වරකාගොඩ ඉතිහාසය හෙළි කරන
වෙහෙරගොඩ ස්‌ථූපය


මතුගම සෙනෙවිරුවන්


කළුතර දිස්‌ත්‍රික්‌කය නොහොත් පස්‌යොදුන් කෝරළයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයට අයත් වරකාගොඩ ග්‍රාමය අනුරාධපුර යුගයේ සිටම වැදගත් ඓතිහාසිකත්වයක්‌ ප්‍රකට කරවන ස්‌ථානයක්‌ ලෙසට ප්‍රසිද්ධය. අපවත් වී වදාල පූජ්‍ය කලුපහනේ සෝමානන්ද හිමියන්ගේ අදහස නම් වර්තමාන වරකාගොඩ ගල්ලෙන් විහාරය වනාහි ඓතිහාසික කාලවල්ලි මණ්‌ඩප විහාරයයි. කටාරම් කෙටූ ගල්ලෙන් මණ්‌ඩපයක්‌ ආකාරයට මෙය පිහිටා තිබීමත් වරකාගොඩ ආසන්නයේ කලවැල්ලාව නමින් ග්‍රාමයක්‌ පිහිටා තිබීමත් නිසා මෙම මතය ඉස්‌මතු ව ඇත. වරකාගොඩ පිහිටා තිබෙන අනෙක්‌ වැදගත්ම ස්‌ථානය වන්නේ ගණේඋඩ පුරාවිද්‍යා ස්‌ථානයයි. වරකාගොඩ තුන්මන් හන්දියෙන් ඉහළට තිබෙන ගීකියන කන්ද වතුයායට යන මාර්ගයේ ස්‌වල්ප දුරක්‌ යන විට දකුණට වන්නට මෙම ස්‌ථානය හමුවේ. එහි නටබුන් සහිත ගොඩනැඟිලි දෙකක්‌ ද පඩි පෙළක්‌ද සෙල් ලිපි කැබැල්ලක්‌ ද ඇත. මේ ස්‌ථානයෙන් හමු වූ උළු කැට කොත් කැරලි සහ ගල් පහන් කීපයක්‌ එහි දැනට පවතින විහාරස්‌ථානයේ තැන්පත්ව තිබේ. මෙම ගණේඋඩ පුරා විද්‍යාත්මක නටබුන් වලට කාල නිර්ණය කිරීමේ දී එහි පවතින සෙල් ලිපි කැබැල්ල ඉතා ප්‍රයෝජනවත්ය.

මහාවංශයේ ඇතුළත් ගාථා වල පස්‌යොදුන් රට ගැන පළමුව සඳහන් වන්නේ මහා විජයබාහු නොහොත් කිත්ති කුමරුගේ සටනට සහාය දැක්‌වූ පෙදෙසක්‌ විලසටයි. විජයබාහු රජු (ක්‍රි.ව. 1065 -1120) ගෙන් පසුව පුත්‍රයා වූ වික්‍රමබාහුට රජකම පවරන ලද්දේය. රජුගේ මිත්තා නම් සොහොයුරිය විවාහ කරගත් පාණ්‌ඩ්‍ය කුමරුට දාව පුතුන් තිදෙනෙකුද විය. මේ කොටස්‌ දෙක අතර බල අරගලය නිසා මිත්තා ගේ පුත් කුමරුවන් වන මානාභරණ කීර්ති ශ්‍රී මේඝ හා ශ්‍රී වල්ලභ නම් කුමරුවන් තිදෙන විජයබාහු රජු ගේ පුත් වික්‍රමබාහු හා සටනට පිවිසියේ පාණ්‌ඩව සම්ප්‍රදායට අනුව සහෝදරියගේ පුත්‍රයාට රජකම හිමි විය යුතු බව ප්‍රකාශ කරමිනි. මේ සටනේ දී බෝධිසේන පබ්බතය අසලදී පරාජයට පත් තුන් බෑයෝ කලුගඟෙන් එගොඩ වී පස්‌ යොදුන් රටට විත් එහි දුර්ගයක සැඟවුණහ. මහා වංශයේ මේ කාරණය සඳහන් වන්නේ 141 පිටුවේ 61 වන පරිරේදයේ තිස්‌පස්‌ වන ගාථාවේය. මෙම ගාථාවේ සඳහන් දුර්ගය නොහොත් බලකොටුව කලු ගඟෙන් එගොඩ වරකාගොඩ ප්‍රදේශය බව එහි තිබෙන ජනප්‍රවාද සාක්‌ෂි සපයයි. සෙල් ලිපි කැබැල්ලේ අක්‌ෂරයන්ද පොලොන්නරු යුගයට අයත් යයි පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවේ සටහන්වල සදහන්ය. එම නිසා මානාභරණ කුමරු ද පසුව සුගලා බිසවද මෙහි රැඳී සිට පිටත්ව යන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එයට තිබෙන ප්‍රබලතම සාක්‌ෂිය නම් මෙහි තිබෙන එක්‌ ගොඩනැගිල්ලක්‌ දළදා මාළිගයක්‌ ලෙසට හඳුනා ගන්නට හැකි වීමයි. දෙමහල් ස්‌වරූපයේ වාස්‌තු නිර්මාණයක්‌ වන මෙහි අම්බුලුගල දන්ත පායේ තිබෙන ගල් පුවරුවට සමාන පැතලි ගලක්‌ තැන්පත්ව ඇත. එසේම මෙම ස්‌ථානයට පිවිසෙන පඩිපෙළ අඩි තිහක්‌ පමණ පළලය. එවැනි පඩි පෙළක්‌ සකසන්නට හේතු වන්නට ඇත්තේ වාර්ෂිකව මෙහි අලි ඇතුන් සහිත දළදා පෙරහැරක්‌ පැවැත්වීම බව කල්පනා කළ හැකිය.

ගණේඋඩ තිබෙන අනෙක්‌ ගොඩනැඟිල්ල කැටයම් කුලුණු සහිත මනාලෙස සකස්‌ කළ ගොඩනැඟිල්ලකි. වාස්‌තු විද්‍යාත්මක වශයෙන් එහි ලක්‌ෂණ කෑරගල පද්මාවතී පිරිවෙනේ දැනට පවතින ගොඩනැඟිලි හා කැටයම්වලට සමානය. ඒවා පහලොස්‌ වන සියවසට අයත්ය. එම නිසා මේ ගොඩනැගිලි දෙක යුග දෙකකට අයත් යෑයි අනුමාන කළ හැකිය. කෙසේ වෙතත් ස්‌ථිර නිගමනයකට පැමිණීමට හැක්‌කේ විද්‍යාත්මක කාල නිර්ණයකින් පමණි. මෙහි පවතින පඩි පෙළ ආසන්නයේ පහලොස්‌ වන සියවසට අයත් තවත් ශිලා ලිපියක්‌ ඇත. ශ්‍රී සඟබෝ ශ්‍රී යනුවෙන් එහි සඳහන්ව ඇත. රජුගේ මුද්‍රාව ද මෙහි සටහන් කර ඇත. පහළොස්‌ වන සියවසේ දී සයවන බුවනෙකබාහු රාජ සමයේ දී සිදු වූ සිංහල සංගේදම නම් කැරැල්ල අවස්‌ථාවේ දී රජුගේ සේනාවන් හා අම්බුලුගල කුමරු පස්‌යොදුන් කෝරළය අක්‍රමණය කළේ ශ්‍රී වර්ධන ප්‍රභූරාජයා පරාජයට පත් කිරීමටයි. පස්‌යොදුන් කෝරළයේ ගිරි දුර්ගයන් වන රන්වලාගල සහ එය ආශ්‍රිත උමං පද්ධතියේ ඇසුර ලබමින් සටන් කළ ශ්‍රී වර්ධන පභූරාජයාට මෙම ගණේඋඩ ස්‌ථානයද රැකවරණයට තිබූ බව පැහැදිලිය. සටන පරාජයට පත් කිරීමෙන් පසු අම්බුලුගල කුමාරයා විසින් තබන ලද ජයග්‍රහණයේ මුද්‍රාවක්‌ ලෙසට මෙම ශිලා ලිපිය දැනට හඳුනා ගත හැකිය. කෙසේ වෙතත් කෝට්‌ටේ යුගයට අයත් පුරා විද්‍යාත්මක වටිනාකම් රාශියක්‌ මේ ප්‍රදේශයේ සැඟවී තිබෙන අතර වෙහෙරගොඩැල්ල හා මද්දෙකන්ද දේවාල නටබුන් උදාහරණ ලෙසට දැක්‌විය හැකිය.

වරකාගොඩ හන්දියට නුදුරුව නෑබඩ පාරේ දකුණට හැරෙන ලෙසට වර්තමාන සල්ගස්‌ මාවත පිහිටා තිබේ. එහි මදක්‌ දුර ගමන් කරන කල්හි ස්‌ථූපයක නටබුන් හමු වේ. 2007 වර්ෂය වන විටද මෙම ස්‌ථූපය දිස්‌ වූයේ රබර් ගස්‌ වවා තිබූ ගොඩැල්ලක්‌ ලෙසටය. වෙහෙරගොඩැල්ල නමින් නම් කර තිබූ මෙම ස්‌ථානය මීට දශක කීපයකට ප්‍රථම හාරා එහි තැන්පත් කර තිබූ ධාතුන් වහන්සේලා රැගෙන ගිය බව පැරණියන් සදහන් කළහ. ධාතුන් වහන්සේ තැන්පත් කර තිබුණේ යයි සැලකිය හැකි දාගලක්‌ අසල නිවසක තිබී අපට සොයා ගන්නට හැකි විය. පසුව කලුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගේ වාර්ෂික ප්‍රතිපාදන 2007 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කර 2007 ඔක්‌තෝබර් 24 දින වරකාගොඩ ගල්ලෙන් විහාරාධිපති පූජ්‍ය පෝරුවදණ්‌ඩේ සුමන හිමියන් සහ තෙබුවන ග්‍රන්ථාකර පිරුවන්පති පූජ්‍ය තෙබුවන පියනන්ද හිමියන් ගේ මූලිකත්වයෙන් කැනීම් ආරම්භ කරන ලදී. කැනීමෙන් පසුව දුර්ලභ පේසාවක්‌ සහිත කුඩා ස්‌ථූපයක අවශේෂ මේ ස්‌ථානයෙන් මතු කර ගැනීමට හැකි විය. විෂ්කම්භය අඩි විස්‌සක්‌ වන මෙම ස්‌ථූපය පහළ ධාතු ගර්භය තෙක්‌ම කැනීම් කරන ලද අතර එහි කිසිවක්‌ හමු නොවුණි. නමුත් මීට වසර පණහකට පමණ පෙර දී මෙම ස්‌ථානයේ කරන ලද අනවසර කැණිමේ දී මතු වූ කාන්තා මුද්දක්‌ හා මාලයක කොටසක්‌ සොයා ගන්නට අපට හැකි විය.

මෙම ස්‌ථූපයේ පවතින ගඩොල් හා අනෙකුත් අවශේෂ දෙස පරික්‌ෂාකාරීව බලන කල්හි මෙය කෝට්‌ටේ යුගයට අයත් ඉදිකිරීමක්‌ යයි නිශ්චය කළ හැකිය. ශ්‍රී වර්ධන ප්‍රභූරාජයා පස්‌යොදුන් කෝරළය පාලනය කරන අවධියේ දී අගලවත්තේ කැකුළන්දොළ විහාර ස්‌ථූපය කෝට්‌ටේ රජ මහා විහාර ස්‌ථූපය හා ගංගොඩවිල විජයාරාම ස්‌ථූපය තනා නිම කරන ලද්දේ යයි ජන ප්‍රවාද ගතය. ඒවා ද ඉතා කුඩා ස්‌ථූපයන් වන අතර වේදිකාවක්‌ මත ඉඳි කර තිබේ. මෙම ධාතු ගර්භයෙන් හමු වූ කාන්තා ආභරණ අතර තිබෙන පෙන්ඩන්ටය රන් අලේපිතය. කුරුලු ජෝඩුවක්‌ සළකුණු කොට තිබේ. තත්කාලීනව චීනයේ භාවිතා කළ ආභරණයන්ට සමානය. කෝට්‌ටේ යුගයේ දී චීනයත් සමග දැඩි සම්බන්ධයක්‌ තිබූ බව ඉතිහාසයේ සඳහන් වන බැවින් මෙම ආභරණය චීනයෙන් ලැබුනක්‌දැයි තව දුරටත් විමර්ශණය කොට බැලිය යුතුය.ඒ අතින් බලන කල්හි මෙහි ඉතිහාසය එළි දක්‌වන්නට මෙම කාන්තා ආභරණයන් දක්‌වන දායකත්වය සුවිශේෂිය.

මෙම ස්‌ථූපයේ වේදිකාවේ වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණයන්ද සුවිශේෂිය. කැනීමෙන් පසු මෙම ස්‌ථානයට පැමිණි පුරාවිද්‍යා වාස්‌තු ශිල්පී උත්පල කරුණාසේකර මහතාගේ නිරීක්‌ෂණය අනුව මෙම වෙසෙසි වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණ හඳුනාගන්නා ලදී. මේ ප්‍රදේශයට ආවේණික ගල් විශේෂයක්‌ වන ඉණිගල මෙයට යොදා ගෙන ඇත. ඒවා වේදිකාවේ පැති බැම්ම ශක්‌තිමත් කරනු වස්‌ යොදා ගෙන තිබේ. මේ ප්‍රදේශයේ රබර් වතු වල තවමත් එම ඉණිගල් රාශියක්‌ තැන්පත්ව තිබෙන බව හඳුනා ගන්නට හැකිය. එම නිසා 2013 වර්ෂයේ දී මෙම ස්‌ථූපය තහවුරු කිරීම් කරන විට මෙම ඉණිගල් ම නැවත යොදමින් වේදිකාව ප්‍රති නිර්මාණය කර ඇත. 2007 වර්ෂයේ දී කළ කැනීමේ දී වෙහෙරගොඩ ස්‌ථූපයේ පේසාවන්ට මදක්‌ නුදුරින් ගල් කණු කැබැල්ලක්‌ මතු කර ගැනීමට නිළධාරින්ට හැකි විය. එය ගජ ස්‌ථම්භය නොහොත් යූප ගලක්‌ යයි හඳුනා ගන්නට ද සාධක නොමැත. මෙහි ඉතිහාසය දක්‌වන්නට තිබෙන තවත් ප්‍රබල සාධකයක්‌ ලෙසට පමණක්‌ දැනට මෙය හඳුනා ගන්නට හැකිය. ඊට අමතරව මෙය ධාතු ගර්භය හාරන විටදී ඉවත්ව ගොස්‌ පස්‌ සමග අස්‌ථාන ගතව තිබූ මැටියෙන් නිම කරන ලද රජ රූපයක්‌ හෝ බෝධිසත්ව රූපයක පහළ කොටසක්‌ ද මෙම ස්‌ථානයේ බුදු මැදුරට අත්තිවාරම් කැපීමේ දී හමු විය. එයද වැදගත් සාක්‌ෂි සපයන පුරාවස්‌තුවක්‌ යයි නිගමනය කළ හැකිය.

ඓතිහාසික වෙහෙරගොඩ ස්‌ථූපය නැවත තහවුරු කොට එහි ධාතු නිධානෝත්සවයක්‌ ගැනීම ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේ සහ ගණේඋඩ දන්තපාය විහාරස්‌ථානයේ විහාරධිපති වලගෙදර චන්ද්‍රසිරි ස්‌වාමින් වහන්සේගේ අධිෂ්ඨානය වූ හෙයින් පිටකෝට්‌ටේ වසන්ත සිරිවර්ධන මහතා සතුව තිබුණු සර්වඥ ධාතුන් වහන්සේලා මෙම කුඩා දාගැබේ තැන්පත් කිරීම මෙම අගෝස්‌තු මාසයේ දී සිදු කිරීමට නියමිතය. පුරා විද්‍යාත්මක ස්‌මාරක බහුතරයක්‌ බෞද්ධ ස්‌මාරක බැවින් ඒවා වන්දනාමානයට නැවත පත් කිරීමේ ප්‍රතිපත්තියක්‌ දැනට ජාතික උරුමයන් අමාත්‍යංශයේ පවතින හෙයින් වෙහෙරගොඩ ස්‌ථූපය නැවතත් යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවීම වරකාගොඩ වාසී බෞද්ධ පින්වතුන් ගේ පමණක්‌ නොව සමස්‌ත ලංකාවාසී බෞද්ධ ජනතාවගේම බලාපොරොත්තුවක්‌ සඵල වීමක්‌ යයි සඳහන් කළ යුතුය.


පුරාවිද්‍යා තාක්‌ෂණික නිළධාරිනී

මාලිනී දේවිකා මහත්මියට සහ

විඡේරත්න මුදලාලි මහතාට අපගේ ස්‌තූතිය

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.