රජරට වකුගඩු රෝගයට හේතුව
තීරණය කරන්න කොමිසමක්‌ ඕනෑ

- රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ඒමන්ති මාරඹේ

රජරට ප්‍රදේශවල පැතිර යන මාරාන්තික වකුගඩු රෝගය පිළිබඳ මෙතෙක්‌ සිදුකර ඇති සියලු පර්යේෂණ වාර්තා සාක්‍ෂි වශයෙන් ගෙන එම වකුගඩු රෝගයට මුල්ව ඇති නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා උගත් පාඩම් පිළිබඳ කොමිසම ආදර්ශයට ගෙන විශේෂ විමර්ශන කොමිසමක්‌ වහාම පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතා ඊයේ (27 දා) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ ඉල්ලීමක්‌ කළේය.

රජරට පැතිර යන මාරාන්තික වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව ආසනික්‌ විෂ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වාර්තාවක්‌ මෙන්ම දේශීය පර්යේෂණ කණ්‌ඩායමක්‌ විසින් සිදුකළ පර්යේෂණයක වාර්තාවකින් තහවුරු කර තිබියදීත් එය පිළිනොගෙන තවමත් එම වකුගඩු රෝගය හඳුනා නොගත් එකක්‌ සේ සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීම පුදුමයට කරුණක්‌ බව කී වෛද්‍ය ආරියරත්න මහතා මෙම තත්ත්වය මත මෙම රෝගී තත්ත්වයට හේතුව සොයාගැනීම සඳහා විශේෂ කොමිසමක්‌ පත්කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

පත්කරනු ලබන කොමිසම විසින් මෙතෙක්‌ වකුගඩු රෝගය පිළිබඳව සිදුකර ඇති සියලු පර්යේෂණ වාර්තා සාක්‍ෂි වශයෙන් කැඳවා ඒවා විමර්ශනය කර වකුගඩු රෝගයට මුල් වූ හේතුව පිළිබඳව පොදු නිගමනයකට එළඹිය යුතු බව ද ඔහු කීවේය.

මෙයට අමතරව රජරට වකගඩු රෝගය පිළිබඳව අවශ්‍ය තොරතුරු එක්‌aරැස්‌ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිලධාරියකු පත්කළ යුතු බව ද වෛද්‍ය ආරියරත්න කීවේය.

රජයේ වෛද්‍ය සංගම් මූලස්‌ථානයේ ඊයේ (27 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් වෛද්‍ය ආරියරත්න මහතා මෙම කරුණු අනාවරණය කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.