තරු පේන දොස්‌තර කඩ

තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක

එප්පාවල පියසේන නම්වූ මැදිවියේ ගොවියාට සමේ රෝගයක්‌ ඇති විය. ප්‍රාදේශීය රෝහල්වලින් බේත් ගත් නමුත් සුවයක්‌ නොලත් හෙයින් චැනල් සේවයේ දොස්‌තර කඩයකට යැමට පියසේන තීරණය කර ගත්තේය.

අතේ සල්ලි නැත. පවුලේ කෑමට තිබූ වී බුසල් දෙකක්‌ විකුණා රුපියල් 1200 ක්‌ ලබාගෙන අනුරාධපුර දොස්‌තර කඩයකට බෙහෙත් ගැනීමට ගියේය. දොස්‌තරගේ චැනල් ගාස්‌තුව රුපියල් 850 ක්‌ විය. එය ගෙවීමෙන් පසු තවත් රුපියල් 350 ක්‌ අත ඉතිරි විය. ඊට පසු දොස්‌තර හමුවී බෙහෙත් ලියවා ගෙන ෆාමසියට බෙහෙත් තුන්ඩුව දුන්නේය. කීයක්‌ වෙනවද බේත් වලට.. පියසේන විමසීය. ෆාමිසිකරු ගණන් බැලීය. බෙහෙත්වලට රුපියල් 1800 ක්‌ වෙනවා. ඔහු කීය.

පියසේනට තරු හත අටක්‌ම පෙනිණ. දැන් මොකද කරන්නෙ. අතේ තියෙන්නෙ 350 යි. කරන්න දෙයක්‌ නෑ ඉතිං. බේත් ගන්න එපායැ... ඔහු උකස්‌ බඩු කඩයකට ගොස්‌ අතේ තිබූ මුද්ද රුපියල් දෙදහසකට උකස්‌ කළේය.

ඉන්පසුව ෆාමසියට ගොස්‌ බෙහෙත්ටික ලබාගෙන පියසේන ගෙදර ආවේය. ජනතාවගේ මුදලින් පුහුණුවන දොස්‌තරවරු ඕනෑ තරම් සිටිති. සෞඛ්‍ය අමාත්‍යාංශයක්‌ සහ දෙපාර්තමේන්තුවක්‌ පවතී. හැම තැනම රෝහල් පවතී. එක්‌ පැත්තකින් ලෙඩකට හරිහැටි බේතක්‌ දෙන්නට සාමාන්‍ය දොස්‌තරවරුන්ට නොහැකිය. දොස්‌තර කඩවලට ගියවිට රෝගීන්ගේ ඉණ ඉහත් සූරාගෙන කයි. අපේ රටේ නිදහස්‌ වෛද්‍ය සේවාවක්‌ තිබේද? මේ රටේ වෛද්‍ය සේවා දැන් මුළුමණින්ම කළුකඩයක්‌ බවට පත්ව ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.