වැඩිහිටියන්ට පමණයි
(ලෝක ළමා දිනය නිමිත්තෙනි)

සියලු ළමයින්ට සහ සියලු වැඩිහිටියන්ට වෙන් වූ දිනය අදයි. එහෙත් අද මේ ලියන වැකිය වැඩිහිටියන්ට පමණකි. හැම වැඩිහිටියකුටම ළමා කාලයක්‌ තිබිණ. එසේම හැම ළමයකුටම වැඩිහිටි කාලයක්‌ ලැබෙන්නේ ය. මේ නිසා ළමයා සහ වැඩිහිටියා යනු එකම කතාවක කොන් දෙකකි. එහෙත් කල්ගත වන විට අග කොනට මුල් කොන අමතකව යයි හෙවත් තමා ළමයකුව සිටි බව වැඩිහිටියාට අමතක වෙයි. මේ අමතකවීම ඉතාම භයානක අමතක වීමකි. ප්‍රශ්න පටන් ගන්නේ මෙතැන් සිට ය. ළමයා දෙස වැඩිහිටියා බලන්නේ සතුරකු ලෙස ය. ඉතා පහසුවෙන් අපහරනය කළ හැකි, ඉතා පහසුවෙන් පළිගත හැකි, ඉතා පහසුවෙන් ශාරීරික හිංසනයට ලක්‌කළ හැකි, ඉතා පහසුවෙන් මෙහෙකාරකමෙහි යෙදවිය හැකි, කවර අසාධාරණයකට ලක්‌ කළ ද කට පියාගෙන සිටිය හැකි යන්ත්‍රයක්‌ ලෙස ළමයා දැකීමට වැඩිහිටියා කැමැති ය. එහෙත් ළමයා එයට විරුද්ධව හඬ අවදි කළොත් ඔහුට කණට දෙකක්‌ ගසා දණ ගස්‌වනු ලැබේ. වැඩිහිටියන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් දෙන්නේ ආදරය නිසා යෑයි පිළිගැනීමක්‌ තිබේ. මෙය පල් බොරුවකි. වැඩිහිටියකු, ළමයකුට ගහන්නේ කිසිදු ආකාරයක මෛත්‍රී කරුණාවක්‌ නිසා නොව දරුවා කෙරෙහි හටගන්නා ක්‍ෂණික ක්‍රෝධය නිසා ය. ළමයකුට පහරදීමට පෙර ඒ ගැන සිතා හඬා වැළපී, පහර දෙන අතරත්, පහර දුන් පසුවත් හඬා වැළපෙන වැඩිහිටියන් අපි දැක නැත්තෙමු. මේ තත්ත්වය සාධාරණය කිරීමට පැරණි උපහැරණ පවා උපුටා දක්‌වනු ලැබේ. "හැඳි නොගෑ පිසින හොද්ද රස නැත්තේ යම් සේද, ගුටි නොදී හදන ළමයා ගුණවත් නැතැයි" යන පැරණි දිරාගිය කියුම එවැනි ගොං කියුමකි.

ළමයකුට ශාරීරික හිංසනයක්‌ පැනවීමේදී සිදුවන්නේ කුමක්‌ද? පළමුකොට වැඩිහිටියකුට පෙරළා පහර දිය නොහැකි නිසා ළමයා තුළ චර්යාත්මක බිඳවැටීමක්‌ ඇතිවෙයි. ඊළඟට, තමාට පහරදුන් වැඩිහිටියා තම සතුරකු ලෙස සැලකීමේ හිතක්‌ හටගන්නා නිසා අපේක්‍ෂා භංගත්ත්වයක්‌ ද පහළ වෙයි. මේ කරුණු දෙක අතරතුර ළමයා තුළ හටගන්නා ශක්‌තිමත් හුයක්‌ බඳු වෛරයක්‌ ද තිබේ. මෙය පිරිමසා ගැනීමට බැරි නිසා වෛරය හිත තුළ සැඟවී කුඩා තුවාලයක්‌ බවට පත්වෙයි. මෙබඳු කුඩා තුවාල අනාගතයේදී ලොකු වන පිළිකා බවට පත්වීමෙන් තමනුත් දුකට පත්ව, අනුනුත් දුකට පත්කරන ළමයි ඕනෑ තරම් සිටිති.

ඉතා ඉක්‌මනින් රවටා ගත හැකි ළමයා, ඉතා ඉක්‌මනින් බියපත් කර, ඉතා ඉක්‌මනින් වරදට පොළඹවාගත හැකි ය. අනාගත දවසකදී දැනුම් තේරුම් ඇති යෞවනයකු බවට පත් වූ විට තමාට සිදු වූ වරදේ තරම ඔහු/ඇය කල්පනා කරයි. සමහර විට ඒ අමිහිරි මතකය මරණය තෙක්‌ම පවතී.

සමාජයේ සිටින අපරාධකාරයන් වැඩි දෙනකුගේ ළමා කාලය විවිධ අපහරණවලින් දුර්වර්ණව තිබේ. තමා කෙරෙහි පනවන ලද ලිංගික අපරාධ අනාගතයේදී සෙසු ළමුන් කෙරෙහි පනවන වැඩිහිටියෝ ඕනෑ තරම් සිටිති. නරක වැඩිහිටියකු තැනීමට සමාජය දායක වන්නේ නරක ළමයකු තැනීම මගිනි. ලංකාවේ ළමා කම්කරුවන් නැති නමුත් ළමා ශෝධනාගාර විශාල වශයෙන් ඇත. මේවා තුළ සියලු දුශ්චරිත හටගනී. අසරණ ළමුන් ලවා ඌරන් මරණ නිවාස පාලකයකු ගැන අපි පසුගිය දිනෙක ඇසීමු. ළමා නිවාස ලෙස පවත්වාගෙන යන ගවගාල් සහ ඌරු කොටු පිළිබඳව බලධාරියකු පත්කිරීමට ආණ්‌ඩුව වහා පියවර ගත යුතු ය. මේ කතුවැකිය වැඩිහිටියන්ට පමණකැයි යළි මතක්‌ කර දෙමු.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.