දුම්පානයෙන් දිනකට ශ්‍රී ලංකාවේ
60දෙනෙක්‌ අකාලයේ මිය යනවා


තඹුත්තේගම - සී. එම්. ආරියපාල

දිනකට දුම්පානය කිරීමෙන් ශ්‍රී ලංකාවේ 60 දෙනකුද, වර්ෂයකට පුද්ගලයන් 20,000 කට ආසන්න ප්‍රමාණයක්‌ අකාලයේ මියයන බව නව්‍යපාද සමාජ සංවර්ධන පදනමේ උපුල් කාරියවසම් මහතා "රසවින්දනාත්මක මිනිසකු බිහිකිරීමෙන් යහපත් සමාජයක්‌ ගොඩනගමු" යන තේමාව යටතේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් සංවිධානය කළ වැඩසටහනකදී මකුළෑව මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැසීය.

එහිදී දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතය මාතෘකාව යටතේ වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා කියා සිටියේ ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිත කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාවට 158 ස්‌ථානය ලැබී තිබුණත්, මත්ද්‍රව්‍ය අලෙවි කරන සමාගම් පවසන්නේ ඔවුන්ගේ වාසිය තකා දෙවෙනි ස්‌ථානය ලැබී ඇති බවයි.

ලංකාවේ ජනග්‍රහණයෙන් 20% ක්‌ අරක්‌කු බොන බවත් මෙරට භාවිත කරන අරක්‌කු අතරින් 93.6% ක්‌ අයිතිවාසිකම් විදේශ සමාගම්වලට අයත් බව පෙන්වා දුනි. මෙරට අරක්‌කු සහ දුම්වැටි ප්‍රචලිත කළත් මෙම අරක්‌කු සහ දුම්වැටි සමාගම්වල අධ්‍යක්‍ෂ මණ්‌ඩලවල පුද්ගලයන් හෝ ඔවුන්ගේ දූ දරුවන් ඒවා භාවිතා නොකරන බවත් පැවැසීය. සිගරට්‌ සමාගම් වලින් දිනකට රුපියල් ලක්‍ෂ 2100 ක්‌ උපයන බවත් සිගරට්‌ බොන අයම රජයට බදු ගෙවන බවත් පැහැදිලි කළේය.

මත්ද්‍රව්‍ය නිසා මෙරටින් මේවා භාවිතයෙන් මැරෙන අයට සමගාමීව දිනකට පුද්ගලයන් 80 දෙනකු සිගරට්‌ ඉරීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට පුරුදු කළ යුතු බව සමාගම් අවධාරණය කරගෙන ඇති බව පැවැසීය. වර්ෂයකට දළ වශයෙන් පාසල් ළමුන් 2500 ක්‌ වත් සිගරට්‌ ඉරීමට පුරුදු කිරීමට මෙම සමාගම් උපක්‍රමශීලීව කටයුතු කරන බව කීය. මෙම තත්ත්වය මර්ධනය කිරීමට අප හැමවිටම යට සිතෙහි තබාගෙන මේ කටයුතු නැවැත්වීමට පියවර ගත යුතු යෑයි අවධාරණය කළේය.

මෙම අවස්‌ථාවට පාසල් සිසුන්ද, තරුණ පිරිස්‌ රැසක්‌ද සහභාගි වී දේශනයට සවන් දුන්හ. මෙදින රසවින්දනාත්මක වැඩසටහනක්‌ හොලිවුඩ් ආයතනයේ පීඨාධිපති විශාරද කරුණාරත්න විඡේවර්ධන මහතාද, බෝ වන රෝග පිළිබඳ හරවත් දේශනයක්‌ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අයි. ජී. ගුණරත්න මහතාද, තවත් වැඩසටහනක්‌ද පැවැත්වීය.

මෙම අවස්‌ථාවට තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් ඡේ. ඩබ්. එස්‌. කිත්සිරි මහතාද, සහකාර ප්‍රාදේශීය ලේකම් මධූෂ ඉලංගසේකර මහතාද, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරි උපුල් චන්දන මහතාද, මකුළෑව තුලාන භාර පොලිස්‌ සැරයන් (14432) සුමතිපාල මහතාද, සමාජසේවා නිලධාරි බී. එම්. ආර්. පී. බී. දිසානායක මහතාද ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මණ්‌ඩලයේ රැසක්‌ද මකුළෑව මහා විද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලයේ රැසක්‌ද සහභාගී වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.