බාල ඖෂධ සැපයූ ඉන්දියානු සමාගම් හතරක්‌ 'බ්ලැක්‌ ලිස්‌ට්‌'

මුදල් යළි අයකර ගැනීමට නඩු


අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යංශයට දිගින් දිගටම බාල ඖෂධ සැපයූ ඉන්දියානු සමාගම් හතරක මෙරට ක්‍රියාත්මක වීම තහනම් කර එම සමාගම් අසාදු ලේඛනගත (බ්ලැක්‌ ලිස්‌ට්‌) කිරීමට ඊයේ (15 දා) තීරණය කර ඇත. එම ඖෂධ වෙනුවෙන් එකී සමාගම වෙත මේ වන විට ගෙවා ඇති රුපියල් කෝටි ගණනක මුදල් යළි අයකර ගැනීමට සහ අදාළ සමාගම් හතරේ මෙරට නියෝජිතයන්ට එරෙහිව නඩු පැවරීමට ද සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා විලවුන් උපකරණ හා ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාට උපදෙස්‌ දී තිබේ.

මේ අනුව ඉන්දියාවේ විවේක්‌ ෆර්මා, ලැබොරේට්‌ ෆර්මා, බස්‌මා ෆාමසියුටිකල්ස්‌ සහ ඉල්සියම් ෆාමසියුටිකල්ස්‌ යන සමාගම් හතරේ මෙරට ක්‍රියාකාරිත්වය තහනම් කර තිබේ.

මෙම සමාගම් හතර පසුගිය වසර තුන ඇතුළත බාල ඖෂධ වර්ග 122 ක්‌ මෙරටට ලබාදී ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා "දිවයින"ට පැවසුවේය.

තත්ත්වයෙන් බාල ඖෂධ සැපයීම නතර කරන ලෙසට එම සමාගම්වලට විවිධ අවස්‌ථාවලදී දැනුම් දුන්නද එකී නියෝග නොතකමින් දිගින් දිගටම බාල ඖෂධ සැපයීම සිදුකර ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අදාළ ඖෂධ වර්ග 122 බංගලාදේශ රජයේ සමාගම්වලින් මිලදී ගැනීමට තීරණය කළ බවද මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.