ශ්‍රී ලංකාවේ පුරෝගාමී වාස්‌තු විද්‍යාතන අතර
සුප්‍රසිද්ධතම නාමය E.R.& B


ආචාර්ය නිශාන් රසාංග විඡේතුංග
වරලත් වාස්‌තු විද්‍යාඥ

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් යුක්‌ත වූ වාස්‌තු විද්‍යා නිර්මාණ වැඩි වැඩියෙන් බිහිවීම ආරම්භ වූයේ 1796 වසරේදී පොදු වැඩ දෙපාර්තමේන්තුව (Public Works Department PDW) පිහිටුවීමත් සමගය. මින් පෙර පෘතුගීසී හා ලන්දේසි යුගයන්හිදී මෙරට තුළ සංවිධානාත්මක ගොඩනැඟීම් සාපේක්‌ෂව විරල වූයේ මුළු දිවයිනේම ආධිපත්‍යය බ්‍රිතාන්‍යයන් පරිද්දෙන් ඔවුන් හට අත්පත් කරගැනීමට නොහැකි වූ නිසාය. වෙනත් බ්‍රිතාන්‍ය යටත්විජිතයන්ගේ ඉටුකළ කාර්යභාරයන්ට සමගාමීව මෙම ආයතනයේ ප්‍රධානතම වගකීම වූයේ මහජන (පොදු ) අංශයේ ගොඩනැඟිලි නිර්මාණය කිරීමය.

ඡේ. ජී. ස්‌මිතර් (J.G.Smither) P.W.D. හි ප්‍රථම වෘත්තීය වාස්‌තු විද්‍යාඥයා විය. ඔහු 1865 සිට 1883 යන කාල වකවානුවේදී එහි සේවය කළ අතර පසුව එක්‌ වූ එඩ්වර්ඩ් (Edward) හා ජී. බුඩියේ (G.Bouchier) යන වාස්‌තු විද්‍යාඥයන් ඔහුගේ සමකාලීනයන්ය. ස්‌මිතර්ගේ වාස්‌තු විද්‍යා නිර්මාණ අතර කොළඹ කෞතුකාගාරය (Colombo Museum) හා පිටකොටුවේ පැරණි පුරහල (Old Town Hall) පෙන්වාදිය හැක. කෞතුකාගාර ගොඩනැඟිල්ල යුරෝපයේ ප්‍රචලිතව පැවැති පැලේඩියෝ (Palladian) ආකාරයේ ප්‍රාසාදයක්‌ (mansion) ලෙස නිර්මාණය වූ අතර, නගර ශාලාව 19 වන සියවස මැදභාගය වන විට බ්‍රිතාන්‍ය තුළ සිදු වූ කාර්මික විප්ලවීය කූටප්‍රාප්තියේ සනිටුහන් වීමක්‌ වැනි වූ පෙර නිමැවුණ (per-fabricated) යකඩ කොටස්‌ යොදාගෙන කරන ලද නිර්මාණයක්‌ විය. මෙවැනි නිර්මාණයන් විශේෂයෙන්ම වික්‌ටෝරියානු යුගයේ (Victorian era) බ්‍රිතාන්‍යය තුළ මෙන්ම යටත් විජිතයන් තුළ ද විශාල වශයෙන් ඉදිවිය. ස්‌මිතර් සිදු කළ වැදගත්ම සේවාවාන් අතර අනුරාධපුරය ඓතිහාසික නගරයේ නටබුන් ආශ්‍රිතව සමීක්‌ෂණයක්‌ කොට, විස්‌තර කර හා චිත්‍ර සැලසුම් නිර්මාණය කර (measured drawings) ලියන ලද "ArchitecturalRemains, Anuradhapura, Ceylon, Comprising the Dagabas,Meassured Drawn &Described by J.G.Smither” ප්‍රකාශනය විශේෂයෙන් පෙන්වා දිය හැක. එවකට දිවයිනේ ආණුඩුකාරවරයා වූ සර් විලියම් ග්‍රෙගරිගේ (Sir William Gregory) අවශ්‍යතාවය මත මෙම කටයුත්ත මෙහෙයවුණු අතර තම යටත්විජිත වැසියන්ගේ අතීත ශ්‍රී විභූතිය පිළිබඳ බටහිරයන් සිදු කරන අධ්‍යයන අශිෂ්ට සුසමාදර්ශයක්‌ (Savege paradigm) ලෙස ඡේම්ස්‌ ක්‌ලෆෝර්ඩ් (James Clifford) විසින් හඳුන්වාදෙයි. සෞම්‍යන් ඛන්දෝත්පාධ්‍ය(Soumyen Bandyophadhyay) පෙන්වාදෙන ආකාරයට මෙම ක්‍රියාවලිය බටහිරයන් අතින් දේශීය සංස්‌කෘතින් විනාශයට පත්වීම (නූතනත්වය හරහා) පිළිබඳව ඔවුන් තුළ ඇතිවූ වරදකාරී හැඟීම් (Guilty Consciousess) හරහා මෙහෙයවන්නට ඇත.

මෙම වකවානුවේ පොදුවැඩ දෙපාර්තමේන්තුවේ ගොඩනැඟීම් පිළිබඳ කොන්ත්‍රාත්තු සාමාන්‍යයෙන් රජයේ පොදු ටෙන්ඩර් පටිපාටියක්‌ (Public Tender) යටතේ බාහිර පාර්ශ්වයන්ට බාර දෙනු ලැබීය. 1950 වසර වන විට ලංකාවේ එවන් ගොඩනැගීම් පිළිබඳ විශේෂඥ ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවන් (Contractors) 15 ක්‌ පමණ වූහ. පොදු වැඩ දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේම ඉංජිනේරු හා ප්‍රමාණ සමීක්‌ෂණ (Engineering & Quantity Surveying) අංශද පැවති අතර මීට අමතරව ඉදිකිරීම් (Construction) අංශයක්‌ ද බාහිරව පවත්වාගෙන යන ලදී. මේ පසුබිම යටතේ ස්‌ථාපනය වූ Edward Reid & Begg ට වාස්‌තුවිද්‍යා සේවායතනය වසර 75 ක පමණ කාලයක්‌ තිස්‌සේ ලංකාවේ සාර්ථක හා විශාල වාස්‌තුවිද්‍යාත්මක නිර්මාණ සඳහා දායකත්වය දැක්‌වීමට සමත් වූ පෞද්ගලික සමාගමක්‌ විය. මේ සමාගම නිර්මාණයවීම සඳහා මූලික අඩිතාලම වැටුණේ 1923 දී කොළඹ නගර සභාව මගින් පවත්වන ලද පුරහලක්‌ නිර්මාණය කිරීමේ විවෘත තරගාවලියයි. මෙම තරගාවලිය සඳහා පසුබිම සැකසුණේ එකල නව පාර්ලිමේන්තුවක්‌ නිර්මාණය කිරීමේ අසීරු කර්තව්‍යය සඳහා පොදුවැඩ දෙපාර්තමේන්තුවෙහි හි වාස්‌තු විද්‍යාඥයන් සියලු දෙනාම පාහේ එක්‌ව සැලසුම් සකස්‌ කරමින් සිටි හෙයිනි. මෙම තරගාවලිය විනිශ්චය කරන ලද්දේ එකල එහි ප්‍රධාන වාස්‌තුවිද්‍යාඥ ඔස්‌ටින් වුඩ්සන් (Austin Woodeson) විසින් වන අතර මෙහි ජයග්‍රාහකයන් බවට පත් වූයේ සිංගප්පූරුව කේන්ද්‍ර කොට ගෙන වාස්‌තුවිද්‍යා සේවා ආයතනයක්‌ සිංගප්පූරුවෙහි එස්‌. ඡේ. එඩ්වඩ්ස්‌ සහ ආර්. බූටි (S. J. Edwards and R. Booty of Singapore) පවත්වා ගෙන යමින් සිටි වාස්‌තුවිද්‍යාඥයන් වන එස්‌. ඡේ. එඩ්වඩ්ස්‌ (S. J. Edwards) සහ ආර්. බූටිය (R. Booty). තෝරාගන්නා ලද නිර්මාණය යුරෝපීය පුනරුද යුගයේ සම්භාව්‍ය ලක්‌ෂණ වලින් (Western classical traits) යුක්‌ත වූ ධවල වර්ණ ප්‍රෙෘඪ නිර්මාණයක්‌ විය. එහි "ඩොරික්‌" පන්නයේ (Doric Order) ග්‍රීක කුලුනු යොදාගෙන තිබූ අතර ගොඩනැගිල්ල වටා අඛණ්‌ඩ සඳලුතලයක්‌ (loggia‌) සහ මධ්‍ය මන්ත්‍රණ සභාව සඳහා වූ කුටියේ (central council chamber) දෙපස අලංකාර මධ්‍යාංගන (courtyards) දක්‌නට ලැබිණ. මෙම මන්ත්‍රණ සභාව නිර්මාණය කර තිබුණේ උසින් වැඩි ව්‍යාජ ගර්භයක්‌ (false dome) ලෙසය.

එඩ්වඩ්ස්‌ විසින් බූටි සමග කොළඹ "බූටි එඩ්වර්ඩ්ස්‌" Booty & Edwards නම් වූ විද්‍යා ආයතනය විවෘත කළ ද, බූටි සමග සබඳතා වැඩි කල් නොගොස්‌ම අත්හරින ලදී. ඉන් ඉක්‌බිතිව 1927 දී එඩ්වඩ්ස්‌ එච්. එච්. රීඩ් (H. H. Reid) හා ආර්. ජී. බූත් (R. G. Booth) හට තම සහයකයන් වශයෙන් පත්වීම සඳහා ආරාධනා කළේය. මෙතැන් පටන් ඔවුන්ගේ සමාගම එඩ්වඩ්, රීඩ් සහ බූත් - ඊ. ආර්. සහ බී. (Edwards,Reid & Booth - E, R & B) ලෙස හඳුන්වා ගැනීම ඇරඹිණි. වාස්‌තුවිද්‍යාඥ රීඩ් ඇබර්ඩීන්හි (Aberdeen) Grey school of Arts හි අධ්‍යාපනය ලද අතර මෙරට සේවයට සපැමිණීමට පෙර බස්‌ ඇන්ඩ් හොප් (Bas and Hopp) නම් වාස්‌තු විද්‍යාඥයන් යටතේ බෝල්ටන්හි සේවය කර තිබුණේය. මීට අමතරව ඔහු පුරාවිද්‍යා සමීක්‌ෂණ කිහිපයක්‌ සඳහාද දායක වී තිබීම කැපී පෙනෙයි. බූත් ඉතා දක්‌ෂ සැලසුම් නිර්මාණ ශිල්පියෙක්‌ (draughtsman) වූ අතර ලන්ඩන්හි වාස්‌තුවිද්‍යා සමාගමෙහි (Architectural Association in London) උපාධිධරයෙකු වූයේය.

වාස්‌තු විද්‍යා ඉතිහාසඥ ඩේවිඩ් රොබ්සන් (David Robson) හෙළිකරන පරිදි තවත් දස වසරක්‌ ඇතුළත එඩ්වඩ්, රීඩ් සහ බූත් සමාගම කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රසිද්ධ වාස්‌තුවිද්‍යා සමාගමක්‌ බවට පත් විය. ඒ වන විට කොළඹ ආශ්‍රිතව පිහිටුවා තිබූ ඇඩම් සහ ස්‌මෝල් (Adam and Small) මෙන්ම බිලිමෝරියා සහ ද සිල්වා (Bilimoria and de Silva) වැනි සමාගම් අභිභවා යන්නට ඔවුනට හැකිවීම විශේෂිතය. මෙම ආයතනය හට රජයේ (gavernment sector), වානිජ අංශයේ (commercial sector) මෙන්ම පෞද්ගලික ගොඩනැගිලි (private
commissions) නිර්මාණය සඳහා අවස්‌ථාවන් බොහොමයකටම ඉඩ සැලසුනි. ඔවුන්ගේ සමාගමෙහි හවුල්කරුවන් (partners) සැමවිටම බ්‍රිතාන්‍ය ජාතිකයන් වූ අතර සහයකයන් (assistants) හා ලේඛන කටයුතු පිළිබඳ කාර්යමණ්‌ඩලය (secretarial staff) ලාංකිකයන් විය. මෙම සහයකයන් බොහෝ දෙනා ඉන්දියාවේ වාස්‌තු විද්‍යා අධ්‍යාපනය ලද්දන් වූ අතර සැලසුම් නිර්මාණ ශිල්පීන් මරදාන තාක්‌ෂණික විද්‍යාලයේ (Maradana Technical Collage) රාත්‍රි පාඨමාලා සඳහා යොමු කරවූයේය. මෙලෙස දේශීය සේවකයන් අභිභවා ගිය යුරෝපීයයන් ඔවුන් ලවා වාස්‌තුවිද්‍යා විෂය තුළින් තම ඉහළ සංස්‌කෘතියට (high culture) අදාළ වූ සංරචකයන් නිර්මාණය කරගත්තේ මේ යුගයේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්ව තිබූ මානවවාදී (humanist / orientalist) මතවාදී දෘෂ්ටි කෝණයක්‌ ඔස්‌සේය. මෙම සමාගමේ ඉහල කාර්ය මණ්‌ඩලය කොළඹ සමාජයේ උසස්‌ ජීවන තත්වයන්ට හිමිකම් කී අතර ඔවුන් හට විදේශ සංචාරයන් ද වරින් වර හිමි විය.

මෙම සමාගම සාර්ථක සැලසුම්, විස්‌තරාංග හා ශක්‌තිමත් සේවාදායකත්වය වෙනුවෙන් කීර්තිමත් නාමයක්‌ අත්පත්කොටගෙන තිබුණි. ඔවුන්ගේ නිර්මාණ ඝර්මකලාපීය දේශගුණයට සුදුසු ඝර්ම කලාපික යටත්විජිත වාස්‌තුවිද්‍යා ගණයට (Tropical Colonial Architecture) අයත් වූ අතර විශාල ජනේල (deep windows), වාතාශ්‍රය සඳහා විවර (ventilation openings) හා සූර්ය කඩතුරා (sun screens) වලින් යුක්‌ත විය. ඔවුන්ගේ ඇතැම් නිර්මාණ ආර්ට්‌ ඩෙකෝ (Art Deco) වැනි නූතනවාදී (modem) ලක්‌ෂණ වලින් යුක්‌ත විය. එමෙන්ම ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික වාස්‌තුවිද්‍යාත්මක ලක්‌ෂණ උපුටාගැනීමක්‌ද පසුකාලීනව සිදුවූයේ ඉහත විස්‌තර කරන ලද වරදකාරී මානසිකත්වය හේතුකොටගෙන විය හැක.

වර්තමානයේදී මෙම සමාගම විසින් කරන ලද නිර්මාණ බොහොමයක්‌ම කොළඹ නගරය තුළ කීර්තිමත් ස්‌මාරක ලෙස සුරැකිව පවතියි. ඔවුන් විසින් කොළඹ 'ග්රෑන්ඩ් ඔරියන්ටල්' (Grand Oriental) හෝටලය සහ ගල්කිස්‌ස හෝටලය (Mt. Laviniya Hotel) ප්‍රතිසංස්‌කරණය කරන ලද අතර කොළඹ කොටුව ආශ්‍රිතව ගµQර් (Gaffour) ගොඩනැගිල්ල, ටයිම්ස්‌ (Times) ගොඩනැඟිල්ල මෙන්ම චාටර්ඩ් බැංකු ගොඩනැගිල්ලද (Charted Bank) නිර්මාණය කළහ. කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලීය දෙව්මැදුර (St.joshep's Collage  Chapel), ගාලු මුවදොර පිටියේ මහල් නිවාස (Galle face Court), බෞද්ධ කාන්තා විද්‍යාලයීය (Buddhist Ladies Collage) පන්ති කාමර සහ රීගල් නෘත්‍ය ශාලාවද (Regal theatre) මොවුන් අතින් නිර්මාණය විය. කොළඹ තුරඟ තරග පිටිය (Racecourse, Colombo) දීර්ඝ කාලීනව සිදුකරන ලද සංවර්ධන කටයුතු නිසා එහි මුල් තත්ත්වයෙන් වෙනස්‌ව තිබුණ ද, එහි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරය (Grand Stand) බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ නූතන සාම්ප්‍රදායික ස්‌මාරකයක්‌ ලෙස තවදුරටත් දැකිය හැක. මීට අමතරව ඔවුහු චිත්‍රපට ශාලා (Cinemas), පිරවුම්හල් (Filling Stations), ප්‍රදර්ශනාගාර (Show rooms), කර්මාන්තශාලා (factories) බොහොමයක්‌ද නිර්මාණය කළ අතර වර්තමානය වන විට මේවා පිළිබඳව මෙනෙහි කළ හැකි එම ආයතනයට සම්බන්ධ වූවකු සොයාගැනීම උගහටය. විසි වන සියවසේ මුල් භාගය වන විට වඩා තීව්‍ර ව තිබූ නූතනකරණ ක්‍රියාවලියේ (modernization) ප්‍රතිමූර්තීන් බඳු වූ මෙවැනි වාණිජ ගොඩනැඟිලි අද වන තුරු අපගේ දැනුමින් පරිබාහිරව නොවියකී පැවතීමේ සම්භාවිතාවක්‌ තිබුණද ඒවායේ හඳුනාගත හැකි මුල් ආකාරයන්ගෙන් (original state) පවතීද යන්න සැක සහිතය.

එසේම තේ වගාව ප්‍රචලිත වූ මෙම සමයේ කඳුකර ප්‍රදේශයන්හි තේ වතු අධීක්‌ෂකයන් (tea estate superintendents) සඳහා ගොඩනඟන ලද බංගලා සම්භාරය අතුරින් විස්‌සකට වැඩි ප්‍රමාණයක්‌ මෙම සමාගමක්‌ විසින් නිර්මාණය කෙරුණි. නුවරඑළියේ ප්‍රසිද්ධ හිල් ක්‌ලබ්ද (Hill Club) ඊ. ආර්. සහ බී. හි නිර්මාණයක්‌ වන අතර මෙවන් ගොඩනැගිලි නිර්මාණයේදී ස්‌වාභාවික පරිසරයේ අලංකාර දර්ශන මතුකොට දක්‌වන පරිදි දිශාභිමුඛ (orient) කොට තිබීම විශේෂිතය. එමෙන්ම මේවා නිර්මාණය සඳහා බ්‍රිතාන්‍යයේ 19 වන සියවස අගභාගයේ සිට ප්‍රචලිත වෙමින් පැවති 'ආර්ට්‌ සහ ක්‍රාෆ්ට්‌' (Arts and Crafts) ශෛලිය යොදාගත් අතර මෙම ගොඩනැඟිලි නෙත්තිපල වහල යොදා (hip roof) දැව සැරසිල්ලෙන් නිමකොට ඇත්තේ බ්‍රිතාන්‍යයේ පාරම්පරික ටියුඩර් (Tudor) ආභාෂය යටතේය. වාස්‌තුවිද්‍යාඥ බූත්ගේ සබඳතා මත විදේශීය නිර්මාණයන්ද ඔවුන් වෙත ලැබිණි. මදුරාසියේ නව විශ්වවිද්‍යාල ගොඩනැගිල්ල, කරච්චිහි රේසිං ක්‌ලබ් ගොඩනැඟිල්ල (Racing Club), පේනෑන්ංග්හි හෝටලයක්‌ සහ සිංගප්පූරුවෙහි රැµල්ස්‌ විද්‍යාලය ඒවා අතරින් කිහිපයකි. යුරෝපීය සම්භාව්‍ය ගණයේ නිර්මාණයන් හරහා දේශීය යටත්විජිත ජනතාව වික්‌ෂිප්ත  කොට ඔවුන් යම් තරමක චකිතයකට භාජනය කිරීම ඔස්‌සේ තම අධිරාජ්‍යවාදී ආධිපත්‍යය සහ ඉහළ ලෙස එවකට ලොව පිළිගන්නා ලද යුරෝපීය සංස්‌කෘතිය සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීමේ ව්‍යායාමයකට (යටත්විජිත මානවවාදී ව්‍යාපෘතිය තුළ) මෙම සමාගම ද මෙලෙසින් දායක විය. මෙලෙස වාස්‌තුවිද්‍යාව හරහා පිළිබිඹු වූයේ බ්‍රිතාන්‍ය සංස්‌කෘතික ආධිපත්‍යයි

වාස්‌තුවිද්‍යාඥ රීඩ් ලංකාවේ ඓතිහාසික වාස්‌තුවිද්‍යාව පිළිබඳව යම්තාක්‌ උනන්දු වූ පුද්ගලයෙක්‌ විය. ඔහු කැලණි විහාරය ප්‍රතිසංස්‌කරණය කිරීමේදී ද, මහනුවර දළදා මාළිගාවට නව ගොඩනැඟිලි නිර්මාණය කොට වන්දනාකරුවන් සඳහා පියගැටපෙළවල් හා අභ්‍යන්තර අංගන නිර්මාණය කිරීමේදී ද පුරෝගාමී විය. පෘතුගීසීන් විසින් විනාශ කොට තිබූ බුදුරදුන්ගේ සිරිපා පහස ලත් කැලණි විහාරය පිළිසකර කිරීම එම වකවානුවේ මහත් සේ අගයනු ලැබූ ජාතික හා සංස්‌කෘතික කටයුත්තක්‌ විය. රීඩ් කැලණි විහාරයේ ප්‍රතිමාඝරය ප්‍රතිනිර්මාණයේදී 14 වන සියවසෙහි ලාංකීය වාස්‌තුවිද්‍යා නිර්මාණ වන ලංකාතිලකය හා ගඩලාදෙණිය යන පිළිමගෙවල්වලින් ආභාෂය ලබාගත්තේය. එමෙන්ම පොළොන්නරුව තිවංක පිළිමගෙහි හා මහනුවර කලා ලක්‌ෂණ සහිත සාම්ප්‍රදායික හංසපේළි කොටන ලද බිත්ති හිස්‌වල (friezes) ඇත්කැටයම් සහිත පේකඩ (plinths) හා මහනුවර යුගයේ ස්‌ථම්භයක්‌ ද ඔහු යොදාගත්තේය. සුප්‍රසිද්ධ සෝලියස්‌ මැන්දිස්‌ චිත්‍ර ශිල්පියා අතින් ගොඩනැඟිල්ල තුළ බිතු සිතුවම් නිර්මාණය කෙරිණි. ආනන්ද කුමාරස්‌වාමි මාවතේ චිත්‍ර ප්‍රදර්ශන ශාලාවද (කලා භවන - Art Gallery) සිංහල ගෘහ නිර්මාණ ශිල්පයේ ආභාෂය ලද නූතන සම්භාව්‍ය සම්පිණ්‌ඩනයකි. එහි ප්‍රධාන ශාලාවට ආලෝකය හා වාතාශ්‍රය ලබා දීම සඳහා සැඟවුණු ජනේල යොදා ඇති අතර මෙමගින් සෑම චිත්‍රයක්‌ මතම අලංකාරව සම ආලෝකයක්‌ පතිතවීම විශේෂිත වේ.

වින් ජෝන්ස්‌ වැනි පී. ඩබ්. ඩියේ බ්‍රිතාන්‍ය ජාතික වාස්‌තු විද්‍යාඥයින් මෙන්ම මෙම ආයතනය ද ලාංකික වාස්‌තු විද්‍යාත්මක අනන්‍යතාවයක්‌ උදෙසා (අශිෂ්ට සුසමාදර්ශයක්‌ හරහා වුවද), යම් තරමක උත්සාහයක්‌ ගත් බවට මෙම ගොඩනැඟිලි කදිම උදාහරණයන්ය.

එම සමාගම විසින් නිර්මාණය කරන ලද පෞද්ගලික නිවාසයන් අතර පස්‌යාල නුගදොල දැරණියගල (පීරිස්‌) පවුල සඳහා ඉදි වූ 'සොම්බර් මැන්ෂන්' (Somber mansion), ඔබේසේකර පවුලෙහි 'රොකී හයිඩවුට්‌' (Rocky hideout) නිවස, 'විලා වෙනිසීයා' (Villa Venezia‌) හා කොළඹ රැජින මාවතේ පිහිටි නිවසද විය. 1940 සහ 50 දශක වන විට මෙලෙස මෙම සමාගම අතින් ප්‍රභූ පැලැන්තිය (elite class) උදෙසා නිම වූ නේවාසික ව්‍යාපෘතීන් (domestic works) පී. ඩබ්. ඩීය විසින් එම වකවානුව වන විට දියුණුකොට තිබූ පී. ඩබ්. ඩී. බංගලා (P. W. D. Bunglows) ශෛලිය ඔස්‌සේම නිර්මාණය වීම කැපීපෙනෙයි. තම දෙමාපියන් විසින් ඉදිකරන්නට යෙදුන පෙර සඳහන් මෙම ගණයේ යටත්විජිත ආභාෂයන්ගෙන් අනූන වූ නිවාස පසුකාලීනව ජෙෆ්රි බාවා වැනි නවක වාස්‌තු විද්‍යාඥයන් විසින් ප්‍රගුණ කරන්නට යෙදුණ ඝර්ම කලාපික නූතන (Tropical Modern) වැනි නව ශෛලීන් කරා ඔවුන් යොමු කිරීමට බලපාන්නට ඇත යන අදහස අර්ජුන් දැරණියගල මහතා දරයි.

1932 දී එම සමාගමෙහි කාර්යාලය කොළඔ කොටුවේ ප්‍රින්ස්‌ වීදීයේ (Prince Street) 'ප්‍රින්ස්‌' (Prince) ගොඩනැඟිල්ලට රැගෙන යන ලදී. එම කාලයේදීම වාස්‌තුවිද්‍යාඥ බූත් සමාගමෙන් ඉවත්විණි. එම තනතුර ප්‍රතිෂ්ඨාපනය කරන ලද්දේ කේ. ජී. බෙග් (K. G. Begg) විසිනි. මෙතැන් පටන් මෙම ආයතනය එඩ්වර්ඩ්, රීඩ් සහ බෙග් - ඊ. ආර්. සහ බී. (Edwards,Reid & Beg - E, R & B) හැඳින්වීම ඇරඹිණි. 1936 දී රීඩ් සේවයෙන් විශ්‍රාම ගත් අතර 1934 දී එඩ්වඩ්ස්‌ ඉල්ලා අස්‌ වී යුද සේවයට බැඳුණි. 1939 - 1945 අතර යුද සමයේදී ඔවුන්ගේ සමාගමෙහි කටයුතු පිරිහුනු අතර එඩ්වර්ඩ්ස්‌ කොළඹ සිවිල් හදිසි සේවාවන් හි ප්‍රධාන ධූරයට පත් විණි. ඉන්පසු කාලයේදී ඔහු ජිමි නිල්ගිරිය (Jimmy Nilgiriya) ඔහුගේ සහයක වශයෙන් බඳවා ගත්තේය. ඔහු බොම්බායේ .JJ. පාඨමාලාව හැදෑරැ අයෙකු වූ අතර අග්‍රගණයේ සුදුසුකම් ලත් අයෙක්‌ නොවීය. ඔවුහු පසුව ඉංග්‍රිසි ජාතික මොරිස්‌ රසල් (Morris
Russell) සමඟද සේවය කළ අතර නිදහස ලැබීමත් සමගම ඔවුහු නැවතත් කාර්යබහුල විය.

1951දී ඊ. ආර්. සහ බී. කොළඹ සැලසුම (Colombo Plan) නම් ප්‍රදර්ශනය සංවිධානය කිරීමට බ්‍රිතාන්‍ය නිර්මාණ ශිල්පී (Designer) මීශා බ්ලැක්‌ (Misha Black) සමඟ කටයුතු කළේය. මෙම කාලවකවානුවේදී රීඩ් විසින් Goeffrey Bawa සේවයට බඳවාගන්නා ලදී. ඒ ඔහුගේ ප්‍රථම සේවා පත්වීම වූ අතර එයද පිරික්‌සුම් කාල වකවානුවක්‌ (trial/probationary period) සඳහා පමණක්‌ විය. ජෙෆ්රි බාවා ප්‍රදර්ශනයෙහි තාවකාලික ගොඩනැඟිලි හා එක්‌ පෞද්ගලික නිවසක්‌ නිර්මාණයට දායක විය.

1952 දී රීඩ් හදිසියේම හෘදයාබාධයක්‌ වැළඳී මියගිය අතර ඔහු විසින් තම පුත්‍රයාට සමාගමෙහි අයිතිය පවරා තිබුණි. නමුත් නිල්ගිරිය සමඟ පැවති ගිවිසුම් හේතුවෙන් ඔහු රීඩ්ගේ බිරිඳට ලැබී තිබුණු කොටස්‌ මිලදී ගත් අතර සමාගමෙහි කළමනාකරු බවටද පත් විය. වාස්‌තු විද්‍යාඥ රසල් නිර්මාණ කටයුතු පිළිබඳ කාර්යාලය (office) භාරගත්තේය. 1953 - 1957 කාලවකවානුවේදී ඔව්හු සැවෝයි (Savoy), ලිබර්ටි (Liberty) යන සිනමා ශාලා මෙන්ම රෝලන්ඩ් (Roland) මෝටර් රථ ප්‍රදර්ශනාගාරය හා නිවෙස්‌ කිහිපයක්‌ නිර්මාණය කළෝය. නිල්ගිරිය නිර්මාණකරණයෙහි එතරම් සැලකිල්ලක්‌ නොදැක්‌වූ අතර ඇතැම්විට තම සැලසුම් නිර්මාණ ශිල්පීන්ට ඇමරිකානු සඟරාවල වූ සැලසුම් පිටපත් කරන ලෙස උපදෙස්‌ දුන් බව කියවේ. 1957 දී රසල් සමාගම අතහැර බ්‍රිතාන්‍යයට ගිය වාතාවරණයක්‌ තුළ නිල්ගිරිය සමාගමේ එකම කොටස්‌කරුවා වූ අතර, ඒ සඳහා ජෙෆ්රිබාවා හා වැලන්ටයින් ගුණසේකර 1951 වසරේ සිට 10% ක කොටස්‌කරැවන් ලෙස බඳවාගැනීමට කටයුතු කළේය. ජෙෆ්රි බාවා මෙම ආයතනයට කනිෂ්ඨ සහයකයකු ලෙස බැඳුණු අතර ක්‍රමයෙන් ඔහු ප්‍රධාන කොටස්‌කරුවා බවට පත්වූයේ ගුණසේකරයන්ද සමගිනි.

බාවා විසින් 1980 දශකය අග භාගයේ අලුත්ම ගෝල බාලයන් පිරිසක්‌ පිරිවරාගෙන තම නාමයෙන්ම සේවා ස්‌ථානයක්‌ ස්‌ථාපනය කරන තුරු ම ඊ. ආර්. ඇන්ඩ් බී. (Ea-ar-and bee) යන සංකේත නාමය භාවිතා කරන්නට යෙදීම විශේෂිතයි. මෙහි සිට 1997 වසරේ වෘත්තීය දිවියට සමුදෙන තුරුම ජෙෆ්රිබාවාගේ ප්‍රධානතම කොටස්‌කරුවා වුයේ එම ආයතනයේ මෙන්ම ඔහුගේම නාමයෙන් ස්‌ථාපිත සේවා ස්‌ථානයේ ද සිවිල් ඉංජිනේරුවා ලෙස සේවයේ නියෑලුන ආචාර්ය පූලෝගසුන්දරීම්ය (Dr. D. K. Poologasundaram) (1960 වසරේ සිට).

ඩේවිඩ් රොබ්සන් පවසන පරිදි ඊ. ආර්. සහ බී. නාමයෙන් සිදු කළ අවසන් ව්‍යාපෘතිය කොළඹ යුනියන් පෙදෙසේ 'සිටි ඩිස්‌පෙන්සරි' (City Dispensary) නම් වූ වාස්‌තු විද්‍යාත්මක කෝණයෙන් එතරම් විශේෂත්වයක්‌ පෙනෙන්නට නොතිබූ ගොඩනැඟිල්ලයි. මෙය 1990 වසරේ විවෘත කෙරිණි. වැලන්ටයින් ගුණසේකරයන් 1958 වන විට මෙම ආයතනයෙන් මිදී තනිව සේවායතනයක්‌ පිහිටුවාගත් අතර බාවා විසින් දිගින් දිගටම සමාගමෙහි ප්‍රසිද්ධිය තම ප්‍රගමනය උදෙසා භාවිතා කරන ලදී. 1970 දශකයේ අගභාගය වන විට දිවයිනේ වරලත් වාස්‌තු විද්‍යාඥයන් අතුරින් තුනෙන් එක්‌ කොටසක්‌ මෙම ආයතනයේ සේවය කිරීම විශේෂිතය. ශ්‍රී ලංකා වාස්‌තු විද්‍යා ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පැතිකඩෙහි තවත් වැදගත් කොටසක්‌ මෙලෙස සනිටුහන් විය.

සටහන් / පර්යේෂණ සහය
මනෝරි ජයලත්
ප්‍රභාෂ් සූරියගොඩ


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.