අප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?

දෙමළ සන්ධානය, සිය මහ ඇමැති ධුරාපේක්‍ෂක විග්නේශ්වරන්ට දුන් මල්ලේ සිටි කොටියා ඔලුව එළියට දමා ගොරවන්නට පටන් ගෙන තිබේ. උතුරු පළාත් සභා මැතිවරණය සඳහා වූ මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරන ඒ කොටියා ඉඩම්, පොලිස්‌, සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය බලතල සහ ස්‌වයංපාලන බලතල ද ඉල්ලයි. මතු යම් දවසක දෙමළ ජාතික සන්ධානය ද උතුරේ නන්දිකඩාල්/වෙල්ලමුල්ලි වයික්‌කාල් ප්‍රදේශයේදී හමුවීමට අපට සිදු වන බව මේ තත්ත්වය මගින් පැහැදිලි වන්නේ ය. වසර 20 ක පමණ කාලයක්‌ එකතු කර තිබී ජනතා විමුක්‌ති පෙරමුණ විසින් නඩු කියා වෙන් කරගන්නා ලද උතුර සහ නැගෙනහිර ෆෙඩරල් පාලන ක්‍රමයක්‌ යටතේ නැවත එකතු කරන ලෙස ද ඔවුහු ඉල්ලති. ඔවුන් තවමත් ඉල්ලා නැත්තේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිකම පමණි. මෙය විග්නේශ්වරන් පවා බලාපොරොත්තු නොවූ තත්ත්වයක්‌ බව අපගේ වැටහීම ය. උතුරේ මහ ඇමැති අපේක්‍ෂකකමට තෝරාගත් සැණින් විග්නේශ්වරන් පුවත්පත්වලට පවසා සිටියේ පළාත් සභා විධිවිධාන යටතේ උතුරට ඉඩම් සහ පොලිස්‌ බලතල කොහොමටත් තිබෙන බැවින් ඒවා ඉල්ලා සටන් කිරීම වැඩක්‌ නැති දෙයක්‌ බව ය. දෙමළ ජාතික සන්ධානය වැනි ජාතිවාදී සංවිධානයක මහ ඇමැති අපේක්‍ෂකයෙක්‌ මේ විධියට ආණ්‌ඩුවේ පැත්තට කතා කිරීමෙන් අප මුලදී කල්පනා කළේ ඔහු ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් එකක්‌ කරන බව ය. එහෙත් දැන් බලන විට අනාගතයේදී විග්නේශ්වරන්ගේ කොන්ත්‍රාත් කිරීමට ආණ්‌ඩුවටත් අප සියලු දෙනාටමත් සිදු වන බව පෙනෙයි.

දෙමළ ජාතික සන්ධානය සතු ඉතිහාසය ඉතාම කැත, ගඳ ගහන ඉතිහාසයකි. ඔවුන්ගේ න්‍යාය පත්‍රය තුළ සිටින්නේ උතුරේ කුලවත් දෙමළ ජනතාව සහ වැල්ලවත්තේ සිටින කෝටිපති දෙමළ ජනතාවත් පමණි. තුන් වේලම රොටිය බැගින් කා වතුර බොන වතු කම්කරු දෙමළ ජනයා මේ න්‍යාය පත්‍රය තුළ නැත. දෙමළ සන්ධානය පිහිටුවන ලද්දේ ප්‍රභාකරන් විසිනි. ඒ සඳහා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ සංහාරය කරන ලදී. ඒ. අමිර්තලිංගම්ගේ සිට ආචාර්ය නීලන් තිරුචෙල්වම් දක්‌වා මරන ලදී. මෙහිදී යාන්තම් පණ ගලවා ගත්තේa වී. ආනන්ද සංගරී පමණි. අදටත් ඔහුට හිස එසවීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ දෙන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය සතුව ප්‍රතිපත්ති දෙකක්‌ තිබේ. ඉන් පළමුවැන්න කාලකණ්‌ණි බෙදුම්වාදී සහ ජාතිවාදී ප්‍රතිපත්තියයි. දෙවැන්න, ඒ ඒ මොහොතට ගැලපෙන ආකාරයට ඇති කරගන්නා තාවකාලික 'එදාවේල' ප්‍රතිපත්තියයි. මහින්ද රාජපක්‍ෂ මහතා දෙවැනි වතාවට ජනාධිපති වූ පසු දෙමළ ජාතික සන්ධානයේ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ ඔහු අප සියලු දෙනාගේම ජනාධිපතිය යන්න ය. ඒ අනුව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ආණ්‌ඩුවට එන්නට වත් සූදානම් වන්නේ දැයි අපි එදා සැක කළෙමු. එසේ නොවන බවත් ප්‍රේමචන්ද්‍රන් කළේ ආණ්‌ඩුවට සුළු ආස්‌වාදයක්‌ දීම සඳහා වචන දෙක තුනක්‌ කීම බවත් අද වන විට අපි පැහැදිලි කරගෙන ඇත්තෙමු.

ප්‍රභාකරන් දෙමළ ජාතික සන්ධානය පිහිටුවන ලද්දේ ස්‌වකීය ත්‍රස්‌ත ආයතනයේ දේශපාලන භාවිතය ලෙස ය. මෙය නූතන ලෝකයේ ත්‍රස්‌තවාදීන් සතු විලාසිතාවකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කිහිපයක ක්‍රියාත්මක ත්‍රස්‌තවාදී කණ්‌ඩායම්වල ඉත්තන් කිහිප දෙනෙක්‌ නිතරම පාර්ලිමේන්තුවේ සිටිති. ත්‍රස්‌තවාදීන් ගොඩ ආවොත් මේ ඉත්තන් ත්‍රස්‌තවාදීන් සමඟ ය. ත්‍රස්‌තවාදියා යට ගියොත් මේ ඉත්තා ආණ්‌ඩුව සමඟය. මේ දෙකම නැතිව යනෙන මං නැති වුණොත් මේ ඉත්තා තම ජනතාව සමඟ ය. මේ ප්‍රතිපත්තිය එවෙලේට ගුණදායක වුවද දීර්ඝ කාලීනව සැපදායක නැත. ත්‍රස්‌තවාදියා යළි බලවත් වුණොත් ඔවුන්ට සිදුවන්නේ වෙඩි කන්නට ය.

ශ්‍රී ලංකාව තුළ බෝම්බ පිපිරවීම සඳහා සූදානම්ව සිටි කොටි ත්‍රස්‌තවාදීන් දෙදෙනකු පසුගියදා ඉන්දියන් ආණ්‌ඩුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී. මේ දෙදෙනා ම ඉතා හොඳ පුරුදුකාරයෝ ය. ඔවුන්ට මුදල් දෙන්නෝ පිටරටවල සිටින කොටි ධනපතීහු ය. කොටි අනතුර රට තුළ නැතත් අහල පහල පවතී. මෙකී අහල පහල ත්‍රස්‌ත ශක්‌තිය වැඩි වන සහ අඩු වන ප්‍රමාණයට අනුව දෙමළ ජාතික සන්ධානයේ ස්‌වරය ද අඩු වැඩි වෙයි. මෙකල ඔවුන්ගේ ස්‌වරය උච්චය. ඒ මග සිටින ත්‍රස්‌තවාදියා විසින් ඔවුන්ට පණිවුඩයක්‌ එවා ඇති නිසා ය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.