මේ වන විට වෙළෙඳපොළේ ඇති කිරිපිටි වර්ග සියල්ල ඩී.සී.ඩී.වලින් තොරයි
- නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක පාර්ලිමේන්තුවේදී කියයි

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

මේ වන විට වෙළෙඳපොළේ ඇති කිරිපිටි වර්ග සියල්ල ඩී.සී.ඩී. වලින් තොර බවට සහතික වන්නේ යෑයි නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්‌ථාවර නියෝග 23/2 යටතේ අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (03 දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රශ්න කිරීමට උත්තර දෙමින් ලලිත් දිසානායක මහතා මෙසේද කීය.

නවසීලන්තයේ නිෂ්පාදිත කිරිපිටි කාණ්‌ඩ කීපයක ක්‌ලොස්‌ට්‍රීඩියම් බොටියුලිනම් බැක්‌ටීරියාව අඩංගු බවට අදාළ සමාගම් හෝ නවසීලන්ත රජය ශ්‍රී ලංකා ආණ්‌ඩුවට දැනුම් දුන්නේ කවදා දැයි දිසානායක මහතා ප්‍රශ්න කළා. පසුගිය අගෝස්‌තු 02 දා නවසීලන්ත රජය සිය නිල වෙබ් අඩවියක තම රටේ නිෂ්පාදනය කළ අධි සාන්ද්‍රිත වේ ප්‍රෝටීන් තොගයක්‌ ක්‌ලොස්‌ට්‍රීඩියම් බොටියුලිනම් බැක්‌ටීරියාව මගින් දූෂණය වී ඇති බවට සැක පළකරන බව නිවේදනය කළා. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්ෆෝසාන් (Infosan) තොරතුරු ජාලය මගිනුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දුන්නා. එම කිරිපිටි කාණ්‌ඩ සහ ඒවායේ වෙළෙඳ නාම දිසානායක මහතා විමසුවා. කරිකන්රේ ඉන්ෆන්ට්‌ ෆෝමියුලා ස්‌ටේඡ් 01 කාණ්‌ඩ අංක 3169 සහ 3170 මෙන්ම කරිකෙයාර් ගෝල්ඩ් ප්ලස්‌ ෆලෝ ඔන් ෆෝමියුලා ස්‌ටේඡ් 2 කාණ්‌ඩ අංක ඩී 3183 ඒ වෙළෙඳනාම සහ කාණ්‌ඩ අංකයි. ඉහත කිරිපිටි කාණ්‌ඩ කිසිවක්‌ ශ්‍රී ලංකාවට ආනයනය නොකළ නමුත් ලැබුණ අධි සාන්ද්‍රිත වේ ප්‍රෝටීන් අඩංගු ආහාර මගින් රටට මෙම විෂබීජය පැමිණිය හැකි නිසා ආහාර උපදේශක කමිටුවේ උපදෙස්‌ මත අගෝස්‌තු 06 සිට මෙරටට ආනයනය කළ අධි සාන්ද්‍රිත වේ ප්‍රෝටීන් ආහාර රේගුවේ රඳවා තබා වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් නියෑදි පරීක්‌ෂාවට ලක්‌කර අදාළ බැක්‌ටීරියාව නැති බවට තහවුරු කර ඒවා නිදහස්‌ කිරීමට කටයුතු කළා.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.