ස්‌ථාන මාරුවීම් ලද විශේෂඥ වෛද්‍යවරු කුඩා රෝහල්වල නිකරුණේ කල් මරති

ඒමන්ති මාරඹේ

වාර්ෂික වෛද්‍ය ස්‌ථාන මාරුවීම් යටතේ ප්‍රාදේශීය රෝහල් බොහොමයක සේවය කරන ශල්‍ය හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් රෝගීන්ට බෙහෙත් නිර්දේශ කිරීම හා බෙහෙත් නිකුත් කිරීමේ කටයුතු සඳහා මධ්‍යම බෙහෙත් ශාලා හා කුඩා රජයේ රෝහල් වෙත මාරුකර යෑවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇතැයි ප්‍රාදේශීය රෝහල් වෛද්‍යවරු පවසති.


විශේෂඥ වෛද්‍ය ක්‍ෂේත්‍රයන්ට කිසිසේත් අදාළ නොවන අංශ සඳහා මාරු කර යවා ඇති එම විශේෂඥ ශල්‍ය හා නිර්වින්දන වෛද්‍යවරුන්ට තම අලුත් සේවා ස්‌ථානවල නිකරුණේ කාලය ගත කිරීමට සිදුව ඇති අතර ඔවුන් පෙර සේවය කළ රෝහල්වල ඔවුන් වෙනුවට ආදේශක ශල්‍ය සහ නිර්වින්දන වෛද්‍යවරුන් පත් නොකිරීම නිසා එම රෝහල්වල දිගු සැත්කම් පෝලිම් හා සායන ප්‍රතිකාර පෝලිම් ඇති වී තිබෙන බව වාර්තා වේ.

දියතලාව, බදුල්ල, අනුරාධපුරය ඇතුළු බොහෝ ප්‍රාදේශීය රෝහල්වල අත්දැකීම් සහිත පළපුරුදු ශල්‍ය හා නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් මෙසේ මධ්‍යම බෙහෙත් ශාලා කුඩා රජයේ රෝහල්වලට මාරුකර යවා තිබේ. මේ ආකාරයෙන් දියතලාව මූලික රෝහලේ වසර 12 ක පමණ පළපුරුද්දක්‌ ඇති ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු ස්‌ථාන මාරුවීම් යටතේ මධ්‍යම බෙහෙත් ශාලාවකට මාරු කර යෑවීම හේතුවෙන් වෙනදා නොතිබූ සැත්කම් පෝලිමක්‌ දැන් දියතලාව රෝහලේ පවතී. සතියකට පැවැත්වෙන ශල්‍ය වෛද්‍ය සායන දෙකෙහිම දැනට පරීක්‍ෂා කරනුයේ රෝගීන් 20 ක්‌ වැනි සුළු සංඛ්‍යාවක්‌ පමණකැයි එම රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම වසරේ මෙසේ මාරුකර යවා ඇති බොහෝ වෛද්‍යවරුන් වෙනුවට ආදේශක වෛද්‍යවරුන් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකිරීම හේතුවෙන් ප්‍රාදේශීය රෝහල් හා රජයේ ප්‍රධාන රෝහල්වල සැත්කම් මෙන්ම සායන ප්‍රතිකාර කටයුතු බොහොමයක්‌ සීමා කිරීමට සිදුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවැසීය.

මෙසේ ආදේශක වෛද්‍යවරයෙකු නොමැතිව බොහෝ රෝහල්වල සේවය කරනු ලබන බාහිර රෝගී අංශ සායන වෛද්‍යවරුන් වෙනත් රෝහල්වලට මාරුකර යෑවීම නිසා වෛද්‍යවරුන් හිඟ වීමෙන් රෝහල් සායන බොහොමයක රෝගීන්ට තම රෝග පරීක්‍ෂාකර ගත නොහැකිවී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.