'දිවයින' ජූලියස්‌ සීසර් සහ
ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව

දිවයිනට තිස්‌තුන් වසරක්‌ පිරීම නිමිත්තෙනි.

මෙමෙයට අවුරුදු 2072 කට පෙර, එනම් ක්‍රිස්‌තු පූර්ව 59 දී රෝමන් අධිරාජයා වූ ජූලියස්‌ සීසර් පුවත්පතක්‌ අච්චු ගහන ලෙස සිය රාජකීය කම්මල්කාරයාට නියෝග කළේය. කම්මලකට පුවත්පතක්‌ අච්චු ගැසිය හැකිද? මෙකල බැරි වුණාට එකල පුළුවන. හේතුව කඩදාසි සොයාගෙන නොතිබූ එකල ලේඛන කටයුතු කළේ ලෝහ තහඩු මත වීමය. ඉතාලි භාෂාවේ අකුරු කොටා රෝම නගරය මැද පිහිටි පොදු ජනයා රැස්‌වන Forum Romanum චතුරස්‍රයේ ප්‍රදර්ශනය කෙරුණු සීසර්ගේ පුවත් තහඩුවේ නම Acta Diurna හෙවත් 'දෛනික කටයුතුය.'  දිනකට එයින් එකකට වඩා අච්චු නොගසන ලදී. ප්‍රවෘත්ති වාර්තාකාරයන් විසින් කම්මල්කාරයාට ප්‍රවෘත්ති ගෙනත් දෙන ලද්දේ උදේ කාලයේදීය. කල් තබා සකස්‌ කරගත් ලෝහ තහඩුව මත යකඩ කටුවකින් ඒ පුවත් කොටා පුවත්පත නිම කරන විට දවල් විය. මෙකල ප්‍රවෘත්ති බලධරයන් සිටියේ නැත. Acta Diurna වේ පළවූ දෙයක්‌ වැරදුණු විට වාර්තාකාරයා මෙන්ම කම්මල්කාරයා ද සිංහයන්ට කෑම පිණිස දමන ලදී. එකල වඩා සුලබ වූයේ ජීවිතය නොව මරණයයි. සතුරකුගේ ගෙල කග පතින් කපා වෙන් කර දවසේ වැඩ පටන්ගත් රෝම රාජ්‍යය රෑ වන විට බෙලි සිය ගණනක්‌ කපා කඩු මොට්‌ට කරගත්තේය. පසුදින ද ඔවුන් වැඩ පටන් ගත්තේ තවත් බෙල්ලකිනි.

ඊට අවුරුදු 2040 කට පසු එනම් ක්‍රි. ව. 1981 ඔක්‌තෝබර් 04 වැනිදා උපාලි විජයවර්ධන "දිවයින" ආරම්භ කරන විටද ජීවිතය නොව මරණය සුලබවීමේ වාතාවරණයක්‌ ශ්‍රී ලංකාව තුළ ගොඩනැඟෙමින් තිබිණ. මේ වන විට ප්‍රභාකරන්ගේ කොටි සංවිධානයත්, උමා මහේෂ්වරන්ගේ PLOTE සංවිධානයත්, ශ්‍රී සභාරත්නම්ගේ TELO සංවිධානයත්, පත්මනාභගේ EPRLF සංවිධානයත්, වී. බාලකුමාර්ගේ EROS සංවිධානයත් රට බෙදීමේ පරමාර්ථයෙන් සිය මූලික මිනීමැරුම් පටන්ගෙන තිබිණ. යාපනේ සැරිසැරූ ඔවුහු ලංකා ආණ්‌ඩුවේ මාසික පඩියට වැඩ කළ අසරණ දෙමළ පොලිස්‌ කොස්‌තාපල්වරුන්ට වෙඩි තැබූහ. බැංකු කැඩූහ. බැංකු කඩන විට එයට විරුද්ධ වන අයට වෙඩි තැබූහ. මේ වන විට පෙර කී ත්‍රස්‌තවාදී සංවිධානවල කේඩරය 500 ඉක්‌මවා තිබුණේ නැත. රට දෙකට කැඩීමට යන බවත් ඒ සඳහා උතුරේදී මිනී මරන බවත් රටේ සෙසු පළාත්වලට ආරංචි විය. මේ වන විට ප්‍රභාකරන්ගේ ඊළමට සිතියමක්‌ නොතිබූ අතර ඔහු උතුර පමණක්‌ කඩා ගැනීමට කල්පනා කළේය.

ව්‍යාපාරිකයකු බොහෝ දුක්‌ විඳ බොහෝ ණය වී, බොහෝ ආයෝජන කර, බොහෝ අවදානම් අරගෙන පත්තර කන්තෝරුවක්‌ පටන් ගන්නේ ජාතියට න්‍යාය පත්‍ර සැපයීමට හෝ ජාතික ප්‍රශ්න පත්තරවලට උත්තර දීමට නොව මූලිකවම ලාභ ලැබීමටය. 1981 ට පෙර මේ රටේ පටන් ගත් හැම පුවත්පතක්‌ම පාහේ ලාභ මූලික කරගත් ව්‍යාපෘතීන්ය. ලාභ නැතිව පත්තර කන්තෝරුවේ සේවකයන්ට පඩි ගෙවීමට නොහැක. ලාභ නැතිව පත්තර කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලට ගැනීමට නොහැක. සේවකයන්ට පඩි නැත්නම් ආයතනයේ යන්ත්‍ර කරකැවීමට නොහැක. ඒ අනුව ලාභ මුලටම ආවේය. රට, ජාතිය හා ආගම දෙවන තැනට ආවේය. නිදහස සහ ස්‌වෛරීභාවය තුන්වන තැනට ආවේය. පුවත්පත් කර්මාන්තකාරයාගේ දේශපාලන අරමුණු හතර වන තැනට ආවේයá නැතහොත් නැත්තටම නැති විය. 1948 දී එංගලන්තයේ මහ රැජිනගේ ගවුමේ ලේස්‌ වාටියෙන් අපි නිදහස්‌ වීමු. ඒ නිදහසත් සමගම සියල්ල හරි යෑයි සිතූ මේ රටේ ජාතික නායකයන් බහුතරයටත්, වැඩවසම් චින්තකයන්ටත්, ඉඩම් හිමි ධනවතුන්ටත්, ව්‍යාපාරික පැළැන්තියටත්, ඉහළ මධ්‍යම පන්තියටත් කදිමට නින්ද ගියේය. අමුඩයට උඩින් දිග කලිසමත්, ඊට උඩින් රෙද්දත්, උඩු කයට කෝට්‌ එකත් ඇඳ සිටි ඔවුන්ට රටේ ඒකීයත්වය සහ භෞමික අඛණ්‌ඩතාව යන ප්‍රශ්න ගැන වැටහීමක්‌ තිබුණේම නැත. එහෙත් උපාලි පුවත්පත් සමාගමේ කර්ම ශක්‌තිය කොතරම් සරදම් සහගත ද යත් දිවයින මුද්‍රණ ද්වාරයෙන් පිටතට එත්ම දෙමළ ත්‍රස්‌තවාදීන් විසින් රට කඩනු ලැබීමේ තර්ජනය ඇති විය. එමගින් රටේ ඒකීයත්වය සහ භෞමික අඛණ්‌ඩතාව අවදානමට ලක්‌විය. ආරම්භයේ සිටම තිබූ පුළුල් ජාතිකවාදී ස්‌ථාවරය නිසා රට කැඩීමේ තර්ජනයට එරෙහිව නැගී සිටීම කල් දැමීම දිවයිනට කිසිසේත් කළ නොහැකි විය. දිවයින එසේ නැගී සිටින විට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන දිවයිනට එරෙහිව නැගී සිටියේය. දිවයින සිය මිනී වළ සියතින්ම කපා ගැනීමේ අවස්‌ථාවට පත්ව සිටියේය. ඒ සඳහා අවශ්‍ය ඉස්‌කෝප්ප සහ උදලු ජයවර්ධන ආණ්‌ඩුව විසින් නොඅඩුව සපයන ලදී. මෙහිදී දිවයින කළේ කුමක්‌ද? මිනී වළ හාරද්දී දෙපසින් ගොඩ ගැසූ පස්‌ ආණ්‌ඩුවේම ඉස්‌කෝප්පවලින් වළට පුරවා වළ සමතලා කර ඒ මතින් ගමන් කිරීමය.

1986 වන විට රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනී සිටි ප්‍රමුඛ පුවත්පත දිවයිනය. 1986 වන විට ප්‍රභාකරන් සතුව සිටි ත්‍රස්‌ත කේඩරය 15000 ක්‌ය. 1981 දී දිවයින අරඹන විට රට කැඩීම සඳහා මිනී මැරීමටත් ජාතික දේපළ විනාශ කිරීමටත් එක්‌ව සිටි ත්‍රස්‌ත සංවිධාන ගණන 5 ක්‌ වූ නමුදු 1986 වන විට එම ගණන 32 ක්‌ විය. ඒ අනුව සමස්‌ත ත්‍රස්‌ත කේඩරය ගැන හිතා ගැනීමටවත් බැරි විය. 1981 දී ඊළාම් සිතියම ලෙස උතුර පමණක්‌ සලකාගෙන සිටි ප්‍රභාකරන් 1986 වන විට එම සිතියම නැගෙනහිර පළාත දක්‌වා විශාල කළේය. ඒ අනුව හලාවත කිට්‌ටුවටත් නැගෙනහිර පළාතේ අන්තිම ගම්මානය වූ, අම්පාර දිස්‌ත්‍රික්‌කයට අයත් ඕකන්දටත් ඊළම පැමිණ තිබිණ. ඒ සිතියමට අනුව ලංකාවේ භූමියෙන් හරි අඩකුත් වෙරළ තීරයෙන් සියයට හැත්තෑ පහකුත් ඊළමට යා යුතුය.

දිවයින ප්‍රචණ්‌ඩත්වයට පක්‍ෂ නැත. එහෙත් රටේ භෞමික අඛණ්‌ඩතාව සහ ඒකීයත්වය වෙනුවෙන් යුද කිරීමට සිදුවන ඕනෑම විටෙක දිවයින කොන්දේසි විරහිතව ඒ යුද්ධයට පක්‍ෂය. අපට අවශ්‍යව තිබුණේ අපගේ පැරැණි සිතියමම ය. ෂයිලොක්‌ගේ මස්‌ රාත්තල මෙන් කිසිදු අඩුවක්‌ නැතිව අපට ඒ සිතියම එහෙමම අවශ්‍ය විය. ඒ සඳහා ජනතාව දැනුවත් කරන අතර ආණ්‌ඩු හතරක සාම කාරයන් සමග යුද්ධ කිරීමට දිවයිනට සිදුවිය. මුලින්ම ඡේ. ආර්. ජයවර්ධනගේ විධායක යූ.එන්.පී. ය දිවයින සමග යුද කළේය. ඊළඟට ආර්. ප්‍රේමදාස දිවයින යන මග හරහට සිටියේය. අනතුරුව රනිල් වික්‍රමසිංහගේ දැවුරුදු යූ.එන්.පී. ය දිවයින සමග යුද කළේය. ඒ අතර චන්ද්‍රිකා ආණ්‌ඩුවේ වියදමින් සාම තවලම් දක්‌කමින් සිටි කාලකණ්‌ණි ජාති භ්‍රෂ්ට වසලයෝ අප යන මග බිම් බෝම්බ වළ දමන්නට වූහ. ඉතාම අවාසනාවන්ත තත්ත්වය වූයේ සාම කරත්තවල බෝන් ලීයේ ගැට ගැසිය යුතු උන් කරත්ත දැක්‌කීමය. ඒ බව දුටු මග දෙපස සිටි හරකුන්ට පවා සිනා පහළ වන්නට ඇත.

මේ අතර මහින්ද රාජපක්‍ෂ පහළ විය. ත්‍රස්‌තවාදයට විරුද්ධවත් රටේ ඒකීයත්වයට පක්‍ෂවත් අවසානය තෙක්‌ යුද වැදීමට ඔහු ගත් තීන්දුවට අපි පක්‍ෂ වූයෙමු. එයට හේතුව දිවයින ආරම්භයේ සිට දැරූ ස්‌ථාවරය ද එයම වීමය. යුද ජයග්‍රහණය අපේ ස්‌ථාවරයේ ද ජයග්‍රහණය විය.

අද ඡේ. ආර්. ජයවර්ධන නැත. ආර්. ප්‍රේමදාස නැත. රනිල් වික්‍රමසිංහ ඇත-නැත. චන්ද්‍රිකා කුමාරතුංග ඇත්තේම නැත. එහෙත් දිවයින සිය නිහතමානී ගමන තවමත් යමින් සිටියි. දේශයේ පාඨක ජනතාව තවමත් අප හා සමාන්තර ගමනක යෙදෙති. තම පුවත් තහඩුව මතු යම් දිනයකදී මෙතරම් බලගතු වනු ඇතැයි ක්‍රි. පූ. 59 දී සීසර් නිකමටවත් හිතන්නට ඇද්ද?

අනුර සොලමන්ස්‌

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.