ඩෙංගු කම්පන රෝගීන් හඳුනා ගැනීමට
රෝහල්වලට විශේෂ ස්‌කෑනර් යන්ත්‍ර


ඩෙංගු රෝගයට ගොදුරුවන පුද්ගලයන් මරණයට පත්වීමට හා ඔවුන් දැඩි සංකූලතාවලට ලක්‌වීමට ප්‍රධාන හේතූන් දෙකක්‌ වන්නේ ඩෙංගු කම්පන තත්ත්වයට හා ඩෙංගු රක්‌තපාතික තත්ත්වයට පත්වීමයි.

රෝගීන් එම මාරාන්තික තත්ත්වයන්ට පත්වීමට කලින් එම සංකූලතාවන් හඳුනා ගැනීමේ නව තාක්‌ෂණික ක්‍රමවේදය වශයෙන් භාවිතා කරන්නේ අදාළ රෝගීන් අල්ට්‍රා සවුන්ඩ් පරීක්‍ෂණයන්ට ලක්‌ කිරීමයි. මේ නිසා සියලුම ශික්‌ෂණ රෝහල්වලට අල්ට්‍රා සවුන්ඩ් ස්‌කෑනර් ලබා දීමට පියවර ගන්නා ලෙස කායික හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක්‌ කර තිබිණි.

ඒ අනුව රුපියල් මිලියන 20 ක වියදමින් එම යන්ත්‍ර 10 ක්‌ ඊයේ (16 දා) ශික්‌ෂණ රෝහල් 10 කට බෙදා දෙන ලදී. මෙම යන්ත්‍ර සියල්ලම ඩෙංගු රෝගී අධි සත්කාරක ඒකකවල සවි කෙරෙන අතර ඩෙංගු රෝගී සත්කාරක සේවා සඳහා ම පමණක්‌ යොදා ගැනීමට නියමිතය. දැනට රෝහල් 100 ක ඩෙංගු අධි සත්කාරක ඒකක ස්‌ථාපිත කර තිබෙන අතර අදාළ රෝහල් සියල්ලටම මෙම යන්ත්‍ර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.