වස විස පිරි පෝෂණ පැකට්‌වලට
අද ජනතාව ඇබ්බැහි වෙලා

- වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ

උපන්දා සිට මරණය දක්‌වා කිරිබොන මෙලොව ජීවත් වන එකම සතා මිනිසායි. එම කිරිබීම තුළින් මිනිසා තම සිරුරට උදාකර දෙන්නේ සැපතයි සිතා විපතයි.

වතුපිටිවල රෝහලේ වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා එම අදහස්‌ පළ කළේ මැදගම්පිටිය සණස සංගම් කාර්යාලයේදී පැවැති "සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පෝෂණය" මැයෙන් මැදගම්පිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය මගින් පැවැත්වූ සම්මන්ත්‍රණයකදීය.

යටගම මැදගම්පිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සමගි සංවිධානය හා කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන සහකාර සිසිර කුමාර ලොකුවිතාන මහතා විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයේදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය පාලිත සමන් ජයකොඩි මහතා, පෝෂණය කියන වචනය අද ඉතාම වැරදි තැනකයි තිබෙන්නේ. වස විෂ පිරි පෝෂණ පැකට්‌වලට අද අපි ඇබ්බැහි වෙලා. මෙම පෝෂණ පැකට්‌ තුළ දියවැඩියාව, හෘදයාබාධ, තරබාරුව පිළිකා ආදී රෝගාබාධ අන්තර්ගතයි.

නිවැරදි පෝෂණය ගැන අපේ වැඩිහිටියන් මෙන්ම දරුවන්ද දැනුවත් කිරීමට අත්‍යවශ්‍ය කාලය දැන් එළඹිලා. පෝෂණ ගුණයෙන් වැඩි, මිල අඩු ආහාර ගෙවත්තේ තිබියදී අපි රෝගාබාධා ඇති කරන විදේශවලින් ආනයනය කරන ආහාරවලට පෙළඹිලා. අදත් මෙතරම් රෝගාබාධයන්ට අපේ දරුවෝ පත්ව ඇත්තේ වස විෂ පිරි පෝෂණ පැකට්‌වලට, ආනයනය කරන විෂ ගැන්වූ පලතුරුවලට ඇබ්බැහිවීම නිසයි.

අපේ ගෙවත්තේ ඇති කෙඳි සහිත ආහාර මලබද්ධය නැති ආහාර රුචිය ඇති කරන පෝෂණ ගුණයෙන් පිරිපුන් ආහාරයි. එම ආහාර පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ, අධික රුධිරපීඩනය වළක්‌වා ප්‍රතිශක්‌තිකරණ වර්ධනය ඇති කරනවා. ලෝකයේ ඇති උසස්‌ම ආහාරවේල අංග සම්පූර්ණ බත් වේලයි. හොඳම සහල් වර්ගය තැම්බූ රතු නාඩුයි. මුං, කව්පි, කඩල, උඳු, කොල්ලු, පලාවර්ග කොස්‌ දෙල් අල බතල උසස්‌ම ආහාර මේවායි. සත්ත්ව ආහාර ගන්නේ නම් කුඩා මාළු, කරවල කටුවක්‌ සමග හොඳයි. කිරි, බිත්තර, මස්‌ ඔබ වෙත ළඟා කරන්නේ රෝගාබාධයි.

පලතුරු යනු නැවුම්ව කඩාගත හැකි ඉක්‌මනින් ආහාරයට ගත යුතු පලතුරුයි. මේවා තම ගෙවත්තෙන්ම ලබාගත හැකිව තිබියදී වෙළෙඳ පොළේ ඇති වස විෂ පිරුණු පලතුරු දරුවන්ට දීලා දරුවන් රෝගීන් කරන්න එපා. පලතුරු සහ එළවළු තම ගෙවත්තෙන්ම ලබාගැනීම ශරීර සෞඛ්‍යයට යහපත්.

ආනයනය කරන වස විෂ පිරුණු පලතුරු, පාන් පිටි සහ කිරිපිටි පානයෙන් අත් මිදෙන්න. මෝල්ට්‌ අඩංගු කිරි පිටි බෙහෙවින්ම දියවැඩියා කාරක ආහාර බව සිහියේ තබාගන්න. කෘත්‍රිම හෝ ක්‍ෂණික ආහාර පරිභෝජනය නොකරන්න. පලා වර්ග මෙන්ම ගෙවත්තේ වවාගන්නා කෙසෙල්, පැපොල්, අඹ, එළවළු ආදිය විකුණා කිරිපිටි, පාන් පිටි, සොසේජස්‌ ආදී මස්‌ නිෂ්පාදන, පැණී බීම, කෝඩියල්, රසකාරක තම දරුවන්ට නොදෙන්න.

තම ගෙවත්තේ සොයාගත් ආහාර දරුවනට දී නිරෝගී දරු පරපුරක්‌ ඇති කිරීමට වැඩිහිටියන් උපරිමයෙන් කැපවිය යුතු කාලය එළඹ ඇති බවද පැවැසීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.