දිනකට කෘත්‍රිම රසකාරක කිලෝ 15ක්‌
අනුරාධපුර ආපනශාලාවලින් ජනතාවට කවනවා
- අනුරාධපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි

අනුරාධපර විශේෂ - පර්සි කුරුනේරු

දිනකට විෂ සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු කෘත්‍රිම රසකාරක කිලෝග්‍රැම් පහළොවක්‌ පමණ අනුරාධපුර නගරයේ ආපනශාලාවලින් ජනතාව අනුභව කරන බව අනුරාධපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නලීන් ප්‍රේමදාස මහතා පැවැසීය.

ආපනශාලාවල සහ නිවසේවලද ප්‍රධාන වශයෙන් භාවිතයට ගනු ලබන ජනප්‍රිය රසකාරක වර්ගය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ප්‍රතික්‌ෂේප කරන ලද මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු සහ තත්ත්වයෙන් බාල ඒවා බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

එම කෘත්‍රිම රසකාරක දිගින් දිගටම භාවිතයට ගැනීමෙන් අස්‌ථි දියවීම වැනි භයානක ආබාධ සහ ස්‌නායු රෝග හට ගත හැකි බැවින් වහාම කෘත්‍රිම රසකාරක භාවිතයට ගැනීමෙන් වළකින ලෙස වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා කීය.

ජනතාවට ගුණාත්මක බවින් යුත් පිරිසිදු ආහාරපාන ලබාදීම සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ආපනශාලා හිමියන් දැනුවත් කිරීම සඳහා අනුරාධපුර මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය මගින් සංවිධානය කර තිබූ වැඩමුළුවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ආහාර ගබඩා කිරීම, සේවකයන්ගේ පිරිසිදු බව, විෂබීජවලින් ආරක්‌ෂාවීම ආදී කරුණු කෙරෙහිත්, ආහාරවලට රසකාරක සහ වෙනත් විෂ සහිත දෑ අඩංගු වීම පිළිබඳවත් මෙම වැඩමුළුවේදී ආපනශාලා හිමියන් දැනුවත් කෙරිණි.

දැනට ආපනශාලාවල බහුලව තිබෙන කොත්තු, ප්‍රයිඩ්රයිස්‌ සහ ලුනු මිරිස්‌ (චිලිපේස්‌ට්‌) සඳහා ප්‍රධාන වශයෙන් රසකාරක මිශ්‍ර කෙරෙන අතර ඇතැම් පුද්ගලයන් සෑම වෑංජනයක්‌ සඳහාම කෘත්‍රිම රසකාරක යොදන බවත් වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා පැවැසීය.

මෙම වැඩමුළුවේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය නලීන් ප්‍රේමදාස මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

භාජන සේදීම හා මැදීම සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය තබන ස්‌ථානවලින් ඒවා හැලීමෙන් හෝ සතුන් මගින් ආහාර ද්‍රව්‍යවලට මිශ්‍ර විය හැකියි. ඒ පිළිබඳව ප්‍රවේශම් විය යුතුයි. රසකාරක තුළත් රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා. ජනතාව අතර දැනට ජනප්‍රියම රසකාරකය ඇමෙරිකාවේ තහනම් කළ එකක්‌. එය ආහාරයට යෙදීමෙන් වළකින්න. මගේ ගණන් ගැනීම අනුව අනුරාධපුර නගරය හා නගරයට පිටින් පැමිණෙන ජනතාවට එම රසකාරක කිලෝග්‍රෑම් පහළොවක්‌ පමණ දිනකට කැවෙනවා. මේවා තුළින් ජනතාවට භයානක රෝග වැළඳිය හැකියි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.