මහියංගණයට හා ගිරාඳුරුකෝට්‌ටේට වකුගඩු බියක්‌
දැනටමත් 229 දෙනකු මිය ගිහින්

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩරවෙල, රංජිත් කරුණාවීර - මහියංගණය

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ මහියංගණ හා ගිරාඳුරුකෝට්‌ටේ ප්‍රදේශවල පදිංචි ජනතාව විශාල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිටත් මෙම ප්‍රදේශයේ වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 1114 දෙනකු හඳුනාගෙන ඇතත් තවත් හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වූ විශාල පිරිසක්‌ මෙම ප්‍රදේශයේ ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු සැක කරති.

2008 වර්ෂයේ සිට 2012 වර්ෂය දක්‌වා වසර හතර හමාරක්‌ වැනි කෙටි කාලයක්‌ තුළදී වකුගඩු රෝගයට ගොදුරු වී මහියංගණ මූළික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 229 දෙනකු මියගොස්‌ ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.

මෙම ප්‍රදේශයේ දී වකුගඩු රෝගයට ගොදුරු වූ පුද්ගලයන් රැසක්‌ මහනුවර, පේරාදෙණිය හා බදුල්ල මහ රෝහල්වලද ප්‍රතිකාර ලබන අතර එම රෝහල් වලදීද වකුගඩු රෝගීන් මිය යැම නිසා වකුගඩු රෝගයට ගොදුරු වී මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මීට වඩා බෙහෙවින්ම වැඩි බවද සෞඛ්‍ය නිලධාරීහු කියති.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව මේ වනවිටත් ප්‍රදේශවාසීන් ශීඝ්‍ර ලෙස වකුගඩු රෝගයට ගොදුරුවීම නිසා එම පිරිසගේ ජීවිත බේරා ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක්‌ දියත් කරන්න යෑයි ප්‍රදේශවාසීහු මෙන්ම සෞඛ්‍ය අංශද අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.