ කාච දෙක හදලා තියෙන්නේ දියතරිප්පුවලින්. දියතරිප්පු කියන්නේ ගල් වර්ගයක්‌. පළිඟු කියළත් කියනවා. මේ පළිඟු කැට තියෙන්නේ රත්නපුරේ. ඉස්‌සර නම් අපේ සීයලා හරක්‌ අංවලින් තමයි කන්නාඩි රාමුව හදලා තියෙන්නේ. ඒත් දැන් නම් අපි පාවිච්චි කරන්නේ ප්ලාස්‌ටික්‌ රාමු.

අපි පළිඟු හොයාගෙන එන්නේ කුරුවිට ගම්වලට ගිහින්. එහෙම ගේන පළිඟු රිදී තිරිවාන ගලේ පැය තුනක්‌ විතර ගා ගන්න ඕනා. ඊට පස්‌සෙ මට්‌ටම් කර ගන්න ඕනා. අන්තිමේ මට්‌ටම් කරගත් පළිඟු කණ්‌ණාඩි රාමුව අනුව කපා හැඩ කර ගෙන පොලිෂ් කරගන්න ඕනා. ලේසි පහසු වැඩක්‌ නෙමෙයි. කාලය ගත වෙනවා.

මනුස්‌ස ජීවිතයේ ඇදිරි තුනක්‌ තියෙනවා. තිස්‌ ඇඳිරිය, හතළිස්‌ ඇඳිරිය, හැට ඇඳිරිය. ඒ ඇඳිරි අනුව අපිට පුළුවන් ඇස්‌ කණ්‌ණාඩි හදන්න. ඒ වගේම ඇස්‌වල සුද ආපු අය, එක ඇහැක්‌ අඩුවෙන් පේන අය. වැඩියෙන් පේන අය අපි ළඟට එනවා. ගොඩක්‌ම එන්නේ වෛද්‍ය වාර්තාවත් අරගෙන. එහෙම ආවම කණ්‌ණාඩි හදා දෙන්න පහසුයි. නැත්නම් අපි ළඟත් කණ්‌ණාඩි වර්ග තියෙනවා. ඇස්‌වලට ඒවා දාලා බැලුවහම අපිටත් ලෙඩේ අල්ල ගන්න පුළුවන්. ඕනෑම ඇස්‌ රෝගයකට කණ්‌ණාඩි හදන්න පුළුවන්. හැබැයි කාච දාපු ඇස්‌වලට නම් කණ්‌ණාඩි හදන්න බැහැ. සුද මතු වන ඇස්‌වලට දිය තරිප්පු කණ්‌aණාඩිය ඔසුවක්‌. ජීවතුන් අතර සිටින තාක්‌ කල් සුද එන්නෙ නැති වෙන්න කණ්‌ණාඩි හදා දෙන්නත් පුළුවන්. හැබැයි කාච දාන්න ඉස්‌සර වෙලා එන්න ඕනා.

දිය තරිප්පු ගල් හැදෙන්නේ වතුරෙන්. ඒ නිසා දිය තරිප්පු සීතලයි. ඇස්‌වල තියෙන්නේ කඳුළු. වතුරට වතුර එකතු වුණාම කිසිම ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. දිය තරිප්පු කණ්‌ණාඩි පාවිච්චි කරන අයට හිසේ කැක්‌කුම කඳුළු ගැලීම, ඇස්‌ කැක්‌කුම් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කිසිම ගැටලුවක්‌ නැතිව දිය තරිප්පු කණ්‌ණාඩි කුට්‌ටමක්‌ අවුරුදු විස්‌සක්‌ විතර පාවිච්චි කරන්නත් පුළුවන්.

මුළු ලෝකයටම දිය තරිප්පු කන්නාඩි හදන අය ඉන්නේ අපි විතරයි. ඉස්‌සර පිටරටවල අයත් ඇවිත් අපෙන් කන්නාඩි හදාගෙන ගියා. සාප්පු කණ්‌aණාඩි ආවට පස්‌සේ අපිට බිස්‌නස්‌ අඩු වුණා. ඒත් මේ කණ්‌aණාඩිවල වටිනාකම දන්න අය අදටත් අපිව හොයාගෙන එනවා."

දිය තරිප්පු පරම්පරාව කණ්‌ණාඩි නිර්මාණය කිරීමට සේම, චූඩා මාණික්‍යයන් නිර්මාණය කිරීමට ද සැබෑ දක්‍ෂයෝය. ලොව පළමු චූඩා මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ දිය තරිප්පු පරම්පාරවය. ලංකාවේ බොහෝමයක්‌ ඓතිහාසික විහාරස්‌ථානවල ඇති චෛත්‍ය වහන්සේලාගේ කොත සරසන චූඩා මාණික්‍යයන් නිර්මාණය කර ඇත්තේ ද දිය තරිප්පු පරපුර බවට සැක නැත.

"චූඩා මාණික්‍යයන් හදන්න වෙනම පළිඟු තියෙනවා. ඒ පළිඟු කැටත් කණ්‌ණාඩි හදන්න වගේම මුලින්ම ගා ගන්න ඕනා. ඊට පස්‌සෙ තමයි මට්‌ටම් කරලා හැඩ කරලා පොලිෂ් කරන්නේ. චූඩා මාණික්‍යයන් හදන්න දැන් මිනිස්‌සු හොයන්නේ වතුර වගේ ගල්. ගල් හැදෙන්නේ පොළවේ. ඒ නිසා පළුදු නැති ගල් හොයන්න අමාරුයි."

පළුදු ගල්වලින් චූඩා මාණික්‍යයන් හදලා චෛත්‍යවලට පැළඳු විට පන්සලට ගමට අපලයි කියලා මතයක්‌ තියෙනවා.... මම ඔහුට නැවත පැනයක්‌ යොමු කළෙමි.

"අපේ සීයා ඉන්නකොට පළුදු ගල් විතරක්‌ නෙමෙයි පුපුරපු ගල්වලිනුත් චූඩා මාණික්‍යයන් කපලා තියෙනවා. ඒත් කිසිම අපලයක්‌ නම් ඵල දුන්නේ නැහැ."

මහනුවර ගඩලාදෙණිය කිරිවව්ල චූඩාමාණි ගෙදර සියදෝරිස්‌හාමි ගුණසෝමගේ පියාය. ගුණසෝමගේ මව ඇන්. ජී. නෙත්තිහාමිය. ඇය අදටත් ගුණසෝම පවුලේ ඇප උපස්‌ථාන පිට සුව සේ ජීවත් වෙති.

පළිඟු කැටයෙන් උපැස්‌ යුවළක්‌ සහ චූඩා මාණික්‍යයන් නිර්මාණය කරන සියදෝරිස්‌හාමි දෙස්‌ විදෙස්‌ විවිධ තාරාතිරම්වල මිනිසුන්ගේ නොමද අගැයීමට පාත්‍ර වී සිටින විශ්මිත කලාකරුවෙකි. කලෙක මෙරටට පැමිණ වේල්ස්‌ කුමාරයා නුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි අවස්‌ථාවක සියදෝරිස්‌හාමිගේ නිර්මාණ අගයමින් සම්මානයක්‌ ද පිරිනමා ඇත. වරක්‌ මාලදිවයින ජනාධිපති ලංකාවට පැමිණ පේරාදෙණිය සරසවිය සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය මොහොතක සියදොaරිස්‌හාමි කැරට්‌ පහළොවක්‌ වටිනා මැණික්‌ ගලක්‌ එතුමාට පරිත්‍යාග කළේය. ඒ පරිත්‍යාගය ඉතාම කෘතවේදීව පිළිගත් මාලදිවයින ජනාධිපතිතුමා සියදෝරිස්‌හාමිගේ දෑතින්ම එම මැණික්‌ ගල ජනාධිපතිතුමාගේ මුදුවට ඇතුළු කර ගත්තේය.

ජපන් ජාතික චිත්‍රපට අධ්‍යක්‍ෂ ටුකු සෝ මුන්ඩේ ලංකාවට පැමිණ චිත්‍රපටයක්‌ කිරීමට සුදුසු පරිසරයක්‌ සොයා යද්දී අහම්බෙන් මෙන් සියදොaරිස්‌හාමිව මුණගැසී ඇත. ඒ වන විටත් ටුකු සෝ ජාපනයේ ඉස්‌තරම්ම වර්ගයේ උපැස්‌ යුවළක්‌ පැළඳ සිටී. එහෙත් ටුකු සෝගේ දෑසට සියදෝරිස්‌හාමිගේ දියතරිප්පු උපැස්‌ යුවළ ලබා දුන් අසාමාන්‍ය සිසිල නිසා ටුකු සෝ එම උපැස්‌ යුවළට ඉහළ වටිනාකමක්‌ ලබාදී ජපානේ ඉස්‌තරම් උපැස්‌ යුවළ පසෙකට දැමුවේය. එසේ අමරණීය මතකයක්‌ ඉතිහාසයට එකතු කළ සියදෝරිහාමි 1991 මැයි 25 වැනිදා සදහටම දෑස්‌ පියා ගත්තේය.

දියතරිප්පු පරම්පරාව පළිඟු කැටයෙන් කරන විස්‌කම් නිසාම සියදෝරිස්‌හාමි සේම ඔහුගේ මුතුන් මිත්තන් ද රජවරුන්ගේ නොමද නම්බු නාමයට පාත්‍රව ඇති බව ඉතිහාසයේ ලියෑවී ඇත.

"ලංකාතිලක විහාරය ස්‌ථාපනය කර ඇත්තේ ෂඪ වන බුවනෙකබාහු රජතුමාගේ අගමැතිව සිටි සේනාධිලංකාර සෙනවියාගේ මූලිකත්වයෙනි. එම විහාරයේ සියලු නිර්මාණ කටයුතු කර ඇත්තේ ස්‌ථාපතිරයාර් යන නිර්මාණකරුවාය. වැඩ අවසාන වූ ලංකාතිලක විහාරය විවෘත කිරීමට පැමිණ ඇත්තේ ෂඪ වන බුවනෙකබාහු රජතුමාය. එහෙත් රජතුමාගේ ඇස්‌ පෙනීමේ දුර්වලකම නිසා විහාරයේ සියුම් කැටයම් නැරඹීම අසීරු වී ඇත. ඒ අවාසනාවන්ත සිදුවීමෙන් විජයබාහු රජු දැඩි සේ කම්පාවට පත්ව ඇත. ඒ බව තේරුම් ගත් ස්‌ථාපතිරයාර් නිර්මාණකරුවා රජතුමාගේ දුර්වල ඇස්‌වලට පෙනීම ලබාදෙන බවට පොරොන්දු විය. එමෙන්ම උපැස්‌ යුවළක්‌ නිර්මාණය කර දීමට රජතුමාගේ ඇත්ත වයස සහ දවස්‌ දෙකක නිවාඩුවක්‌ ඉල්ලා ඇත. දින දෙකකට පසු නිර්මාණකරුවා දිය තරිප්පුවලින් කණ්‌ණාඩි කාච දෙකක්‌ නිර්මාණය කර, හරක්‌ අංවලින් රාමුවක්‌ සකස්‌ කර නූලක ආධාරයෙන් රජතුමාගේ දෑස්‌වලට සම්බන්ධ කර ඇත. ඒ සමග රජතුමාගේ දැස්‌වලට පූර්ණ පෙනීමක්‌ ලැබිණි. එයින් අතිශය සතුටට පත් රජතුමා ස්‌ථාපතිරයාර් නිර්මාණකරුවාට සන්තෝසමක්‌ ලෙස නුවර කිරිවව්ල ප්‍රදේශය සන්නසකින් පරිත්‍යාග කර ඇත. එමෙන්ම බුවනෙකබාහු රජතුමාගේ ඔටුන්නට මාණික්‍යය නිර්මාණය කර ඇත්තේ ද එම නිර්මාණකරුවා විසිනි. දියතරිප්පු පරම්පරාවේ මූල බීජය එතැනය.

"මේ කර්මාන්තය හැමෝටම පිහිටන්නේ නැහැ. අපේ තාත්තාගේ පවුලේ සහෝදරයෝ අට දෙනෙක්‌. ඒත් මේ කර්මාන්තය කළේ අපේ තාත්තා විතරයි. තාත්තගෙන් පස්‌සේ මම කරගෙන යනවා. මගෙන් පස්‌සේ මේ කර්මාන්තය ඉදිරියට කෙරෙයිද කියලා විශ්වාසයක්‌ නැහැ. මොකද දැන් කණ්‌ණාඩි හදලා ලොකු ආදායමක්‌ එන්නේ නැහැ. මාසයකට කාණ්‌ණාඩි කුට්‌ටමක්‌ වගේ තමයි දැන් යන්නේ. අපේ තාත්තල සීයලා කරන කාලේ එහෙම නෙමෙයි. හොඳට බිස්‌නස්‌ තිබුණා. වෙළෙඳපළට ප්ලාස්‌ටික්‌ කණ්‌ණාඩි ආවට පස්‌සේ තමයි අපිට බිස්‌නස්‌ නැතුව ගියයේ. ඒ කාලේ චූඩා මාණික්‍යයන් හොඳටම විකිණුනා. ඒත් දැන් මාණික්‍යයන් යන්නේ කලාතුරකින්. හැම තැනම පිත්තල බඩු කඩවල වීදුරුවලින් හදපු මාණික්‍යයන් තියෙනවා. ඒවා අපි හදන මාණික්‍යයන්වලට වඩා මිලෙනුත් අඩුයි.

"දැන් මේ කර්මාන්තය කරගෙන යන්න බැහැ. පළිඟු එකතු කරන්න රත්නපුරේ ගම්වල ඇවිදින්න ඕනා. අපි සල්ලි ටිකක්‌ යහමින් ගෙනියන බව දන්න මිනිස්‌සු අපේ පස්‌සේ එළවනවා. කුරුවිට සමහර ගම්වලදි අපිට එහෙම වෙලත් තියෙනවා. අනිත් එක මිනිස්‌සු පළිඟු දීලා කපුරු ගණන් ඉල්ලන්නේ. වැඩි මිලට හරි පළිඟු ගෙනත් බඩු හදන්න පුළුවන්. බිස්‌නස්‌ එකක්‌ නැති එකයි ප්‍රශ්නය. අපි හදන බඩු මිලට ගන්න රාජ්‍ය ආයතනයක්‌වත් තියෙනවා නම් හොඳයි. ඒත් එහෙම තැනක්‌ නැහැ. අපේ කණ්‌ණාඩි ගන්න තැනක්‌ කෙසේ වෙතත් අපි උන්නද මලාද කියලා බලන්නවත් කිසිම නිලධාරියෙක්‌ නැහැ. මට හිතෙන විදිහට දිය තරිප්පු නිර්මාණ කලාව මෙතනින් ඉවර වෙයි. අපේ රටේ අත්කම් කර්මාන්තය දියුණු කරන්න කිසිම ආයතනයක්‌ නැහැ. තියෙන ශිල්පෙත් බාල් නටනවා."

"ඉස්‌සර මම දිය තරිප්පු කර්මාන්තය ගැන ළමයින්ට පුහුණු කලා. ඒකට මට රජයෙන් පඩියක්‌ ගෙව්වා. පුහුණු වෙන ළමයින්ටත් සුළු ගානක්‌ ගෙව්වා. ඒත් දැන් ශිල්ප සභාව කියනවා ඔයාට රුපියල් 5000 ක්‌ දෙන්නම් ළමයින්ට ගෙවන්න බැහැ කියලා. මේ ගම්වලට දුප්පත් මිනිස්‌සු ඉන්නේ. ඒ පවුල්වල ළමයි තමයි මේ කර්මාන්ත ඉගෙන ගන්න එන්නේ. ඉතිං ඒ දරුවන්ට උදේට බනිස්‌ ගෙඩියක්‌ කන්න හරි කීයක්‌ හරි දෙන්න ඕනා. එහෙම වුණා නම් ළමයින් උනන්දුවෙන් මේ දේවල් ගැන ඉගෙන ගන්නවා. ඒත් එක වෙන්නේ නැහැ."

ඒ කතා කළේ දිය තරිප්පු පරම්පරාවේ අටවැනි නිර්මාණකරුවාය. කුණ්‌ඩසාලේ කලා ගමෙන් ඇසෙන මළ බෙර වාදනයම දිය තරිප්පු පරම්පරාවෙන්ද ඇසේ. දිය තරිප්පු කණ්‌ණාඩි කුට්‌ටම ද මිහිදන් වීමට සියල්ල සැකසී හමාරය. අවසානයේ හස්‌ත කර්මාන්තය මිනී පෙට්‌ටි කරන උන්ට නටඹුන් වන දිය තරිප්පු කණ්‌aණාඩි කුට්‌ටම ද වීදුරු පෙට්‌ටිය බහා ලෝකයාට ප්‍රදර්ශනය කළ හැකිය. ඒ දිනය වැඩි ඈත නොවේ. උරුමයට හෙන බිඳෙන රටක මේ ගැන තවත් කතා කළ ඵලක්‌ නැත.

තරංග රත්නවීර
ඡායාරූප ප්‍රදීප් මහකුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.