රෝහල්වලට බෙහෙත් ගෙන්වීමට වඩා වැඩි මුදලක්‌ කිරිපිටි ආනයනයට වැය කරයි

ඒමන්ති මාරඹේ

මෙරට රජයේ රෝහල් සඳහා අවශ්‍ය බෙහෙත් වර්ග ආනයනය කිරීම සඳහා වාර්ෂිකව වැය කරනු ලබන මුදලට වඩා වැඩි මුදලක්‌ වාර්ෂිකව කිරි පිටි වර්ග ආනයනය කිරීම සඳහා වැය කරන බව අනාවරණය වී තිබේ.

ලොව කිරිපිටි වර්ග ආනයනය කරන රටවල් අතුරින් 4 වැනි ස්‌ථානයේ පසුවන ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 40 ක මුදලක්‌ එනම් රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 0.58 කිරි පිටිවර්ග ආනයනය කිරීම සඳහා වැය කරනු ලබන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. එම වාර්තාවලට අනුව මෙරට ගෘහස්‌තව පරිභෝජනය කෙරෙන ආහාර වර්ගවලින් සහල් හැරුණු විට දෙවැනි වැඩි පරීභෝජනයක්‌ ඇත්තේ කිරිපිටිවලට වන අතර මෙරටට ආනයනය කෙරෙන ආහාර වර්ග අතුරින් දෙවැනි වැඩි වියදමක්‌ දරනුයේ කිරිපිටි වර්ග ආනයනය කිරීම සඳහාය.

මෙරට ළමා, තරුණ හා වැඩිහිටි ජනගහනයට අත්‍යවශ්‍ය ආහාරයක්‌ ලෙස කිරිපිටි සමාජ ගත කිරීමට කිරි පිටි සමාගම් කටයුතු කිරීම නිසා රෝගවලට ගොඳුරුවීම වැළැක්‌වීමට එම කිරිපිටිවලට හැකියාව ඇති බවට මිත්‍යා විශ්වාසයක්‌ද සමාජය තුළ ගොඩනැඟê ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙරට අර්බුදයකට ලක්‌ව ඇති එක්‌තරා කිරිපිටි සමාගමක්‌ දිනකට කිරිපිටි අලෙවියෙන් රුපියල් මිලියන 130 ක ආදායමක්‌ ලබන බවත් එයින්ම මෙරට ජනතාව පිටි කිරිවලට කෙතරම් ඇබ්බැහි වී ඇත්දැයි සනාථ වන බවත් සංගමය කියයි.

ළදරු කිරිපිටිවලින් තොරව ළදරුවන්ට මුල් මාස 6 තුළ මව්කිරි පමණක්‌ ලබා දීමටත් අනතුරුව ඝන ආහාර පෙළකට හුරු කිරීමත් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාකාරී වැඩ පිළිවෙලක්‌ සකස්‌ කළ යුතුව ඇති බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත දැනුම් දී තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.