'දියර කිරි ප්‍රවර්ධනයට තාමත් සැලසුමක්‌ නෑ'

ඒමන්ති මාරඹේ

කිරි පිටි පසු පස යනවා හැරෙන්නට රටේ දියර කිරි භාවිතය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය මෙතෙක්‌ පියවර ගෙන නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය.

දියර කිරි භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට අදාළ යෝජනා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත තම සංගමය විසින් ඉදිරිපත් කර තිබියදීත් ඒ පිළිබඳ නිසි අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌ බව වෛද්‍ය ආරියරත්න මහතා කීවේය.

ජනතාවගේ පෝෂණය නංවාලීමේ නිසි අරමුණක්‌ ඇත්නම් සෞඛ්‍ය අමාත්‍යංශය දැන් කළ යුතුව ඇත්තේ කිරි පිටි භාවිතය අවම කර දියර කිරි ජනතාව අතරට ගෙන යැමේ වැඩපිළිවෙළක්‌ දියත් කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

මෙරටට ආනයනය කෙරෙන කිරි පිටි වර්ගවල ඩී. සී. ඩී. කෘෂි රසායනිකය ඇත්දැයි සිදු කෙරෙන පරීක්‍ෂණ කටයුතු පවා නිසියාකාරව සිදු වන්නේ දැයි සැකයක්‌ පැවැතීම නිසා ජනතාවද දියර කිරි භාවිතයට හුරු විය යුතු කාලය එළඹ ඇතැයි වෛද්‍ය ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.