විද්වත් හමුව
ඩීසීඩීවලටත් රතුපස්‌වලටත් විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ නෑ
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති
මහාචාර්ය සුදන්ත ලියනගේ

කාර්මීකරණය හෝ සොබාදහමේ විවිධ සංසිද්ධීන් නිසා සිදුවන පාරිසරික වෙනස්‌වීම් ගැන විවිධ මත පළ කිරීම හා තීරණ ගැනීම අද අපේ රටේ ජනතාවගේත් ඇතැම් සංවිධානවලත් ප්‍රධාන කාර්යයක්‌ බවට පත්ව තිබේ. විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ තාක්‍ෂණවේදීන් සතු කාර්යභාරය මෙලෙස ජනතාව හෝ ඇතැම් සංවිධාන භාර ගැනීම
රටේ ඉදිරි ගමනට සුබවාදී පියවරක්‌ නොවේ. අපේ රටේ අද දැකිය හැකි මේ ප්‍රවණතාව පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ  පීඨාධිපති මහාචාර්ය සුදන්ත ලියනගේ කරන විග්‍රහයකි මේ.

අපේ රටේ පාරිසරික අර්බුද ගැන අද වැඩිපුරම කතා කරන්නෙ සාමාන්‍ය ජනතාව සහ නොයෙක්‌ සංවිධාන. මේවා පිළිබඳ දැනුමක්‌ තියෙන විද්‍යාඥයන්, ඉංජිනේරුවන්, තාක්‍ෂණවේදීන් වැඩිදෙනා නිහඬව ඉන්නවා. ඇයි එහෙම වෙලා තියෙන්නෙ?

මෙබඳු තත්ත්වයක්‌ අපේ රටේ ඇතිවීමට හේතු කීපයක්‌ තියෙනව. යුද්ධය අවසන්වීමෙන් පස්‌සේ අපේ රටේ ඇති වූ නිදහස හරි හැටි කළමනාකරණය කරගන්න ජනතාවට නොහැකිවීම එක හේතුවක්‌. යුද්ධය කාලේ සියල්ල අමතක කර යුද්ධය ගැන පමණක්‌ කතාකළ ජනතාව පශ්චාත් යුද සමයේදී තමුන් දන්න නොදන්න සියලු දේ ගැන කතා කරනව.

අපේ රටේ ජනතාව අතුරෙන් විද්‍යාව ඉගෙන ගන්න පිරිස සියයට විස්‌සක්‌ පමණ ප්‍රමාණයක්‌. එයින් ඉදිරියට යන ප්‍රමාණය ඊටත් වඩා හුඟක්‌ අඩුයි. මේ නිසා අපේ රට තුළ විද්‍යාව සහ තාක්‍ෂණය දියුණු වුණේ නෑ. දේශපාලන අධිකාරියත් මේ සඳහා ප්‍රමාණවත් තීන්දු තීරණ අරගෙන නෑ. පසුගිය කාලයේ තාක්‍ෂණය ප්‍රචලිත කිරීම සඳහා යම් සතුටුදායක වැඩ පිළිවෙළක්‌ ආරම්භකර තිබෙනව. විද්‍යාව හා තාක්‍ෂණය නොමැතිව රටක්‌ දියුණු කරන්න බෑ.

අන්තර් ජාලය වැනි විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ලබා ගන්නා තොරතුරු හරිහැටි කළමනාකරණ කර ගැනීමට නොදන්නා කම නිසාත් ඒවා තමන්ට ගැලපෙන ලෙස ඉදිරිපත් කරන්නත් ඇතැම් අය පෙළෙඹෙනව. බොහෝ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යය අද තෝරගන්නෙ ජනතාව අතර ජනප්‍රිය විය හැකි තේමාවන්. මට නම් හැඟෙන විදිහට අද අපේ රටේ පළවන පුවත්පත් ප්‍රමාණයත් වැඩියි. රූපවාහිනී නාලිකාත් වැඩියි. අද අපේ රටේ හුඟදෙනෙක්‌ තමන් හිතන නිගමන හරි කියල හිතනව විතරක්‌ නොමෙයි අන් අයටත් ඒවා පටවන්න උත්සාහ දරනව. මේ සඳහා ඇතැම් විට කණ්‌ඩායම් වශයෙන් ඔවුන් නැගී සිටින අවස්‌ථා තිබෙනව. මේ දේශපාලනයම නොමෙයි. මේ බොහෝ අයට චතුර කථිකත්වයක්‌ තියෙනව. මනරම් විදිහට කරුණු ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනව. නමුත් මේ අය ඒ කරුණු ගැඹුරින් හදාරපු අයවත් එසේ කළ හැකි අයවත් නොවෙයි. මේ කරුණු වැඩිහරියක්‌ අවිද්‍යාත්මකයි. නමුත් චතුර කථිකත්වය හා ඉදිරිපත් කිරීමේ හැකියාව නිසා බොහෝ අවිද්‍යාත්මක දේවල් ජනතාව අතරට රැගෙන යන්න මේ කණ්‌ඩායම්වලට හැකිවෙලා තියෙනව.

මෑත කාලයේ අපේ රටේ විශාල ආන්දොaලනයක්‌ ඇති කළ ප්‍රශ්නයක්‌ කිරිපිටි. ආනයනික කිරිපිටි වල ඩී.සී.ඩී. කෘමිනාශකය සහ බොටලියුම් බැක්‌ටීරියාව ඇතැයි කළ හෙළිදරව්ව. ඒ අනුව තහනම් කළ කිරිපිටි දැන් ඒ වේගයෙන්ම යළිත් වෙළෙඳපලට නිකුත් කෙරෙමින් තිබෙනව. දැන් මේක ජනතාවට පැටලැවිල්ලක්‌.

නවසීලන්තයේ විශාල ගව පට්‌ටිවල එළදෙනුන්ගේ මුත්‍ර නිසා සිදුවන පාරිසරික දූෂණය අවම කිරීමට යෙදූ ඩී.සී.ඩී. රසායනිකය තණකොළ හරහා එළදෙනුන් තුළටත් උන්ගේ කිරි හරහා මිනිසා තුළටත් ඇතුළු වීමේ ප්‍රශ්නයයි මතුවුණේ. මේ ඩී.සී.ඩී. මිනිස්‌ සිරුරට ඇති කරන බලපෑම පිළිබඳ තවමත් හරියාකාරව පර්යේෂණ කෙරිල නෑ. නවසීලන්ත කිරිපිටිවල ඩී.සී.ඩී. තියනව කියල මුලින්ම කිව්වෙ නවසීලන්ත ආණ්‌ඩුව. අපට දැනගන්න ලැබෙන විදිහට දැන් නවසීලන්ත ආණ්‌ඩුව ඩී.සී.ඩී. භාවිතය තහනම් කරල තියෙන්නෙ. ඒ නිසා මිනිසාගේ ආහාර දාමයට ඩී.සී.ඩී. එකතුවීම දැන් නැවතිලා කියල අපි හිතනව.

මෙය නිශ්චිතවම දැනගන්න නම් මේ කිරිපිටි වල ඩී.සී.ඩී. අඩංගුද යන්න අපේ රටේ පරීක්‍ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපේ රටේ විද්‍යාගාරවල දැන් ඇතිකරල තියෙනව. නමුත් මීට පෙර අපේ රටේ මෙබඳු අවශ්‍යතාවක්‌ මතු නොවීම වගේම අපේ රටේ විද්‍යාව හා තාක්‍ෂණය දියුණු නොවීම නිසා මේ කාරණය අපේ රටේ ක්‍රියාත්මක කිරීම පහසු වුනේ නෑ. මේ පර්යේෂණ සඳහා අවශ්‍ය උපකරණ ලබා ගැනීම වගේම ඒ සඳහා දක්‍ෂ තාක්‍ෂණවේදීන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් නැතිව මෙබඳු සංකීර්ණ පරීක්‍ෂණ සිදු කිරීම දුෂ්කරයි. අද මෙය අපේ රටේ විද්‍යාව හා තාක්‍ෂණය දියුණු නොවීමේ ගැටලුව විසින් බරපතළ කරන ලද ප්‍රශ්නයක්‌.

අපි අද මේ මුහුණ දී සිටින්නේ මේ ප්‍රශ්නයට. අපේ රටේ අද මේ ඩී.සී.ඩී. සහ කිරිපිටි ගැන විශාල ආන්දොaලනයක්‌ ඇතිවී තිබුණත් අපේ රටේ මුළු ආහාර පරිභෝජන රටාව තුළ ම අද අර්බුදයක්‌ තියෙනව. සුදු පැහැති ප්‍රධාන ආහාර වර්ග තුනක්‌ මිනිසාට මරුවා ළඟා කරවන බව බටහිර රටවල පිළිගැනීමක්‌ තිබෙනව. සුදු සීනි, සුදු පිටි සහ සුදු හාල් ඒ ද්‍රව්‍ය තුනයි. මිනිසාට ඉතාම අහිතකර මේ ද්‍රව්‍ය තුන අද අපේ රටේ කොපමණ පරිභෝජනය කරනවද? අපේ රටේ ජනතාවට සුදු හාල් ආහාරයට ගන්න අවශ්‍ය නෑ. අපේ පාරම්පරික හාල් වර්ග රාශියක්‌ තියෙනව. නමුත් ඒ සියල්ල අපි අතෑරල මේ අහිතකර සුදුහාල් තෝරගෙන තියෙනව. ඒ වගේම එක රාත්‍රියකට රසකාරක යෙදූ ආහාර මොනතරම් ප්‍රමාණයක්‌ අපේ ජනතාව ගිල දමනවද? රසකාරක අනවශ්‍ය ප්‍රමාණයෙන් සිරුරට ලබාදීම පිළිකාවලට අතවැනීමක්‌ බව අද ඔප්පු වී හමාරයි. සමහර පිළිකා කාරක රස කාරක රූපවාහිනි දැන්වීම් මගින් පවා ප්‍රචාරය කරනව.

ඩී.සී.ඩී. කිරිපිටි ගැන පමණක්‌ නොමෙයි මේ සියලු දේ ගැනත් නිවැරැදි දැනුවත් කිරීම් තුළින් සත්‍ය ලෙස කරුණු ජනතාවට අවබෝධ කරදිය යුතුයි. සෞඛ්‍යාරක්‍ෂිත ආහාර පරිභෝජන රටාව පිළිබඳ අපේ රටේ බොහෝ වෛද්‍යවරු පවා කතාකරන්නෙ නෑ. අපේ රටේ තාක්‍ෂණවේදීන්, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් හිඟවීම නිසා අවශ්‍ය සහ අනවශ්‍ය සෑම දෙයකටම ඇතැම් වෛද්‍යවරුන් අද මැදිහත් වී සිටිනවා. මෙය රටේ සංවර්ධනයට හිතකර තත්ත්වයක්‌ නොමෙයි.

පසුගිය දිනවල රජරට ප්‍රදේශයේ ජනතාව මෙන්ම ගම්පහ රතුපස්‌වල ප්‍රදේශයේ ජනතාවත් පිරිසිදු පානීය ජලය පිළිබඳ බරපතළ ගැටලුවකට මුහුණපෑව. මේ ප්‍රශ්නෙදිත් වැඩිපුරම කතා කළේ ජනතාව සහ විවිධ සංවිධාන. ජලයේ ආම්ලික හෝ භාෂ්මිකතාව, පස්‌වල ස්‌වභාවය වැනි මේ ප්‍රශ්නයට සැබෑ හේතු සොයා ගත හැකි සාධක පිළිබඳ දන්නා අය හුඟදෙනෙක්‌ නිහඬයි. ඒ නිසා ඇත්ත යටපත් වී ඇති බව මේ පිළිබඳ මතුවී ඇති මතයක්‌?

ජලාශවලින් අපේ රටේ සෑම ප්‍රදේශයකටම බෙදා හරින ජලය බීමට යෝග්‍ය තත්ත්වයට පිරිසිදු කරන්නෙ රසායනික ද්‍රව්‍ය දමල. මේ රසායනික ද්‍රව්‍ය නැත්නම් කාටවත් පිරිසිදු ජලය හදල දෙන්න බෑ. ඉතාමත් සුළු ප්‍රමාණයක්‌ නම් පුළුවන්. විශාල ජනතාවකට අවශ්‍ය පිරිසිදු ජලය රසායනික ද්‍රව්‍ය නොයොදා හදන්න බෑ.

ච්‍ය අගය 5-7 අතර ජලය බීමට සුදුසුයි. මම හිතන විදිහට අපේ රටේ ච්‍ය අගය 4 ට වඩා වැඩි ජලය පානය කළාට ගැටලුවක්‌ ඇති වෙන්නෙ නෑ. එයට හේතුව අපේ රටේ ජනතාව ගන්න සියලුම ආහාර ආම්ලිකයි. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී විනාකිරි වැනි ආම්ලික දේවලුත් එකතු කරනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතියෙ ජීර්ණ ක්‍රමවේදයත් ආම්ලිකයි.

රතුපස්‌වල ඇතිවුණු පානීය ජල ගැටලුව කර්මාන්ත ශාලාවක්‌ නිසා ඇතිවූ බව ප්‍රකාශ වුණා. කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදා හරින අපජලය අනිවාර්යයෙන් පිරිසිදු කිරීමකට ලක්‌කළ යුතු වෙනවා. එය ලොව පුරාම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කළ යුතු නියමයක්‌. මේ කර්මාන්ත ශාලාව එය සිදු නොකළා නම් එය වරදක්‌. රතුපස්‌වල පානීය ජලය අපවිත්‍ර වීමට බලපෑ හැකි තවත් හේතු තිබිය හැකියි. උදාහරණයක්‌ ලෙස නිසියාකාරව වර්ෂාව නොලැබීමෙන් පානීය ජලයේ සංයුතිය වෙනස්‌ වෙන්න පුළුවන්. විසි වසරක පමණ කාලයක්‌ මේ ප්‍රදේශයට ඇද හැළුණු වර්ෂාව පිළිබඳ දත්ත ලබාගෙන බැලුවොත් එහි සැලකිය යුතු අඩුවීමක්‌ දකින්නට පුළුවන්. එයට හේතුව ජල විදුලි ව්‍යාපෘති අපේ රටේ ජල චක්‍රයට විශාල බලපෑමක්‌ සිදු කිරීමයි. වර්ෂාව අඩු වීමත් වාෂ්පීකරණය වැඩිවීමත් නිසා යම් ප්‍රදේශයක පානීය ජලයේ සංයුතියේ වෙනසක්‌ වීමට පුළුවන්. එවැනි සාධකත් අපේ අවධානයට යොමු විය යුතුයි. නමුත් අපේ රටේ එවැනි විමර්ශන සිදු නොවීම අනවශ්‍ය ප්‍රශ්න රැසකට හේතුවක්‌ වී තිබෙනව. අපේ රටේ විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන් සහ ඉංජිනේරුවන් හිඟවීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුවක්‌ වී ඇති බව දැන් අපි හොඳින් දන්නා කාරණයක්‌.

මේවා පිළිබඳ විමර්ශනාත්මකව කරුණු දක්‌වන පුද්ගලයන්ට ශ්‍රීලනිප, එජාප, ජවිපේ හෝ බටහිර ගැති ආදි ලේබල් ගැසීමට ක්‍රියාකරන පිරිසකුත් අපේ රටේ ඉන්නව. ඒ නිසා මෙබඳු සිදුවීම් පිටුපස ඇති සත්‍යය හෙළි කළ හැකි පුද්ගලයන් අද නිහඬවෙලා ඉන්නේ. ඒ නිසා විද්‍යාව වෙනුවට රටපුරා අවිද්‍යාව පැතිර යැමේ ප්‍රවණතාවක්‌ අද ඇතිවෙලා තියෙනව.

අපේ රටේ වකුගඩු රෝගය හේතුවක්‌ නැති රෝගයක තත්ත්වයට පත්වීමටත් මෙය යම්තාක්‌ දුරට බලපා තිබෙනව. මේ වකුගඩු රෝගය අපේ රටේ විතරක්‌ තියෙන රෝගයක්‌ නොවෙයි. අපේ රටේ වෛද්‍යවරු මේ රෝගය පිළිබඳ පුළුල් ව පරීක්‍ෂණ කරනවා. ඒ අයට අපේ රටේ විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන් සහ ඉංජිනේරුවන්ගේ සහයෝගය ලැබිය යුතු බව මගේ විශ්වාසයයි. මේ පළාත්වල ජලයේ ඇති යම් යම් සංඝටක වල හේතුවෙන් මේ රෝගය ඇතිවන බව දැනට පළවී ඇති මතයක්‌. නමුත් දියවැඩියා රෝගීනුත් අවසානයේ වකුගඩු අක්‍රියවීමෙන් මියයන බව අපි දන්නව. මේ සියලු මතවාදයන් සැලකිල්ලට ගෙන අවසාන නිගමනයකට එළඹිය හැක්‌කේ රසායනාගාරයක සිදුකරන සූක්‍ෂම පරීක්‍ෂණ මාලාවකින් පසුවයි. අපේ රටේ විද්‍යාව නිවැරදිව ගලා නොයැම නිසා විද්‍යාව හා තාක්‍ෂණවේදය දියුණු නොවීමත් ඒ නිසාම රටට ප්‍රමාණවත් විද්‍යාඥයන්, තාක්‍ෂණවේදීන් හා ඉංජිනේරුවන් බිහි නොවීමත් එබඳු පර්යේෂණ මාලාවකට අද අපට ඇති ප්‍රධාන බාධාවයි.

අපේ රටේ පංච මහා බලවේගයට අද රණවිරුවොත් එකතු වෙලා සය මහ බලවේගයක්‌ බවට පත් වෙලයි තියෙන්නෙ. අපේ රට දියුණු කරන්න නම් විද්‍යාඥයො, ඉංජිනේරුවො සහ තාක්‌ෂණවේදීනුත් මේ බල වේගයට එකතු වෙලා එය සප්ත මහා බලවේගයක්‌ විදිහට ගොඩනැගෙන්න ඕන.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.