වෙළෙඳපොළේ ඇති සියලු කිරිපිටි ඩී.සී.ඩී. පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුයි
- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති

ඒමන්ති මාරඹේ

දේශීය වෙළෙඳපොළෙහි පවතින සියලුම ආනයනික කිරිපිටි වර්ග ඩී.සී.ඩී. පරීක්‍ෂාවට ලක්‌ කරන තෙක්‌ එම සියලු කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවට සහතික විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ආහාර සුරක්‍ෂිතභාවය පිළිබඳ කැබිනට්‌ අනුකාරක සභාවට අනුව මෙතෙක්‌ කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් ඩී.සී.ඩී. කෘෂි රසායනිකය අඩංගු දැයි පරීක්‍ෂා කිරීම සඳහා පරීක්‍ෂණයට ලක්‌ කර ඇත්තේ වෙළෙඳපොළෙහි පවතින කිරිපිටි වර්ගවල සාම්පල කිහිපයක්‌ පමණක්‌ බවත් ඒ නිසා සියලු කිරිපිටි සාම්පල පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව ඒවා පරිභෝජනයට සුදුසුද යන්න පිළිබඳව නිගමනයකට එළඹිය යුතු බව වෛද්‍ය පාදෙණිය මහතා කීවේය.

ඩී. සී. ඩී. ඇත්දැයි පරීක්‍ෂා කිරීම සඳහා කාර්මික තාක්‍ෂණ ආයතනයට කිරිපිටි සාම්පල එකතු කර යෑවීමේ ක්‍රමය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් දිවයින පුරා බෙදා හැර ඇති සෑම කිරිපිටි වර්ගයකම සාම්පල පරීක්‍ෂාව සඳහා යවනු වෙනුවට තෝරාගත් කිරිපිටි සාම්පල කිහිපයක්‌ පමණක්‌ පරීක්‍ෂාවට ලක්‌ කිරීම සඳහා යෑවීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බවටත් හෙතෙම චෝදනා කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.