ගල්ගමුව දිස්‌ත්‍රික්‌ රෝහල අංග සම්පූර්ණ
මූලික රෝහලක්‌ ලෙස සංවර්ධනය කෙරේ


ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ මූල්‍ය සහයෝගිතාව යටතේ ගල්ගමුව දිස්‌ත්‍රික්‌ රෝහල අංග සම්පූර්ණ මූලික රෝහලක්‌ ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ඉකුත්දා ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට වයඹ ආණ්‌ඩුකාර තිස්‌ස ආර්. බළල්ල, සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී තාරානාත් බස්‌නායක යන මහත්වරුද සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ආර්. එම්. රත්නායක, ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ මෙරට නියෝජිත හරුමි ආඕ යන මහත්වරුද සහභාගි වූහ.

අදියර දෙකක්‌ යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන ගල්ගමුව රෝහලේ පළමුවැනි අදියර සඳහා වැයකරන මුදල රුපියල් කෝටි 40 කි. එම අදියර යටතේ මහල් ගොඩනැඟිල්ලක්‌ ඉදිවන අතර, එහි ඇඳන් 210 කින් සමන්විත රෝගී සත්කාරක වාට්‌ටු, ඇඳන් 10 කින් සමන්විත දැඩිසත්කාර ඒකකයක්‌, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයක්‌, මුළුතැන්ගෙය සහ ශල්‍යාගාර 03 කින් සමන්විතය. දෙවැනි පියවර යටතේ රුපියල් කෝටි 35 ක්‌ වැය කරන අතර, වසර තුනකින් ඉදිකිරීම් කටයුතු අවසන්වන අතර, මෙම රෝහල් සංවර්ධනය සඳහා වැය කරන සමස්‌ත මුදල රුපියල් කෝටි 75 කි.

ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ ආධාර යටතේ රුපියල් මිලියන 2000 ක වියදමින් රෝහල් 04 ක්‌ සංවර්ධනය කෙරේ. ඒ අනුව ගල්ගමුව, තෙල්දෙණිය, වරකාපොල සහ කලවංචිකුඩි රෝහල් සංවර්ධනය වන අතර, ගිලන් රථ 82 ක්‌ දුෂ්කර ප්‍රදේශවල පිහිටි රෝහල් සඳහා බෙදාදීමට මෙම වැඩපිළිවෙළ යටතේ නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලීමක්‌ පරිදි මෙම සහයෝගිතාව එම ආයතනය විසින් ලබාදී ඇත.

මෙහිදී මෙම අවස්‌ථාවට සහභාගි වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය.

ඖෂධ පනත තමුන්නාන්සේලා දන්නවා. 2011 පනත හදලා ඉවර වුණා. 2012 අතුරුදන් වුණා. දැන් අපි අලුතෙන් දෙවැනි සැරේටත් හදලා දැන් සියයට 99 වැඩ අවසන්. හැබැයි පළමුවැනි පනත 2011 හදලා අවසන් වුණාම අතුරුදන් කරපු අයට මේ වනතෙක්‌ දඬුවමක්‌ නැහැ. මාධ්‍ය තුළ ඒවා කතා කරන්නෙත් නැහැ.

රටක ජනතාවට මොන තරම් සම්පත් දුන්නත්, පාරවල් හදලා, විදුලිය දීලා මොනවා කළත්, රටේ ඉන්නේ ලෙඩ්ඩු නම් රෝගී ජනතාවක්‌ නම් ඒ රටේ සංවර්ධනයෙන් වැඩක්‌ නැහැ.

රටක සංවර්ධනය මනින ප්‍රධාන මිණුම් දණ්‌ඩ තමයි නිරෝගිභාවය. ඒ නිසා මේ වගේ අති විශාල මුදලක්‌ යොදවලා, නීතිරීති හදලා, අපි රජය විදිහට මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.