ස්‌ථාන මාරුවීම් යවා ඇති වෛද්‍යවරුන්ට
මාරුවීම් නොදෙන අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විනය පියවර


ඒමන්ති මාරඹේ

මෙම වසර (2013) සඳහා ස්‌ථාන මාරුවීම් ලැබ සිටින රජයේ රෝහල් වෛද්‍යවරුන් 3179 දෙනාහට ලබන සඳුදා (23 දා) වන විට එම මාරුවීම් ලබාදීමට ක්‍රියා නොකරන රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කර තිබේ.

මෙම වසරේ වාර්ෂික වෛද්‍ය ස්‌ථාන මාරුවීම් ලැයිස්‌තුවට අනුව වෛද්‍යවරුන්ගේ ස්‌ථාන මාරුවීම් නියමිත පරිදි සිදුකිරීම පෙරේදා (18 දා) සිට ලබන 23 දා (සඳුදා) දක්‌වා වන සතිය තුළදී සිදු කර අවසන් කළ යුතු බවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නියම කර තිබේ.

එම සතිය තුළදී ස්‌ථාන මාරුවීම් ලබන වෛද්‍යවරුන් වෙනුවට ආදේශක වෛද්‍යවරුන් රෝහල්වලට ලබාගෙන රෝගී සත්කාර කටයුතු බිඳ නොවැටෙන අයුරින් එම මාරුවීම් ක්‍රියාත්මක කිරීම රෝහල් පරිපාලකයන්ගේ වගකීම බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.

වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක්‌ සිටින ඇතැම් රෝහල් ඒකකවල ස්‌ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීම එම රෝහල් බලධාරීන් විසින් හිතාමතා ම ප්‍රමාද කරන බවත්, මෙම තත්ත්වය මත එම රෝහල් ඒකකවලට මාරු වී පැමිණීමට සිටින වෛද්‍යවරුන්ට ද බලවත් අසාධාරණයක්‌ සිදුවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවැසීය.

ඇතැම් පළාත් රෝහල්වල නිර්වින්දන හා ශල්‍ය යන ක්‍ෂේත්‍රයන්ට අයත් ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරු මධ්‍යම බෙහෙත් ශාලා හා රජයේ රෝහල් ආයතනවලට මාරුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර එවැනි බොහෝ මාරුවීම් ලබා දී ඇත්තේ එම වෛද්‍යවරුන් විසින් ඉල්ලා සිටි ආකාරයට බව හෙතෙම සඳහන් කළේය.

රජයේ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්‌ථාන මාරුවීම් කාර්යක්‍ෂමව ඉටුකරලීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු නොකිරීමත් ස්‌ථාන මාරුවීම් ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රෝහල් ප්‍රධානීන් විසින් දක්‌වන ඇල්මැරුනු ප්‍රතිපත්තියත් හේතුවෙන් දිවයින පුරා රෝහල්වල වෛද්‍යවරුන් දැඩි අපහසුතාවකට ලක්‌ව සිටින බව වෛද්‍ය සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.