කොම්පැනි තහනමින් පසසේ ඖෂධ මාෆියාව ඉවරද?

මේ රට පුදුම රටකි. අප එසේ කියන්නේ වත්මනෙහි සිදුවන බොහෝ දේ ගැන සිතා බැලීමෙන් පසුවය. අද රටේ "මාෆියාවක්‌" යන වදන නොයෙදූ විෂය පද්ධතියක්‌ නොමැති තරමිනි. මේ සටහන ජනමාධ්‍ය මාෆියාවේ ක්‍රියාදාමයක්‌ ලෙස හැඳින්වීමට බැරි නැත. ඒ හැර බොහෝ ක්‍ෂේත්‍රවලට මේ "මාෆියා" කතන්දරය ආදේශ කරනු දක්‌නට ලැබේ. "ඖෂධ මාෆියාව" ගැන මේ දිනවල ටිකක්‌ වැඩිපුර කතා කරනු අසන්නට ලැබේ. එහෙත් මේ වැඩිපුර කතා කරන්නට පෙර ඒ සඳහා නියමිත ක්‍රමවේදයක්‌ සකස්‌ කර ගත යුතු බව පෙන්වා දුන්නේ මහාචාර්ය සේනක බිබිලේය. එහෙත් ඖෂධ මාෆියාව ඊට විරුද්ධ විය. සිදුවූයේ මහාචාර්ය සේනක බිබිලේට ජීවිතයෙන් සමුගැන්මටය. සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බව මෙරට විද්වතුන්, සිවිල් ක්‍රියාකාරීන්, ජනමාධ්‍ය ඉතා ආසන්න වසර කිහිපයක සිට සිය හඬ වරින් වර මතු කරමින් කීවද කිසිවකුත් ඊට කන්දුන් බවක්‌ පෙනෙන්නට නැත.

එවැනි තත්ත්වයක්‌ හමුවේ පසුගියදා බාල ඖෂධ සැපයූ ඉන්දීය සමාගම් හතරක්‌ අසාදු ලේඛනයට  ඇතුළත් කෙරිණි. විවේක්‌ ෆාර්මා  ලැබෝරේට්‌ ෆාර්මා  බස්‌මා ෆාමසියුටිකල්  ඉලිසියුම් ෆාර්මසියුටිකල්  ඒ ආයතන හතරයි. මේ සමාගම් මගින් පසුගිය කාලයේ මෙරටට ගෙන්වන ලද තත්ත්වයෙන් බාල ඖෂධ වර්ග ගණන 122 කට ආසන්නය.

පසු දිනෙක පුවත්පත්වල ශීර්ෂ පාඨය ලෙස මෙවැන්නක්‌ ද දක්‌නට ලැබිණි. "ඖෂධ පනත හැංගු නිලධාරිනිය අද ඖෂධ සමාගම්වල වැඩ" මේ ප්‍රකාශයන් අප තේරුම් ගත්තේ, "විනෝද සමයේ" දක්‌නට ලැබෙන දෙබස්‌ ගාණටය. එය හුදෙක්‌ බාල ඖෂධ ගෙන්වී යෑයි රටට හෙළි වූ පසු එහි සැර බාල කරන්නට කියන කතාවක්‌ බව රටේ ජනතාව තේරුම් ගෙන හමාරය.

මේ වනවිට මෙරට විවිධ වෙළෙඳ නාමයන් යටතේ දාහකට ආසන්න හෝ ඊට වැඩි ඖෂධ ප්‍රමාණයක්‌ තිබේ. එහෙත් වසර දෙකකට ඉහතදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළේ ලෝකයම ගත්තත් අවශ්‍ය වන්නේ බෙහෙත් ද්‍රව්‍ය තුන්සීයත් හාරසීයත් අතර ප්‍රමාණයක්‌ බවය.

අප මේ කතා කරන ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන්නේ මෙතැන සිටය.

ඖෂධ මාෆියාව එසේත් නැත්නම් මේ ජාවාරම මෙතෙක්‌ ක්‍රියාත්මක වූයේ මෙරටට ඖෂධ සපයන බහුජාතික සමාගම් කිහිපයක්‌ මගිනි. ඔවුන් සෘජුවම සිදු කළේ සිය වෙළෙඳ නාමයෙන් යුත් ඖෂධ වර්ග මෙරට ප්‍රවර්ධනය කිරීමයි. මේ සඳහා වෛද්‍යවරුන්ගේ සහායද නොඅඩුව ලැබිණි.

එහෙත් විශේෂත්වය වන්නේ මේ ඖෂධ මාෆියාව තුළ ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීමක්‌ සිදු නොකෙරිණි. එහිදී සිදුවූයේ වෙළෙඳ නාමයෙන් අලෙවි කරන එකම වර්ගයේ ඖෂධ ගණනාවක්‌ වෙළෙඳපොළේ පැවැතීමත්, එය ඉතා අඩු මිලට ගැනීමේ හැකියාවක්‌ එම වෙළෙඳ මාෆියාව මගින් අවහිර කර තිබීමය. සේනක බිබිලේ මහාචාර්යවරයා විරුද්ධ වූයේ එයටයි. එහෙත් වත්මනෙහි ඒ කාරණය ද සමග තවත් භයානක දෙයක්‌ සිදුවෙමින් තිබේ. ඒ මේ ක්‍රියාවලිය වෙනස්‌ මුහුණුවරකින් කරලියට පැමිණීමයි. ඒ නිලධාරි මාෆියාව හරහායි. මේ නිලධාරි මාෆියාව කොතරම් බලවත් දැයි කිවහොත් අද රෝගීන්ට සිදුව ඇත්තේ මිල අධික බෙහෙත් ලබාගැනීමට සිදුවීම පමණක්‌ නොවේ සිය ජීවිතය ද එම බෙහෙත් වෙනුවෙන් පරදුවට තබන්නටය. ඒ බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වීමය. සේනක බිබිලේගේ ඖෂධ ප්‍රතිපත්තිය තුළ ආර්ථිකමය වශයෙන් ගොඩනැඟී ඇති මාෆියාවට සටන් කෙරුණ ද අතීතයේ බාල ප්‍රමිතියෙන් යුත් ඖෂධ ගෙන්වූයේ නැත. ප්‍රමිතිය යන්න කවරාකාරයෙන් යුතුව වුවද ප්‍රධාන ලෙස සැලකිණි. මේ මොහොත වන විට බාල ඖෂධ ගෙන්වීමෙහි සිට ඖෂධ නිපදවීමටත් සැපයීමටත් ඒ සඳහා පූර්ණ වශයෙන් සුදුසුකම් නොසැපිරූ සමාගම් ඉදිරිපත් වී සිටී. පසුගිය කාලය තුළ මෙරටට බාල ඖෂධ ගෙන ආ සමාගම් 74 ක්‌ හඳුනාගෙන ඇති අතර ඉන් 54 ක්‌ ම ඉන්දීය සමාගම්ය. පිලිපීනය, තායිලන්තය, සිංගප්පූරුව, චීනය, ඉන්දුනීසියාව, මැලේසියාව යන රටවල සමාගම්ද ඒ අතර වෙති.

මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ යම් සමාගමක්‌ හෝ සමාගම් නිරන්තරයෙන්ම බාල ඖෂධ ගෙන්වීම යන්න පාදක කොට එම සමාගම හෝ සමාගම් අසාදු ලේඛනයට (BLACK LIST) ඇතුළත් කිරීමට නොහැකි වීමය.

පසුගිය කාලයේ සෞඛ්‍ය ඇමැතිවරයාද මේ නව ඖෂධ මාෆියාව ඇත්තක්‌ බව පිළිගෙන තිබිණි. එවැනි බාල ඖෂධ ගෙන්වූ සමාගම් ගණනාවකින් නැවත මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය ඇමැතිවරයා කීවේ මාස කිහිපයකට උඩදීය. ඉතිං ඉහත කී ලෙස එම සමාගම් zබ්ලැක්‌ ලිස්‌ට්‌Z කරනවා වෙනුවට කළ හැකිව තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ඖෂධ පමණක්‌ අසාදුගත ලේඛනයට  යොමු කිරීම පමණකි. අසාදුගත කිරීම කළ නොහැක්‌කේ නම් අවම වශයෙන් එම සමාගම් ප්‍රතික්‍ෂේප කිරීමේ ක්‍රියාවලියකට යා හැකි වුවද එවැන්නක්‌ සිදුවන බවක්‌ ද පෙනෙන්ට නැත.

මේ ඖෂධ මාෆියාව හිටිහැටියේ පහළ වූ තත්ත්වයක්‌ ලෙස දක්‌වන්නට ද ඇතමුන් උත්සාහ ගනිති. එපමණක්‌ නොව මෙය නිලධාරි පැලැන්තිය හෝ යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්‌ඩායමක්‌ විසින් මෙහෙයවන ලද ක්‍රියාවලියක්‌ ලෙස විග්‍රහ කරන තත්ත්වයක්‌ද පවතී. සැලසුම් සහගත හෝ විධිමත් ක්‍රියාවලියකදී මෙන්ම එසේ නොවන තැන්වලදී ද පුද්ගල චරිත වැදගත් වන නමුදු මේ තත්ත්වය ඉස්‌මතු වීමට බලපෑ හේතු කාරණා බොහෝමයකි. ඖෂධ මාෆියාවක්‌ ඇත්තේ වුවද හදිසියේ හටගන්නා ඖෂධ හිඟයන් ක්‍රමිකව වර්ධනය වූවකි. ඒ අනුව, භාණ්‌ඩාගාරය ඖෂධ සහ ශල්‍ය උපකරණ වෙනුවෙන් වෙන් කරනු ලබන මුදල ප්‍රමාණවත් නොවීම, අදාළ අමාත්‍යාංශයේ වංචා දූෂණ අක්‍රමිකතා බහුල වීම මෙන්ම කළමනාකරණයේ සහ පරිපාලනයේ දුර්වලතා වැනි දේ ඒ අතර වේ. එමෙන්ම ඖෂධ මිලදී ගන්නා සමාගම්වලටත් ඖෂධ සංස්‌ථාවටත් බිලියන ගණනක්‌ ණය වී තිබීම හා මේ ණය පියවා ගැනීමට නොහැකිවීම නිසා ඖෂධ මිලදී ගැනීමට අලුතින් "ණයවර" විවෘත කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී සිටීම ද මේ තත්ත්වය ඇතිවීමට හේතුවකි.

නමුත් මේ සියලු කාරණා අතරේ යම් මට්‌ටමකින් හෝ මේ අගතිගාමී තත්ත්වය මඟහරවා ගැනීමට ඇති තත්ත්වයන්ද එතරම් ගණනකට නොගන්නා පසුබිමක්‌ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ දක්‌නට ලැබේ. විශේෂයෙන් මෙරට ඖෂධ නිපදවීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාව (SPMC) නමින් ආයතනයක්‌ තිබුණද, එහි මේ මොහොත වනවිටත් නිපදවන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක ඖෂධය. අනෙකුත් සියලුම ඖෂධ ගෙන්වනු ලබන්නේ විදේශයෙනි.

ශ්‍රී ලංකා ඖෂධ සංස්‌ථාව පිහිටුවීමේදී සැළකිල්ලට ගත් ප්‍රධාන කරුණු 6 ක්‌ ගැන මෙහිදී සඳහන් කළ යුතුය.

1. ජනතා සේවයට ප්‍රමුඛතාවය දිය යුතුවේ.

2. ගුණාත්මක බව,

3. අතිශය අවංක බව.

4. විශ්වාසනීය සහය

5. ආරක්‍ෂිත තත්ත්වය

6. ක්‍රියාකාරී පැවැත්ම ඒ කරුණු හය වේ.

එහෙත් මෙම කරුණු පදනම් කරගත් ක්‍රියාවලියක්‌ දියත් වන්නේ නම්, තත්ත්වය මෙතරම් බරපතළ විය නොහැකිය.

අනෙක්‌ අතට විදේශීය රටවලින් ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා පාදක කරගනු ලබන නිර්ණායකයන් කවරේද යන්න සැලකිල්ලට ගත යුතුය. මේ මොහොත වන විට විදේශීය රටවලින් ඖෂධ ගෙන්වීමේදී සිදු කරනු ලබන්නේ පසුගිය වසරවලට සාපේක්‍ෂව අවශ්‍යතා සැලකිල්ලට ගැනීමයි. එහෙත් රෝග ඇතිවීමේ කිසියම් රටාවක්‌ තිබේද යන්න අධ්‍යයනය කර අනාගතයේදී වැඩිපුර මුහුණ දීමට සිදුවන රෝග පිළිබඳව උපකල්පනය කර ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය ඖෂධ කවරේද යන්න ප්‍රධාන වශයෙන් තීරණය කරයි. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් "වෛද්‍ය සැපයුම් අංශයක්‌" පිහිටුවා තිබේ.

විදෙස්‌ රටවලින් ඖෂධ ආනයනයේදී ඒ සඳහා පිළිගත් ක්‍රමවේදයක්‌ ද ඇත. එහිදී එවැනි සමාගමක්‌ මූලිකවම සුවඳ විලවුන් සහ ඖෂධ අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ. ඊළඟට එම ලියාපදිංචියේදී මෙහි පහත සඳහන් කරුණු පිළිබඳව අධිකාරිය සෑහීමකට පත්විය යුතුය.

1. ඖෂධය ගෙන්වන රට

2. නිෂ්පාදනය කරන සමාගම

3. කම්හල් ධාරිතාව හා කර්මාන්ත ශාලාව

4. තත්ත්ව සහතිකය

5. ඖෂධයේ නිෂ්පාදන ප්‍රමිතිය

යම් හෙයකින් මේ එකදු කාරණයක්‌ හෝ සනාථ නොවේ නම් අධිකාරියේ විශ්වාසනීයත්වයට හේතු නොවේ නම් ඖෂධ මෙරටට ගෙන්වීමට අවසර නොදේ. එපමණක්‌ නොව අධිකාරියේ ලියාපදිංචිය පවා අහෝසි කරයි. එහෙත් මේ කිසිදු ක්‍රියාවලියකට යටත් නොවී ඖෂධ මෙරටට ගලා ඒ...,

මේ රටේ බොහෝ දේ සිදුවන්නේ zඅත යට ගනුදෙනු" මතය. එය රහසක්‌ නොවේ. අත යට ගනුදෙනු සිදුවන ක්‍රම රාශියකි. නිදසුනක්‌ ලෙස රෝහල් වල ඖෂධ හිඟයක්‌ ඇතිකිරීමට සමහර නිලධාරීන් උපක්‍රමිකව කටයුතු කරයි. ඒ කලට වේලාවට ඇනවුම් නොකිරීමයි. බොහෝ ඖෂධ නිෂ්පාදනය කරන්නේ ඇනවුමක්‌ ලැබුණු පසුය. ඒ නිසාම බොහෝ විට මේ කල් මරා ඇනවුම් කරන ලද ඖෂධ හදිසි මිලදී ගැනීම් ලෙස ගෙන්වා ගනී. මේ ආකාරයට ගෙන්වන බොහෝ ඖෂධ බාල ප්‍රමිතියෙන් තොර ඖෂධ බවට සැකයක්‌ නැත. සරලව කිවහොත් මේ හදිසි මිලදී ගැනීම්වලට බාල ඖෂධ ලැබෙනවා මෙන්ම, මෙම මිලදී ගැනීම්වලට සාමාන්‍ය ඖෂධ මිලදී ගැනීම් සඳහා ගෙවන මිල මෙන් දෙතුන් ගුණයක්‌ ගෙවීමට ද ශ්‍රී ලංකා රජයට සිදුවේ. මේ ක්‍ෂේත්‍රය වනසන නිලධාරී මාෆියාව වඩාත් ප්‍රියකරන්නේ ද මෙවැනි මිලදී ගැනීම් වලටය. අදාළ ආයතන අමාත්‍යාංශයන්හි මේ ඖෂධ ගෙන්වන සමාගම්වල කොටස්‌කාරයන්ද සිටින බව නොරහසකි. මේ කිසිවෙකුත් අපේ රටට ගැලපෙන ඖෂධ ප්‍රතිපත්තියක්‌ සැකසීමට එකහෙලා විරුද්ධ වෙති. මෙරටට අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය මෙරටදීම නිපදවුවහොත් මේ අශිෂ්ඨයන්ගේ ජාවාරම්වලට තිත තැබෙන්නේය. එහෙයින් යම් යම් ආයතනවල ඉහළ සිට පහළ දක්‌වා වූ සියලුම දෙනා මේ මාෆියාව සමග බද්ධව සිටින බව නොරහසකි.

ඖෂධ ප්‍රතිපත්තියක්‌ සැකසිය යුතු බව විෂය භාර ඇමැතිවරු ගණනාවක්‌ පසුගිය දශක කිහිපයක්‌ තිස්‌සේම බිරුසන් දුන් ආකාරය අපි දුටුවෙමු. එහෙත් තවමත් එවැන්නක්‌ සදනවා තබා සාකච්ඡා වටයක්‌ සාධනීය ලෙස පවත්වන වගක්‌ අප දුටුවේ නැත. රජයකට අවශ්‍ය වේ නම් එය කළ නොහැක්‌කක්‌ නොවේ.

මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙහි සඳහන් වන්නේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අරමුණ වන්නේ රටෙහි සමාජ ආර්ථික සංවර්ධනය සඳහා දායක වීමට හැකි සෞඛ්‍ය සම්පන්න, නිරෝගීමත් ජාතියක්‌ බිහිකිරීම බවය.

අපට අසන්නට ඇත්තේ මෙහෙම ගියොත් නතර වන්නේ කොතැනද යන්න ය.

උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.