බලපෑම් හමුවේ ලොක්‌කෙක්‌ අස්‌වෙයි
සෞඛ්‍ය පුටු ගැටුමෙන් ඩෙංගුවාට රජ මඟුල්


අජිත් අලහකෝන්

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුගෙන් එල්ලවන බලපෑම් නිසා ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා එම තනතුරින් ඉල්ලා අස්‌වීමේ ලිපිය සෞඛ්‍ය ලේකම්වරයාට භාරදී ඇත.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ ධුරයද වසරක සිට පුරප්පාඩුව පවතිද්දී වැඩබලන අධ්‍යක්‍ෂවරයාද එම ධුරයෙන් ඉවත්වීම නිසා ඩෙංගු මර්දනය කිරීමේ කටයුතු අඩාල වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින"ට ප්‍රකාශ කළේය.

මේ නිසා ලබන 07 වැනිදා සිට 13 වැනිදා දක්‌වා පැවැත්වීමට නියමිත ජාතික මදුරු මර්දන සතියද කොටඋඩ යන ලකුණු පෙනෙන්නට ඇතැයිද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂවරයා වසරකට පමණ පෙර දූෂණ චෝදනා මත එම තනතුරින් ඉවත් කෙරිණි. ඉන්පසු එකී තනතුර සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අයෑදුම්පත් කැඳවුවද ඊට කිසිවෙකුත් මේ දක්‌වා ඉල්ලුම් කර නැත. මේ නිසා අමාත්‍යංශය විසින් ඒ සඳහා කිහිප දෙනකු නම් කරනු ලැබුවද ඔවුන් එම තනතුර ප්‍රතික්‍ෂේප කර තිබේ.

එවන් පසුබිමක්‌ මත ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා කටයුතු කළද සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයකුගෙන් දිගින් දිගට එල්ලවන බලපෑම් නිසා ඔහුද එම තනතුරෙන් ඉල්ලා අස්‌වීමේ ලිපිය සෞඛ්‍ය ලේකම්වරයාට භාරදී ඇත.

මෙම තත්ත්වය හමුවේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ සේවය කරන අනෙකුත් නිලධාරීන්ද දැඩි කලකිරීමකින් පසුවන බවද ඉහත නිලධාරියා ප්‍රකාශ කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.