මුරගල හා මකර කොරවක්‌ගල කලා කෘතිවලින්
මතුකෙරෙන නිර්වාණයේ දොරටුව


බුද්ධි නාගොඩවිතාන
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය
කොටුව ගාල්ල

පැරණි විහාර ගොඩනැඟිලිවලට ඇතු`ඵවන දොරටුව හෙවත් පඩිපෙළ දෙපස අත්වැට වු කොරවක්‌ගල හා එය ලිස්‌සායැම වැළැක්‌වීමට යොදන ලද කුඤ්ඤය1 ලෙසට සමහර විද්වතුන් හඳුනාගනු ලබන මුරගල ද අතීත කලාකරුවා අර්ථවත් කැටයමකින් සැරසිලි කිරීමට කාලයත් සම`ග හුරු විය. මෙම මුරගල මුල් කාලයේ කුඤ්ඤයක්‌ ලෙස කොරවක්‌ගල ඉදිරියට යෙදූ බවට ආචාර්ය චාල්ස්‌ ගොඩකුඹුර දක්‌වන අදහස්‌ ප්‍රතික්‍ෂේප කරන මහාචාර්ය චන්ද්‍ර වික්‍රම ගමගේ මහතා සෝමාවතී චෛත්‍යයේ දොරටුවක කොරවක්‌ගලක්‌ වෙනුවට ගඩොලින් තනා ඇති නිර්මාණය ඉදිරිපස දක්‌නට ලැබෙන ගල් පුවරුව නිදසුනකට ගෙන ඉහත අදහස්‌ ප්‍රතික්‍ෂේප කරයි.3

සාකච්ඡාවට යටත්වන මුරගල මෙන්ම කොරවක්‌ ගල ද පැරණි විහාරාරාමවල දොරටුවට පැමිණියේ ඉන්දියානු ආභාසයෙන් බවට පරණවිතාන මහතා විශ්වාස කරයි.3 නමුත් කාලයත් සම`ග දිවයිනෙහි ඒවායේ විශේෂ දියුණුවක්‌ ඇති වු බව එතුමා ද පිළිගනී.4 තවද කොරවක්‌ගල ද මුල් කාලයේ දී දොරටුවට එක්‌ වුයේ පඩිපෙළ නගින්නන්ගේ පහසුව සඳහා අත්වැටක්‌ ලෙස බවත් එය මුල් කාලයේ ලීවලින් තිබී පසුව කළුගලින් නිරූපණය කළ බවත් පරණවිතාන මහතාගේ අදහසයි.5

මුල් අවස්‌ථාවේ දී දොරටුව සැරසිලිවලින් තොර වුවත් ලාංකික කැටයම් කලාව සංවර්ධනය වීමත් සම`ග මුරගල, කොරවක්‌ගල, සඳකඩපහණ වැනි අංග පමණක්‌ නොව පඩිපෙළ ගල් පුවරුවල මුහුණත් පවා කැටයමින් අලංකාර විය.

මුරගල විකාශනය වීමේ දි සරළ අවස්‌ථාවේ සිට නාගරාජ ද්වාරපාල කැටයම සහිත මුරගල දක්‌වා කැටයම් එක්‌වීමේ දි මුරගලට පුන්කළස, නාගරුව, බහිරව රුව ආදි කැටයම් එක්‌ වුණි. එසේම කොරවක්‌ගල ද අත්වැටක්‌ ලෙස රළු ජ්‍යාමිතික ලීස්‌තර තීරුවල සිට අංග සම්පූර්ණ මකර රුව සහිත කොරවක්‌ගල දක්‌වා විකාශනය වීම සිදු විය. මුරගලට එක්‌ වු මෙම සංකේත සශ්‍රීකත්වය, ලෞකිකත්වය දැක්‌වෙන සංකේත බව පැහැදිලිය. පුන්කළස අතීතයේ සිටම මිනිසාට සෞභාග්‍ය ලබා දෙන සංකේතයක්‌ ලෙස සලකයි. ඉන්දියානු කැටයම්වල ද පුරාණ ගොඩනැඟිලි අබිමුව දෙපස පුන්කළස්‌ තිබු බවට සාක්‍ෂි හමු වේ.6 බහිරව රුව කුවේරගේ නව නිධානවලින් දෙකක්‌ වන සංඛ හා පද්ම යන නිධාන ආරක්‍ෂා කරන සෙනෙවියන් දෙදෙනා බව පරණවිතාන මහතා කියයි.7 නමුත් මෙම අදහස ඩී.ටී. දේවේන්ද්‍ර මහතා අභියෝගයට ලක්‌ කරයි. කෙසේ වෙතත් බහිරව මුරගල්වල දක්‌නට ලැබෙන කැටයම් පරීක්‍ෂා කිරීමේ දි පරණවිතාන මතය නිවැරදි බවට පිළිගත හැකිය. තවද එතුමා කියනුයේ එම රූපයන් ම`ගින් ද සශ්‍රීකත්වය, සෞභාග්‍ය මූර්තිමත් කරන බවයි. මුරගලේ තවත් අවස්‌ථාවක නාග කැටයම දැකිය හැකිය. නාගයා ම`ගින් ජලය සංකේතවත් කරන අතර ජලය හා සම්බන්ධ බොහෝ තැන්වල නාග රූපය කැටයම් කර ඇති අවස්‌ථා බොහොමයක්‌ වෙයි. තවද නාගයා බෞද්ධ සාහිත්‍යයේ රාගයට සමාන කර ඇත. ජාතික කථා පොතෙහි මාණිකණ්‌ඨ ජාතකයට අනුව නාගයාගෙන් රාගය සංකේතවත් කර ඇත.

මෙවැනි කැටයම්වලට පසුව මුරගලට නාග රාජ ද්වාරපාල නමින් මානව රූපි රුවක්‌ එක්‌ විය. මුරගලට මානව රූපයක්‌ පැමිණිම සහ එහි අඩංගු කැටයම් අධ්‍යයනය කරන විට පැහැදිලි වනුයේ පෙර පැවති සංකේත සියල්ල එක්‌ කලාකෘතියකින් එකතු කොට නිරූපණය කළ බවයි. එනම් පෙර පැවති පුන් කළස, බහිරව රුව, නාගරුව ආදි කැටයම් සහිතව සිය`ඵ ආභරණයෙන් සැරසුණු මල් කිනිත්තක්‌ රැගෙන ත්‍රිභංග ඉරියව්වෙන් යුත් කාමභෝගී පුද්ගලයකු ඉදිරිපත් කරයි. එමගින් පෙර සඳහන් කළ අදහස්‌ තවදුරටත් තිව්‍ර කිරීමට කලාකරුවා උත්සාහ දරා ඇති බව සිතිය හැකිය.

මුරගල පිටුපසින් දක්‌නට ලැබෙන කොරවක්‌ගල ද කාලයත් සමග කැටයම්වලින් අලංකාර විය. මුල්ම අවධියේ කොරවක්‌ ගල ද කැටයම්වලින් තොර විය. ඊට පසුව එයට එක්‌ වු ලීස්‌තර තීරු සහිත රටාවන් නිසා මෙය අත්වැටක්‌ ලෙසට මුල්කාලයේ ලීවලින් සකසා තිබුණයෑයි ද මතයක්‌ ඇත.9 කොරවක්‌ ගලේ සරළම අවස්‌ථාවේ තිබු අත් වැටක ලීස්‌තර තීරු සහිත කොටස ක්‍රමයෙන් ඇත් සො`ඩ ආකාර හැඩයක්‌ ගත් අතර පසුව මකර රුවක්‌ කොරවක්‌ගල වෙතින් නිරූපණය විය. බොහෝවිට මකරා බොරු කුලුනක්‌ මත හිඳගෙන මුව විවර කොට විශාල දිව ඉදිරියට යොමු කරගෙන සිටී. මකරාගේ ශරීරය සහ දිව ලියවැල්වලින් අලංකාර කොට ඇත.

පැරණි ගොඩනැඟිලි දොරටුව දෙපසට එක්‌ කරන ලද මෙම මුරගල සම්බන්ධව පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් විවිධ මත පළ කර ඇතත් කොරවක්‌ගල මුරගලට පිටුපසින් යෙදීම ගැන සාර්ථක අදහසක්‌ මෙතෙක්‌ ඉදිරිපත් වී නැත. ලීස්‌තර තීරු සහිත කොරවක්‌ ගල හෝ ඇත් සො`ඩ ආකාර කොරවක්‌ගලට පසුව එක්‌වුණු මකර රුව සහිත කොරවක්‌ ගලේ මකරාගේ කැටයම හා එය යොදන ලද්දේ කුමන අර්ථයෙන්ද යන්න විශේෂයෙන් පැහැදිලි කර නැත. මේ ගැන යම් අදහසක්‌ ඉදිරිපත් කිරීමේ දී කොරවක්‌ගල හා මුරගල යන අංග දෙක වෙන වෙනම හඳුනා ගැනීමට උත්සාහ නොකර මෙම අංග දෙක අතර සබඳතාවයක්‌ පවතින්නේ ද යන්න සොයා බැලීම තුළින් මකරා කොරවක්‌ගලට යෙදීම ගැන යම් අදහසකට ඒමට හැකිය.

නමුත් මෙම දොරටුවේ පවතින ඒ ඒ කලා කෘති ගැන අර්ථ දක්‌වන විද්වතුන් මුරගල සම්බන්ධයෙන් ද එය දොරටුවට යෙදීම සම්බන්ධව ද විවිධ මත පළ කරයි. ඒ අතරින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය වැදගත්ය. බහිරව මුරගල පිළිබඳව කරුණු දක්‌වන එතුමා සංඛ, පද්ම ලෙස ඒවා හඳුනාගන්නා අතර ඔවුන්ගෙන් ධනය, සශ්‍රීකත්වය හා එම ස්‌ථානයේ ධනය පිරිහීමට නොදි තබා ගැනීම යන හේතු සඳහා ආරාම ගොඩනැඟිලිවලට ඔවුන්ගේ රූප යෙදීම සිදු කළා යෑයි සඳහන් කරයි.10 ඩී.ටී. දේවේන්ද්‍ර මහතා ද බහිරව මුරගල් විහාර ගොඩනැගිලි දොරටුවලට යෙදිම සම්බන්ධව කියෑනුයේ ඉන් සශ්‍රීකත්වය, සෞභාග්‍ය, ආරක්‍ෂාව යන කරුණු මූර්තිමත් වන බවයි.11 ලීලානන්ද ප්‍රේමතිලක මහතා ද මුරගල්වල බහිරවයෝ කුවේරගේ සෙනෙවියන් ලෙස පිළිගන්නා අතර ඔවුන් දොරටුවලට යෙදුවේ ආරක්‍ෂක අර්ථයෙන්ම බව කියයි.12 නාගරාජ මුරගල සම්බන්ධව අදහස්‌ දක්‌වන මහාචාර්ය චන්ද්‍ර වික්‍රමගමගේ මහතා කියනුයේ නාගරාජ ද්වාරගල රූපවලින් සතර වරම් දෙව්වරුන් නිරූපනය වන බවයි. එසේම නාගරාජ මුරගල දොරටුවලට එක්‌ කළේ ආරක්‍ෂාව අර්ථයෙන්ම බව එතුමා වැඩිදුරටත් කියයි.13

මුරගල සඳහා මේ ආකාර විද්වත් මත ඉදිරිපත් වී තිබුණ ද ඊට පසුපසින් ඇති කොරවක්‌ ගල සම්බන්ධව සහ එයට මකර රුව යෙදිම සම්බන්ධව විද්වතුන් අතර පැහැදිලි අදහසක්‌ නැත කොරවක්‌ ගලේ මකර රුව කැටයම් කළේ ඇයි ද? යන්න විමසා බැලීමේ දි මකර කොරවක්‌ගල පමණක්‌ හුදෙකලා කර අදහසක්‌ ප්‍රකාශ කළ නොහැකිය.

මන්ද මකර කොරවක්‌ගල හා මුරගල අතර යම් සම්බන්ධයක්‌ පෙනී යන බැවිනි. ඊට අනුව මුරගලෙන් සශ්‍රීකත්වය, සෞභාග්‍ය හා ලෞකිකත්වය මූර්තිමත් කරන බවට විශ්වාස කරන්නේ නම් මකර රුව සහිත කොරවක්‌ ගලින් විනාශය හ`ගවන බව කිව හැකිය. එසේනම් මෙම මකර කොරවක්‌ගල හා මුරගල යන නිර්මාණ දෙකම සම්බන්ධ කර අධ්‍යයනය කිරීමේ දි හැ`ගී යනුයේ ලෞකික සැප පසුපස ඇති විනාශයයි.

විශේෂයෙන් නාගරාජ මුරගලේ නිරූපනය වන බහිරවයාගෙන් අධික ආශාව තෘෂ්ණාව සංකේතවත් කරයි. හින්දු සාහිත්‍යයට අනුව බහිරව මුරගලේ සිටින සංඛ පද්ම බහිරවයන් දෙදෙනා කුවේරගේ නව නිධානවලින් දෙකකට අධිපතීත්වය දරයි. ඔවුන් ධනයට වස්‌තුවට කෑදරකමක්‌ දක්‌වයි. තවද සංඛ පද්ම මුරගල් වල එක්‌ අතකින් කාසි වැලක්‌ දරාගෙන හි`දින ලෙසට ද නිරූපනය කර තිබීමෙන් ඔවුන්ගේ තෘෂ්ණාව පෙන්වයි. තවද නාග මුරගල මෙන්ම නාගරාජ ද්වාරපාල මුරගලේ ද සිටින නාගරුවින් රාගය නිරූපනය කරන බව පෙර විස්‌තර විය. නාග පෙන 05, 07 හා 09 ක්‌ ලෙසට විවිධ ප්‍රමාණයෙන් නාගරාජ ද්වාපාගල මුරගල් හි නාගයා නිරූපනය කර ඇත. විශේෂයෙන් මෙම නාගරාජ මුරගලේ සිටින මානව රූපය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දි ඔහු කාමභෝගී ලෞකිකත්වයට බර පෘතග්ජන මිනිසුන් නියෝජනය කරයි. මෙවැනි කරුණුවලින් පෙනී යනුයේ මුරගල යනු ලෞකිකත්වය මූර්තිමත් කරන සෞන්දර්ය මූර්තියක්‌ බවයි. තවද මීට පෙර අවස්‌ථාවන්හිදි මුරගල සඳහා වරින්වර එක්‌ කරගත් සෞන්දර්ය මූර්ති සියල්ල නාගරාජ ද්වාරපාල මුරගලට එක්‌ කර ඇත. විශේෂයෙන් පුන්කලස, බහිරව රුව නාගරුව යන නිර්මාණ මෙන්ම කාමභෝගී පුද්ගලයෙක්‌ ද මුරගලට එක්‌ කළේ ලෞකික අදහස තීව්‍ර කිරීමටය.

මේ ආකාරයෙන් ඉදිරිපත් කළ ලෞකිකත්වය මූර්තිය පිටුපස සිටිනුයේ ඉදිරියට දිව යොමු කරගෙන ඉදිරියෙහි ඇති දෑ ගිල දැමීමට සැරසෙන භයානක මකර රුවකි. මකරා යනු විනාශයයි. ඊට අනුව මෙම මුරගල හා කොරවක්‌ගල යන අංග දෙක එකිනෙකට සම්බන්ධ කර අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි වනුයේ දැඩි තෘෂ්ණාව, ආශාව හා ලෞකික සැප පසුපස ඇත්තේ විනාශය බවයි. එවැනි පුද්ගලයන් විනාශය කරා ගමන් කරයි. ඔවුන් පිටුපස සිටින භයානක මකර රුව එම මාර්ගයේ ගමන් කරන අය ගිල ගනී. එබැවින් ලෞකික මාර්ගය අත්හැර ලෝකෝත්තර මාර්ගයේ ගමන් කිරීමෙන් නිර්වානය කරා ගමන් කළ හැකි අතර මෙම කාරණය අවබෝධ කර ගත් බුද්ධිමත් පුද්ගලයා ලෞකික සැප පසුපස නොගොස්‌ ලෝකෝත්තර මාර්ගයේ ගමන් කොට බුදුන් දකී. බුදුන් දැකීමට නම් මැදින් දක්‌නට ලැබෙන පඩි පෙළ තරණය කර විහාරයට ඇතු`ඵ විය යුතුය. පඩිපෙළ හැර වෙනත් මාර්ගයකින් බුදුන් කරා යා නොහැකිය. මෙම පඩිපෙළ ලෝකෝත්තර මාර්ගයයි. මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් ගන්නා උත්තරීතර පිරිස තම කරමතින් විහාරය තුළට ගමන් කරවීමට පඩිපෙළ මුහුණත්වල සිටින ගණ රූප පෙළ සහය වෙයි. බුදුන් වහන්සේ විහාරය තුළ වැඩ වසනුයේ මෙම ලෝකෝත්තර මාර්ගයේ ගමන් කළ නිසාවෙනි.

ගොඩනැගිලි දොරටුවේ දක්‌නට ලැබෙන අංග අර්ථවත් කැටයමකින් ඉදිරිපත් කිරීමට නිතර ශිල්පියා උත්සාහ ගනු ලැබීය. ඊට අනුව පඩිපෙළ ඉදිරිපස දක්‌නට ලැබෙන සඳකඩපහණ ද කැටයම්වලින් පරිපුර්ණ අවධියේ දී එයට අර්ථවත් යමක්‌ එක්‌ කළ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි.14 එම අදහසම තවදුරටත් පැහැදිලි කරන මහාචාර්ය චන්ද්‍රවික්‍රමගමගේ මහතා ද කියනුයේ පෘතග්ජන සත්වයා ක්‍රමයෙන් නිර්වාණය කරා ළ`ගාවන ආකාරය පෙන්වන බවයි.15 එසේනම් සඳකඩපහණින් ද දෙන අදහස සිතට ගන්නා උත්තරීතර පුද්ගලයා දෙපස දක්‌නට ලැබෙන විනාශය කරා යන මාවත තෝරා නොගෙන ලෝකෝත්තර මාර්ගයේ ගමන් කොට නිර්වානය කරා එළබෙන බව මෙමගින් නිරූපනය නොවන්නේද? ඊට අනුව කොරවක්‌ ගලට මකර රුව එක්‌ කරන ලද්දේ මුරගලෙන් ඉදිරිපත් කරන ලෞකික සැප පසුපස පවතින විනාශය හැ`ගවිමට බව පැහැදිලිය.

ඉහත දැක්‌ වු අදහස සම්බන්ධව කල්පනා කරන විට මකරා සශ්‍රීකත්වය දැනවෙන වස්‌තූන් ගිල දමන සත්වයෙක්‌ බවට කරුණු ඉදිරිපත් කළ හැකිය. මකරා යනු මනඃකල්පිත සත්වයෙකි. රූපාවලිය නැමති සංස්‌කෘත ග්‍රන්ථයේ මකරා පිළිබඳව සඳහන්ව ඇත්තේ ඇත් සො`ඩය, සිංහ පාද, කිඹුල් කට, ඌරු කන්, මත්ස්‍ය ශරීරය, වඳුරු ඇස්‌ ආදි අංගවලින් යුත් සතෙක්‌ ලෙසයි.16 13 වන සියවසේ ලියන ලද රූපාවලියට අනුව එය පහත ශ්ලෝකයෙන් දැක්‌වේ.

ගජේන්ද්‍ර හස්‌තඃ - කෘත සිංහ පාදඃ

හරාල දන්තඃ - හනුමන්ත නේත්‍රඃ

වරාහ කර්ණඃ - හෘද මත්ස්‍ය දේහඃ

විචිත්‍ර පත්‍රඃ - මකර ස්‌වභාවඃ 17

මකරාගෙන් පඤ්චස්‌කන්ධය හා මනස නිරූපණය කෙරෙන බව ද දැක්‌විය හැකිය. ඊට අනුව පඤ්චස්‌කන්ධය එක්‌ වී මකරා නිර්මාණය වී ඇති බව සිතිය හැකිය.

රූප - ව`දුරාගේ ඇස්‌ මගින් රූපය සංකේතවත් කරයි. ව`දුරා රූපයට කෑදරකමක්‌ දක්‌වන සතෙකි.

ශබ්ද - ඌරා ශබ්දයට අතිශයින් සංවේදිය. එම නිසා ඌරු කන් මගින් ශබ්දය සංකේතවත් කරයි.

ගන්ධ - ග`ද සුව`ද ඇත් සො`ඩයෙන් සංකේතවත් කරයි.

රස - කිඹුල් කට මගින් රස සංකේතවත් කරයි. තවද කිඹුලා රස තෘෂ්ණාවට ගිජුකමක්‌ දක්‌වයි.

ස්‌පර්ශ - සිංහයා උගේ පාදවලින් ගොදුරු දැඩිව අල්ලා ගැනීමට සමතෙකි. එම නිසා සිංහ පාද මගින් ස්‌පර්ෂය සංකේතවත් කරයි.

මේ ආකාරයෙන් ගොඩනැඟිලි දොරටුවලට යොදා ඇති කොරවක්‌ගල හා මුරගල යන කලා කෘතිවලින් අතීත මානව සමාජයට වටිනා අදහසක්‌ ලබා දුන් බව පැහැදිලිය. විශේෂයෙන් මෙම කලා කෘති කැටයම්වලින් සංවර්ධනය වීමත් සමග කාලයෙන් කාලයට එහි අර්ථයේ ද වෙනස්‌කම් වුවා විය හැකිය. විශේෂයෙන් ඉහත මා විසින් ඉදිරිපත් කළ අර්ථ කථනය මකර කොරවක්‌ ගල හා නාගරාජ ද්වාරපාල මුරගලට සම්බන්ධ කොට ඉදිරිපත් කළ හැකිය.

නමුත් පසු කාලය වන විට විශේෂයෙන් පොළොන්නරු කාලයෙන් පසුව නාගරාජ ද්වාරපාල රුව සහිත මුරගල අභාවයට ගිය අතර කොරවක්‌ ගලේ මකර කැටයම ද අභාවයට ගියහ. ඊට අමතරව පසු කාලයේ දි කොරවක්‌ ගලේ මකර කැටයම වෙනුවට ගජසිංහ කැටයමක්‌ ද එක්‌ වු අවස්‌ථා දැකිය හැකිය. මේ ආකාරයෙන් පසු කාලය වන විට මෙම නිර්මාණ ඉදිරිපත් කිරීමේ අදහස මෙන්ම යොදන ස්‌ථාන පිළිබඳව ද පැහැදිලි අදහසක්‌ නොතිබු බව කිව යුතුය.

කෙසේ වෙතත් කැටයම්වලින් සංවර්ධනයට පත් වු අවධියේ දී මුරගල හා කොරවක්‌ගල සම්බන්ධ කර පෘථග්ජන ජනයාට යම් අදහසක්‌ ලබා දුන්නා යන්න මේ පිළිබඳව කරන ලද පර්යේෂණයන්වලින් තහවුරු වේ.

පාදක සටහන්

01. ගොඩකුඹුරේ, චාල්ස්‌.1982, මුරගල්, කොළඹ .7 පිට

02. වික්‍රමගමගේ, චන්ද්‍ර, 1995, පැරණි ගොඩනැඟිලි දොරටු, තරංජි ප්‍රින්ටර්ස්‌, 23 පිට

03. පරණවිතාන, සෙනරත්, 1995, ලංකාවේ ස්‌තූපය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 62 පිට

04. පරණවිතාන, සෙනරත්, 1995, ලංකාවේ ස්‌තූපය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 62 පිට

05. පරණවිතාන, සෙනරත්, 1995, ලංකාවේ ස්‌තූපය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 62, 63 පිටු

06. ප්‍රඥාසාර ප්‍රශස්‌තිය, 1966, සංස්‌ ඃ බඹරැන්දේ සිරිසීවලී හිමි, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය, 405 පිට.

07. Prametilake.L. Artibus Asiae Vol.xviii(1955), 122 P.

08. දේවේන්ද්‍ර, ඩී.ටී. සඳකඩපහණ හා වෙනත් ලිපි, 1920, සිමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ. 22 - 23 පිටු.

09. පරණවිතාන, සෙනරත්, 1995, ලංකාවේ ස්‌තූපය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, 62රි63 පිටු.

10. Prametilake.L. Artibus Asiae Vol.xviii(1955), 122 P.

11. දේවේන්ද්‍ර, ඩී.ටී. සඳකඩපහණ හා වෙනත් ලිපි, 1920, සිමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ. 29 පිට.

12. ප්‍රඥාසාර ප්‍රශස්‌තිය, 1966, සංස්‌ ඃ බඹරැන්දේ සිරිසීවලී හිමි, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය, 405, 407 පිටු.

13. වික්‍රමගමගේ, චන්ද්‍ර, පැරණි ගොඩනැගිලි දොරටු, 1995, ශ්‍රී ලංකා සංස්‌කෘතික ශාස්‌ත්‍රායතනය, කොළඹ, 26, 27 පිටු.

14. පරණවිතාන, සෙනරත්, ආටිබුස්‌ ඒෂියා, xviii 191-237 පිටු.

15. වික්‍රමගමගේ, චන්ද්‍ර, පැරණි ගොඩනැගිලි දොරටු, 1995, ශ්‍රී ලංකා සංස්‌කෘතික ශාස්‌ත්‍රායතනය, කොළඹ, 19 පිට.

16. වනරතන හිමි, කඹුරුපිටියේ, පොළොන්නරු නටබුන්, 1962, සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම, කොළඹ , 122 පිට.

17. වික්‍රමගමගේ, චන්ද්‍ර, පැරණි ගොඩනැගිලි දොරටු, 1995, ශ්‍රී ලංකා සංස්‌කෘතික ශාස්‌ත්‍රායතනය, කොළඹ, 31 පිට.

18. වනරතන හිමි, කඹුරුපිටියේ, පොළොන්නරු නටබුන්, 1962, 121 පිට.

19. වික්‍රමගමගේ, චන්ද්‍ර, පැරණි ගොඩනැඟිලි දොරටු, 1995, 31 පිට.

20. වනරතන හිමි, කඹුරුපිටියේ, පොළොන්නරු නටබුන්, 1962, 121 පිට.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.