කොළඹ නාඩාර්ලාගේ පරණ යකඩ වලට විකිණී
අවසන් ගමන් යන ෆාරා

ජෝර්දානයේ 'ෆාරා - 3' නැව ඉන්දියන් සාගරය ඔස්‌සේ ගමන් කළේ කෝරා වර්ගයේ සහල් තොගයක්‌ දකුණු අප්‍රිකාව දක්‌වා රැගෙන යැමටය. ඉන්දියාවේ ආනද්‍රා ප්‍රදේශයේ සිට ගමන් කරන ලද මේ නැව ඈත මුහුදේදී 2006 දෙසැම්බර් 27 වෙනිදා යාන්ත්‍රික දෝෂයකට ලක්‌වී මහමුහුද මැද නතර විණි. නැවේ කපිතාන්වරයා වූ කැබ්රිස්‌ පැන්ක්‌ස්‌ එතැන් සිට ආධාර ඉල්ලමින් නාවික මධ්‍යස්‌ථාන වෙත පණිවුඩ යෑවීය. එහෙත් ආධාරක කණ්‌ඩායම් එදා "µරා - 3" නැව බේරා ගැනීමට නොපැමිණියේ නැව අනතුරට ලක්‌වූ ප්‍රදේශය මුලතිව් ප්‍රදේශයට තරමක්‌ ළඟ ප්‍රදේශයක්‌ වූ නිසා විය හැකිය.

එහෙත් 2006 දෙසැම්බර් විසිනව වෙනිදා දහවල් හදිසියේම ඩෝරා බෝට්‌ටුවකින් පැමිණි පිරිසක්‌ මේ "ෆාරා - 3" නැව ආක්‍රමණය කළේය. හදිසියේ පැමිණි පිරිස. එල්. ටී. ටී. ඊ.යේ මුහුදු කොටි බළකායේ සාමාජිකයන් වුවත් ඔවුන් එක්‌වරම නැව වෙත කඩා නොපැන්නේ නැව හරිහැටි හඳුනා ගන්නා තුරුය. අවසානයේදී මුහුදු කොටි සාමාජිකයෝ ආයුධ සන්නද්ධව "ෆාරා - 3" නැව තුළට කඩා වැදුණහ.

"ෆාරා - 3" නැවේ සිටි පිරිසෙන් යාන්තමට ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව තිබුණේ කපිතාන්වරයාට පමණි. එහෙත් ඔහුගේ ඉංග්‍රීසි භාෂාවේ උච්චාරණය නැව තුළට කඩා වැදුණු මුහුදු කොටි සාමාජිකයන්ට නොතේරිණි. කෝපයට පත් මුහුදු කොටි සාමාජිකයෝ නැවේ කාර්ය මණ්‌ඩලයට අවි ආයුධ එල්ල කොට යටත් වෙන ලෙස ඉල්ලමින් මොර දුන්හ.

ජෝර්දාන් පිරිස අත් ඔසවා ගෙන ඔවුන්ගේ භාෂාවෙන් "කම්මෝ බච්චෝa කච්චෝ" යනුවෙන් කෑකෝ ගැසුවේ ඔවුනට වෙඩි නොතබන ලෙස වුවත් එල්. ටී. ටී. ඊ. මුහුදු කොටි සාමාජිකයන් ට කිසිවක්‌ නොතේරිණි.

අවසානයේදී තමන් මුහුණ පා සිටින තත්ත්වය මුහුදු කොටි සාමාජිකයෝ සිය නායකත්වයට දැනුම් දුන්හ. එදා මුහුදු කොටි නායකයා වූ සුසෙයිගේ විධානය වූයේ නැවට ආරක්‍ෂාව යොදා නාවිකයන් පිරිස මුලතිව් ප්‍රදේශයට රැගෙන එන ලෙසය. සුසෙයිගේ ගෝලබාලයෝ එය එලෙසම ඉටු කළද මුලතිව් එල්. ටී. ටී, ඊ. දේශපාලන කාර්යාලයේ පිරිසද ජෝර්දාන් භාෂාව හමුවේ අසරණ විණි. මේ තත්ත්වය නිසා නැවේ සිටි කාර්ය මණ්‌ඩලය වූ දාහත් දෙනාම කිළිනොච්චිය එල්. ටී. ටී ඊ. මූලස්‌ථානය වෙත රැගෙන යැමට මුහුදු කොටි නායක සුසෙයිට එදා සිදුවිණි.

කිළිනොච්චියේ අන්තර් ජාතික සංවිධානයක සේවය කළ ජෝර්දාන් ජාතික තරුණියක්‌ කිළිනොච්චියට රැගෙන ආ එල්. ටී. ටී. ඊ යේ එදා දේශපාලන අංශයේ නායක එස්‌. තමිල් සෙල්වන් ඇය ලවා මේ නාවිකයන්ගෙන් තොරතුරු විමසාලීය.

දකුණු අප්‍රිsකාවට සහල් තොගයක්‌ රැගෙන යමින් සිටියදී නැවේ යාන්ත්‍රික දෝෂයක්‌ ඇතිවූ බවත් නැව පුරවා ඇත්තේ සහල්වලින් පමණක්‌ බවත් මෙහිදී අනාවරණය වීමෙන් පසුව නැවේ කාර්ය මණ්‌ඩලයට නිදහස ලැබිණි. ඔවුන්ව එදා නිදහස්‌ කොට කිළිනොච්චියට බාරදෙනු ලැබුවේ අන්තර් ජාතික රතුකුරුස කමිටුවේ නිලධාරීන්ටය. ඒ වන විට ඔවුන් අත්අඩංගුවට පත්වී දින හතරක්‌ ගතවී තිබිණි. වවුනියාව හරහා කොළඹට රැගෙන ගිය මේ පිරිස එහිදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී මනා ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කිරීම නිසා ඔවුන් මුහුදු කොටි සාමාජිකයෝ ඉදිරියේ කළ රඟපෑම කුමක්‌දැයි හෙළිවිණි.

"ෆාරා - 3" නැවේ කාර්ය මණ්‌ඩලයට නිදහස ලැබුණත් එල්. ටී. ටී. ඊ.ය නැව නිදහස්‌ නොකළේය. දින ගණනාවක්‌ වෙහෙස දරා "ෆාරා - 3" නැව ඇදගෙන විත් මුලතිව් කරයමුල්ලිවයික්‌කාල් මුහුදු තීරයේ වෙරළ ආසන්නයේ නතර කිරීමට මුහුදු කොටි සාමාජිකයෝ සමත් වූහ. ඊට පසු දින සිට "ෆාරා - 3" නෞකාවේ තිබූ මෙටි්‍රක්‌ ටොන් ලක්‍ෂ ගණනක්‌ වූ කෝරා වර්ගයේ සුපිරි සහල් තොගය එල්. ටී. ටී. ඊ. ය විසින් ඔවුන්ගේ ආහාර ගබඩා වෙත ප්‍රවාහනය කරන ලදී.

සහල් තොගය අවසන්වීමෙන් පසුව එල්. ටී. ටී. ඊ. ය මෙම නැව භාවිතයට ගනු ලැබුවේ කාරණා දෙකක්‌ වෙනුවෙනි. මුහුදු කොටි සාමාජිකයන්ට පුහුණුව ලබාදීම ඉන් පළමු වැන්නයි. දෙවැන්න වූයේ මෙම නැව තුළ අවි ආයුධ තබාගෙන නාවික හමුදාවේ යාත්‍රාවලට පහරදීමයි.

"ෆාරා - 3" නැවේ අපට ඇති ඓතිහාසික සිදුවීම වන්නේ අවසන් යුද්ධයට දකුණෙන් හා උතුරෙන් යුදබිමට ගිය 58 වෙනි හා 59 වෙනි සේනාංක එකට එකතු වූයේ මෙම "ෆාරා - 3" නැව අසලින්වීමයි. මෙහිදී දකුණෙන් යනුවෙන් අදහස්‌ කළේ උතුරු ප්‍රදේශයට දකුණෙන් වූ කොටසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශවලට මෙම "ෆාරා - 3" නෞකාව අත්පත් කර ගැනීමට හැකි වූයේ 2009 මැයි මස 14 වැනිදාය.

1981 දී ජෝර්දානයේ නිෂ්පාදනය කරන ලද "ෆාරා - 3" නෞකාවේ ඉතිහාසය "ටයිටැනික්‌" නෞකාවේ ඉතිහාසය මෙන් ආදරයට සම්බන්ධ නැතත් ටයිටැනික්‌ නැවට සිදුවූ කතා පුවත අසා අදටත් ලෝකයේ දුක්‌වන විශාල පිරිසක්‌ සිටිති. එමෙන්ම "ෆාරා - 3" නෞකාවේ වර්තමාන කතාව "ටයිටැනික්‌" නැවේ අසුන්දර කතාවටත් වඩා අසුන්දරය.

යුද්ධය හමාර වී දකුණේ ව්‍යාපාරිකයන්ට මුලතිව් ප්‍රදේශය යැමට හැකියාව ලැබීමත් සමගම විවිධ ව්‍යාපාර කටයුතු එම පළාත්වලින් ආරම්භ විණි. ඇතමුන් හෝටල් ඉදිකරද්දී තවත් පිරිසක්‌ ආරම්භ කළේ වෙළෙඳසැල්ය. මේ ආදී වශයෙන් නානාවිධ කර්මාන්ත අතර සුන්බුන් වූ යකඩ එකතු කොට විකිණීම හොඳ ආදායමක්‌ ලැබෙන කර්මාන්තයක්‌ බවට පත්විණි.

අද වන විට උතුරු ප්‍රදේශයේම යකඩ එකතු කොට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් බලපත්‍ර ලබාගෙන සිටින පිරිස තුන්දෙනෙකි. ඔවුන් අතර ඇතිවූ විවිධ ගැටුම්වල ප්‍රතිඵලයක්‌ වශයෙන් මේ වන විට යකඩ එකතු කොට කොළඹට පැටවීම සිදු කරන්නේ එක්‌ ව්‍යාපාරිකයකු විසිනි. ඔහු යටතේ විශාල පිරිසක්‌ දැන් උතුරේ පරණ යකඩ එකතු කොට විකිණීමේ ජාවාරමේ නිරතව සිටිති.

උතුරේදී යකඩ එකතු කරන අයෙකුට එම ස්‌ථානයේදීම කිලෝවකට ලැබෙන මුදල රුපියල් 30 කි. තැනින් තැන එකතු කරන මේ යකඩ ගොඩවල් එක්‌ තැනකට රැගෙන ගොස්‌ කොළඹ ව්‍යාපාරිකයාට විකුණන පිරිසට කිලෝවකට රුපියල් 40 ක්‌ ලැබෙයි. මුල් කාලයේදී යුද ටැංකි කොටස්‌ තුවක්‌කු කොටස්‌ පවා පරණ යකඩ වශයෙන් කොළඹ ගියේය. එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය ගලවා එල්. ටී. ටී. ඊ. ය තැනූ බංකර්වල රේල් පීලිද පරණ යකඩ ගොඩේ කොළඹට නාඩාර් කඩේට ගියේය. එහෙත් වර්තමානයේදී සකසා ඇති නීති රීති වලට අනුව රේල් පීලි හා යුදමය ද්‍රව්‍ය පරණ යකඩ වශයෙන් ප්‍රවාහනය කළ නොහැක. ඒවා ඕමන්තේදී පරීක්‍ෂා කරන බැවින් ව්‍යාපාරිකයෝ රේල් පීලි හා යුදමය ද්‍රව්‍ය යකඩ වශයෙන් භාර නොගනිති. එහෙත් නැව් කොටස්‌ හා බෝට්‌ටු කොටස්‌ තවමත් පරණ යකඩමය. මේ නිසා දැන් 'ෆාරා - 3' නැවද අලෙවි වන්නේ පරණ යකඩවලටය. කපන කටු, මිටි, කුළුගෙඩි ආධාරයෙන් 'ෆාරා - 3' නැවේ කොටස්‌ යකඩ බවට පරිවර්තනය වෙද්දී දැන් එම නැව අපට දිස්‌වන්නේ මාළුවකුගේ මස්‌ කොටස්‌ අනුභව කිරීමෙන් පසු ඉතිරි වන ඇටසැකිලි කොටස මෙන් නැවේ සැකිල්ල පමණකි. ඒ සැකිල්ලද යකඩය. මේ නිසා ඉදිරි කාලයේදී අපට 'ෆාරා - 3' නැව මේ ස්‌ථානයේදී දැකීමට නොහැකි වන අන්දමට යකඩ බිස්‌නස්‌ එක ජයටම යන්නේය. මේ නිසා 'ෆාරා - 3' නැවේ කතාව ඉතාමත් අසුන්දර තත්ත්වයකට පත්ව තිබේ. එදා මුහුදුබත් වූ දේ විනාශ වී ගියේ එක්‌කෝ වැලිතලාවලට හසුවීමෙනි. එසේ නොමැති නම් මුහුදු ජලයට යටවීමෙනි. නමුත් 'ෆාරා - 3' නෞකාව අද වාෂ්ප වෙමින් පවතින්නේ රුපියල් ශත අර්බුද මධ්‍යයේය.

උතුරු ප්‍රදේශයට එන දේශීය හා විදේශීය සංචාරකයන්ට 'ෆාරා - 3' නැව දැක බලා සතුටු වීමට අවස්‌ථාවක්‌ ආරක්‍ෂක අංශ විසින් සපයා දී තිබේ. අවසන් යුද ජයග්‍රහණය සනිටුහන් වූයේද මේ ස්‌ථානයේදී බැවින් 'ෆාරා - 3' නැව මතකයේ සංකේතයකි. එහෙත් ඒ මතකය දර්ශනයක්‌ වශයෙන් අප ඉදිරියෙන් මැකී යන දවස වැඩි ඈතක නොවේ.

අපේ රටේ ව්‍යාපාරිකයෝ මඳ අවසරයක්‌ ලැබේ නම් සීගිරි පව්ව කළුගල්වලට විකිණීමටත්, රුවන්වැලිසැය ගලවා ගඩොල්වලට විකිණීමටත් නොපසුබට වෙති. එවැනි තත්ත්වයක්‌ මැද 'ෆාරා - 3' නැව ගැන කුමන කතාද? එහෙත් දැනට ඉතිරි වී තිබෙන නැවේ කොටස්‌ කීපය හෝ මතු පරපුරේ දැක්‌ම වෙනුවෙන් ඉතිරි කළ යුතු යෑයි යන්න අපේ විශ්වාසයයි.

'ෆාරා - 3' නැවේ ඉතිහාස කතාව මෙබඳු වූවා සේම එම නැවේ තිබූ සහල් තොගය පිළිබඳ කතාවද උතුරේ සංස්‌කෘතිය ගැන කරුණු කීමට මනා උදාහරණයකි.

එල්. ටී. ටී. ඊ.ය විසින් ගොඩ ගසන ලද අති විශාල කෝරා සහල් ප්‍රමාණය විකිණීම සඳහා වෙළෙඳ සල්වලට ලබා දුන්නේය. ඒ 20% ක කොමිස්‌ මුදලකටය. සෙසු සහල් වෙළෙඳපොළේ රුපියල් 60 ක්‌ව තිබියදී කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල වෙළෙඳසල්වල සුපිරි කෝරා කිලෝවක්‌ අලෙවි වූයේ රුපියල් 40 කටය. එහෙත් මේ සහල් ජනතාව අතර ජනප්‍රිය නොවීය.

උතුරේ වැසියන්ගේ සංස්‌කෘතිය අනුව ඔවුන් පුරුදු වී සිටින්නේ නිවුඩු සහිත සහල් පරිභෝජනයටය. එම සහල්වලින් ද රතු සහල්වලට මිස සුදු සහල්වලට උතු=රේ ජනයාගෙන් ඉල්ලුමක්‌ නැත. මේ නිසා කෝරා සහල් සුපිරි වුවත් උතුරේ වැසියන් ඊට කැමැත්තක්‌ නොදැක්‌වූ නිසා සහල් අලෙවි නොවිණි. කෝරා සහල් පිසීමේදී නියමිත උෂ්ණත්වයට පිස ගැනීමට නොහැකි වූ විට ලැබෙන්නේ කිරිබතකි. යුද ගැටුම් මැද උතුරේ වැසියනට දර ළිප මිස වෙනත් උදුනක්‌ නොවීය. මේ නිසා පිසින ලද කෝරා සහල්වලින් ඔවුනට නියම බතක්‌ කෑමට අවස්‌ථාවක්‌ නොලැබිණි. මේ නිසා හාල් කිලෝවක මිල රුපියල් 20 ක්‌ දක්‌වා පහත දැමුවද කෝරා සහල් අලෙවි නොවිණි. අවසානයේදී එම සහල් තොගය නැවතත් එල්. ටී. ටී. ඊ. ගබඩා වෙතම යෑවිණි.

මෙසේ කාලය ගෙවෙද්දී අවසන් යුද සමයේදී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක්‌ මුලතිව් කරයමුල්ලිවයික්‌කාල්, වෙල්ලමුල්ලි වයික්‌කාල් වැනි ප්‍රදේශවලට කොටු වූහ. ආහාර සැපයීම නතර වූ අවස්‌ථාවේදී එල්. ටී. ටී. ඊ. ය දිනකට දෙවරක්‌ හා එක්‌ වේලක්‌ කැඳ ලබා දුන්නේ මේ සුපිරි කෝරා සහල් තොගයෙනි. 'ෆාරා - 3' නෞකාවෙන් දකුණු අප්‍රිකාවට යෑවීමට තිබූ සහල්වලට උරුම වූයේ මෙවැනි තත්ත්වයකි. එසේම දකුණු අප්‍රිකාව බලා යාත්‍රා වූ 'ෆාරා - 3' නැවේ අවසන් ඉරණම වූයේ කොළඹ නාඩාර් කඩයයි. අවසානයේදී අපට කතා කිරීමට ඉතිරි වන්නේ ටයිටැනික්‌ නැවේ සුන්දර කතා පෙළක්‌ මෙන් 'ෆාරා - 3' නෞකාවේ අසුන්දර කතා පෙළක්‌ පමණි.

දිනසේන රතුගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.