කරාපිටියේ කුඩා දරුවන්ට
එංගලන්ත හදවත් සැත්කම්

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

සංකීර්ණ හෘදයබාධවලින් පෙළෙන කුඩා දරුවන්ගේ හදවත් සැත්කම් කිරීම සඳහා එංගලන්තයේ එවිලින් ලන්ඩන් ළමා රෝහලේ   සිට විශේෂ වෛද්‍ය කණ්‌ඩායමක්‌ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට පැමිණ තිබේ.

මෙම විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම ඉකුත් දින කිහිපයේදී සංකීර්ණ හෘදයාබාධවලට ලක්‌ වූ ළමයින් විසි දෙනකු සැත්කම්වලට භාජනය කොට ඇති අතර එක්‌ සැත්කමක්‌ හැර අනෙක්‌ සියලුම සැත්කම් සාර්ථක වී තිබේ.

මෙසේ සැත්කම්වලට ලක්‌ වූ ළමයින් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර සැත්කම්වලට භාජනය කොට ඇත්තේ අවුරුදු 12 ට අඩු ළමුන්ය. මෙම වෛද්‍ය කණ්‌ඩායම කරාපිටිය ශික්‍ෂණ, රෝහලට පැමිණ ඇත්තේ කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද උරස්‌ පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාගේ ආරාධනාවකට අනුවය.

නාමල් ගමගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ එංගලන්තයේ සිට පැමිණි විශේෂඥ ශල්‍ය වෛද්‍ය කර්නල් බී. ඩිස්‌මන් මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් මෙම සැත්කම් සිදුකොට ඇත. එම සැත්කම් සඳහා හෘද හා උරස්‌ ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුන්ගේ හා කාර්ය මණ්‌ඩලයේ සහාය හිමිව තිබේ.

දැනට වසර නවයක්‌ තිස්‌සේ මෙම වෛද්‍ය කණ්‌ඩායම ඇතුළු පිරිස අසරණ මෙරට සංකීර්ණ හෘදයාබාධවලින් පෙළෙන ළමුන්ගේ හදවත් සැත්කම් කිරීමට කරාපිටිය රෝහලට පැමිණ තිබේ. මොවුන් ළමයින් 164 දෙනකුගේ පමණ හදවත් සැත්කම් සිදුකොට ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.