පානීය ජල බෝතල්වල ග්‍රීස්‌ සහ තෙල්
සමාගම් දෙකක්‌ තහනම්

ලසිත දුමින්ද

රජයේ රස පරීක්‍ෂක වාර්තාවට අනුව ග්‍රීස්‌ සහ තෙල් අඩංගු බවට අනාවරණය වූ කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අලෙවි කරන පානීය ජල බෝතල් නිෂ්පාදනය කළ සමාගම් දෙකක්‌ තහනම් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා zදිවයිනZ ට පැවැසීය.

මේ සඳහා නීතිඥ සහාය ලබාගෙන අධිකරණ නියෝගයක්‌ ලබා ගන්නා බව ද සභාපතිවරයා කීවේය.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත පසුගිය අගෝස්‌තු 03 වැනිදා පිටකොටුවේ පානීය ජල බෝතල්වල සාම්පල ලබාගත් බවද ඒවා පරීක්‍ෂා කිරීමට රජයේ රස පරීක්‍ෂක වෙත යෑවූ බවද හෙතෙම පැවැසීය.

ඒ අනුව අදාළ සාම්පල පරීක්‍ෂණ වාර්තාවලදී එම පානීය ජල බෝතල්වල පාරිභෝජනයට නුසුදුසු ග්‍රීස්‌ සහ තෙල් වර්ග අඩංගු බවට හෙලිවී තිබේ.

පිටකොටුව ප්‍රදේශයේ පමණක්‌ නොව අනිකුත් පළාත්වලද මෙවැනි වැටලීම් සිදුකරන බව කී සභාපතිවරයා පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී පාරිභෝගික ජනතාවද විමසිලිමත් විය යුතු බව ද පෙන්වා දුන්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.