ළමා සාහිත්‍යකරණයේදී
ළමයින්ට ගැළපෙන අනුභූතීන් තෝරාගත යුතුයි
උපාලි ද සේරම්

සංවාදය - සුගත් වීරසූරිය

උපාලි ද සේරම් ගේ නවතම ළමා කෘතිය 'රතුවැස්‌ස්‌ පසුගියදා එළිදැක්‌විණි. මේ සංවාදය ඔහුගේ එම නවතම කෘතිය පිළිබඳවය.

ළමා සාහිත්‍යය යනුවෙන් ඔබ අදහස්‌ කරන්නේ කවර වූ නිර්මාණ ප්‍රතිභාවක්‌ද?

ළමා සාහිත්‍යය පිළිබඳව නොයෙකුත් විචාරකයන් විවිධ ආකාර වූ පරිකල්පන ඉදිරිපත් කර තිබෙනවා. මේ සියලු මතවාද කැටිකොට ගත් විට සාහිත්‍ය යනු රසවත්වූත්. භාව පූර්ණවූත්, වැකි සමුදාවලියක්‌ ලෙස හැඳින්විය හැකියි. සැබැවින්ම මේ රසවත්වූත්, භාව පූර්ණවූත්, චමත්කාරජනකවූත් නිදහස්‌ චින්තන ලෝකයට අර්ථසාර භාවයත් නොමදින්ම ඇතුළත්වීම අවශ්‍යයි. එම අර්ථවත් බව පළමුවෙන් ළමයාට ජීවිතය හා ලෝකය අවබෝධ කරදෙන සරල හා සුගම භාෂා රටාවක්‌ ඔස්‌සේ සුන්දරත්වය මතින් විකාශනය වන්නක්‌ විය යුතුයි. ඉන් ඉක්‌බිතිව ඒ විකාශනය කතාවක්‌ නිර්මාණය කිරීම, විග්‍රහ කිරීම, විශ්ලේෂණය, විමර්ශනය, ගවේශනය, ගැටලු නිරාකරණය, සන්නිවේදනය, සංස්‌කරණය, චින්තන ප්‍රබෝධය ආදී ළමයා සතු කුදුමහත් මිනිස්‌ ශක්‍යතා සියල්ලම පාහේ ක්‍රම ක්‍රමයෙන් අවදි කරවන්නක්‌ විය යුතුයි.

මේ සියල්ලම එක්‌කොට ගත් විට ළමා සාහිත්‍යය යනුවෙන් හැඳින්විය හැක්‌කේ කෘතහස්‌තවූත්, ළමා මනස අවබෝධ කර ගත්තා වූත් ළමා සාහිත්‍යය සංරචනාකාරයකුගේ 'සුභග භාවයේ දර්ශකයක්‌'. එය ළමා මට්‌ටමට ගැළපෙන අනුභූති ආශ්‍රිත සංකල්ප රූපයන්ගේ ආකරයක්‌. උදාහරණයක්‌ ලෙස අපේ රටේ මහා ළමා සාහිත්‍යකරුවා වන කුමාරතුංග මුණිදාසයන්ගේ ළමා සාහිත නිර්මාණ කිහිපයක්‌ ගෙන බලමු.

ගොඩ ඉතා අර සොඬයි

ලොකු සතා නාස යයි

බල වතා අතද වෙයි

දළ ඇතා පුදුමය යි

මෙහි දක්‌නට ලැබෙන්නේ ළමයින්ගේ හද මනසට අවිෂය වූ, අගෝචර වූ නිර්මාණ අනුභූතියක්‌ නොවෙයි. ළමා ලෝකය කියන්නේ විශේෂයෙන් ගම්බද (හෝ නාගරික) පරිසරය ආශ්‍රිත සප්‍රාණික, අප්‍රාණික වස්‌තූන්ගේ ලෝකයක්‌. වැස්‌ස, සුළඟ, ගහ-කොළ, මල්, සතා සිව්පාවුන්, වෙල් ඉපනැලි, පාසල, ඇළ, දොළ ආදිය මීට නිදසුන් කිහිපයක්‌. හුදෙක්‌ම මේවා පණ ගන්වා සාහිත්‍ය කල්පනා අකුරු, වචන වැකිවලට පෙරළන විට එක්‌ අතකින් එමගින් ළමයින්ගේ මානසික අවශ්‍යතාවන් සපිරෙනවා. අනෙක්‌ පසින් ඒ ඔස්‌සේ ළමා මනසේ කුතුහලය ඇවිලී එහි නිර්මාණයේ බීජයන්ද රෝපණය වෙන්න පටන් ගන්නවා. මෙහි ළමයින්ගේ සිතීම (හොඳ) වර්ධනය වීමටත්, එමගින් බුද්ධිය වර්ධනය වීමටත් හේතු වෙනවා. ළමයින් බොළඳ, පහත් ලෝකය පසුපස නොදුවා පෘථුල ජීවන ධාරිතාවකින් ලෝකයත්, ජීවිතයත් බලන්නේ එවිටයි.

ළමා සාහිත්‍යකරුවකුගේ භාෂා පෝෂණය මේ සියලු අංග ප්‍රත්‍යංග සාධනයෙහිලා මෙන්ම විශේෂයෙන් ළමා මනසෙහි රසඥතා වර්ධනය විෂයයෙහිත් සකස්‌ විය යුත්තේ කෙසේද?

සැකෙවින්ම පවසන්නේ නම් ළමා මනස ආශ්‍රිත රසඥතාව කියන්නේ ඒවායෙහි හට ගන්නා වචනයත්, චිත්ත රූපයත් සම්බන්ධ කරන චමත්කාරජනක පරිකල්පිතයටයි. එය වඩ වඩාත් ප්‍රබෝධමත් වීම, පෝෂණය වීම මේ රසඥතා වර්ධනය යනුවෙන් දැක්‌විය හැකියි. මේ සඳහා ළමා සාහිත්‍යයික භාෂාව සකස්‌ වෙන්න අවශ්‍ය ක්‍රමවේදයක්‌ නැත්නම් ආකාරයක්‌ තිබෙනවා. එනම් ළමයින් කතාකරන, ළමයින් රුචි කරන, ළමයින් භාවිත කරන වාග් මාලාවක්‌ ළමා සාහිත්‍යය කෘතියකට ඇතුළත් කළ යුතුවෙනවා.

එසේම ළමා සාහිත්‍යකරුවා භාෂාවේ විවිධ සංකීර්ණ හා ස්‌වරූප ළමයාට හඳුන්වා දෙන්නත් ඕනෑ. මේකෙන් වෙන්නේ භාව හා අත්දැකීම් ළමයින්ගේ විඥනයට ඇතුළත් වීමයි. අනාගත අත්දැකීම් කල්පනයකර ගැනීමට ළමයාට මෙයින් පිටුබලයක්‌ ලැබෙන අතර මෙයින්ම ඔවුන් තුළ වන ආත්මාර්ථයද දුරුවෙනවා. අනෙත් අතින් ළමයින්ගේ අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කර ගැනීමට හැකි වන ආකාරයේ සරල භාෂාවක්‌ද ළමා සාහිත්‍යකරුවා භාවිත කළ යුතුයි. මේ සඳහා ද හොඳම උදාහරණය ලෙස කුමාරතුඟු මුණිදසුන්ගේ 'හත්පණ', 'මඟුල්කෑම' හා 'හීන්සැරය' වැනි ළමා පොත් දැක්‌විය හැකියි. ජීවමාන චරිත නිරූපණය, හාස්‍යය, උපහාසය, සමාජ හා ජීවන අර්ථ තාර්කික විමර්ශනය හා කුතුහලයෙන් යුතු ගවේෂණය ආදී ළමා සාහිත්‍යමය සාහිත්‍යාංගයක භාෂාව ආශ්‍රිත සංකලන රාශියක්‌ මෙහි දක්‌නට ලැබෙනවා. එමෙන්ම ශ්‍රවණ, විභේදනය, අනුප්‍රාසය, රිද්මය ආදී වෙසෙස්‌ ලකුණුද මේ භාෂාවේ ඇතුළත් වෙනවා.

මේ හා සමගාමීව බලන විට 'රතුවැස්‌ස්‌ තුළින් ළමා සාහිත්‍යයේ ප්‍රගමනය සඳහා ඔබ සිදුකරන බලපෑම කවරාකාර වූවක්‌ ද?

කිසියම් ළමා සාහිත්‍යාංගයක්‌ බිහිකළ යුත්තේ ළමයින් සමගම කටයුතු කිරීමෙන් පසුව යන්න මා මෙතුළින් දෘශ්‍ය කර තිබෙනවා. එයට හේතුව තමයි, ළමා නිර්මාණයක්‌ ළමයින් එකවර වැළඳ ගන්නේ ඔවුන්ගේ මනසට ගෝචර වෙනවා නම් විතරයි. එසේ නොවන කල ළමයින්ගේ හිත්වලට කි¹ බසින්නේ වැඩිහිටියන්ගේ අත්දැකීම්. අකාල විපරීත බුද්ධියෙන් ළමයින් විනාශ වෙන්න මෙය ප්‍රබල වශයෙන් බලපානවා. අද මොහොතක්‌ ළමයින් දෙස හැරී බලන්න. බොහෝ විට ඔවුන්ගේ වීරයන් බවට පත්වී තිබෙන්නේ බටහිර දේවල්. වැඩිදුරටත් කියනවා නම් නුපුරුදු පරිසරයක නුපුරුදු තාක්‌ෂණයක අද ළමා මනස අතරමංවී තිබෙන බව පැවැසිය හැකියි. විශේෂයෙන් 'රතුවැස්‌ස්‌ ළමා විද්‍යාත්මක ප්‍රබන්ධයකටත් නෑකම් කියනවා. ඒ තුළ කතාකර තිබෙන්නේ ලංකාවේ සිදුවූ දෑ පිළිබඳවයි. වැහි, ගංගා, ඇළ-දොළ, ශ්‍රී පාදය එවැනි දේට නිදසුන් කිහිපයක්‌. ළමයාට ගැළපෙන ඔහුගේ රස භාව පෝෂණය නොකරන ආකාරයෙන් යම් ආඛ්‍යානයක්‌ ළමා සාහිත්‍යයේ නාමයෙන් බිහිවූ විට සිදු වන්නේ කුමක්‌ද? ළමයින්ගේ චින්තන පථය දූෂණය වන එකයි.

ඒ වගේම 'රතුවැස්‌ස්‌ තුළින් ළමා සාහිත්‍ය විෂයයෙහි සිදු කර තිබෙන අනෙක්‌ මග පෙන්වීම තමයි අපේ සංස්‌කෘතියට අදාළව ප්‍රබන්ධකරණයෙහි නියෑළිය යුතුය යන්න. කවියක, කතාවක, චිත්‍රයක හෝ නැත්නම් සිනමා පටයක අන්තර්ගතය විය යුත්තේ අපේ රටේ, සමාජය, ජීවිතය, සංස්‌කෘතිය යනාදියට සමාන්තරවයි. ළමා සාහිත්‍යකරුවා ස්‌වකීය වූ නිර්මිතයෙන් විශදකොට පෙන්වන්නාවූ යථාර්ථය ළමයකුගේ මනසකට දැනෙන්න පටන්ගන්නේ එවිටයි. එවිටම ළමයා තුළ ඉවසීම, දයාව, කරුණාව, ආදරය හා සංවේදත්වය ආදී විශිෂ්ටතම මානසික භාවයන්ද රෝපණය වෙනවා. මෙබඳු ජීවන චරිත පෙරළියකට මගහසර විවරකර දෙන ළමා සාහිත්‍ය නිර්මිතයන් ඉතා ප්‍රචලිතව තිබී තවත් කාලයකදී අභාවයට යන්නේ නැහැ. එනම් ඒවා එක දශකයකින් තවත් දශකයකට ආදී ලෙස ඉතා දීර්ඝ කාලයක්‌ ළමා පරපුරෙන් ළමා පරපුරට දායක වෙනවා. රතුවැස්‌ස තුළින් ළමා සාහිත්‍යකරණය යොමුවිය යුතු අංශ කිහිපයක්‌ම මා මෙසේ ගෙනහැර දක්‌වා තිබෙනවා.

ළමා සාහිත්‍ය නිර්මාණයක චමත්කාරජනක අනුභූතිය හා ළමයාගේ සිතීමත් අතර ඇති අෙන්‍යාන්‍ය සම්බන්ධතාව කුමක්‌ද?

සැමවිටම අනුභූතියක්‌ තෝරාගන්නා විට ළමයා රුචි කරන අනුභුතියක්‌ම නිර්මාණයෙහිලා තෝරා ගතයුතුයි. මෙය කියවන ළමයා ඉන් ඉක්‌බිතිව ඒ ගැන නොයෙක්‌ දේ හිතන්න පටන් ගන්නවා. බුද්ධිය පමණක්‌ නොවෙයි. ළමයාගේ නිර්මාණශීලී පරිපල්පනාවේද නිම්වළලු පුළුල් වන්නට පටන් ගන්නේ ඒ සිතුවිලිවල ගලා යැමට බාධා හරස්‌ නොවුණහොත් පමණයි. මෙසේ වන්නේ ළමයා රුචිකරන තේමාවක්‌ ළමා නිර්මාණයකට තෝරාගත්තොත් පමණයි.

මෙම සංකථනයේදී ළමයින්ට ලියෑවෙන සාහිත්‍ය රචනාවක්‌ යන්න සම්බන්ධයෙන් අවසාන වශයෙන් ඔබ ගම්‍යමාන කරන සමස්‌ථාර්ථය කෙබන්දක්‌ද?

අවසාන වශයෙන් කියනවා නම් ළමයින්ට ලියන උසස්‌ ප්‍රබන්ධයක්‌ යනු හුදු සරළ සැහැල්ලු හාස්‌යෝත්පාදක රචනා විලාසයක්‌ නොවන බව අප කවරකු වුවද වටහාගත යුතුයි. මෙය තවදුරටත් පැහැදිලි කළහොත් ළමා සාහිත්‍යය නිර්මාණකරුවා දරුවන් තුළ යහපත් ආකල්ප හා බැඳුණු නොයෙක්‌ කුසලතා වර්ධනය කරවන මහා අධ්‍යාපනඥයකුගේ ස්‌වරූපයක්‌ දැරිය යුතු වෙනවා

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.